බෙහෙත් නැතිව ජීවිතය අවදානමේ නම් උසාවි යන්න

0
32


රෝහල් පද්ධතිය තුළ යම්කිසි ඔෟෂධයක් හෝ ශල්‍ය උපකරණ නොමැතිවීම නිසා තමන්ගේ හෝ තම පවුලේ ඥාතීන්ගේ ජීවිතවලට අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවලදී, පොලිසිය හෝ අධිකරණයේ පිහිට පැතීම හරහා සාපරාධී මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරීමේ චෝදනාව යටතේ අදාළ දේශපාලකයන් හෝ බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට ජනතාව උනන්දු විය යුතුව ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පැවැසීය. 

මහජනතාව ජනතා පරමාධිපත්‍ය නීත්‍යනුකූල ලෙස ක්‍රියාත්මක කරවීමට පෙලඹෙන්නේ නම් දේශපාලකයන් හෝ බලධාරීන් අත්තනෝමතික ලෙස සහ අවිධිමත් ලෙස තීන්දු තීරණ ලබා ගනිමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු නොකරනු ඇතැයි එම සන්ධානය පෙන්වාදී ඇත. 

ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේද සහයෝගය ඇතිව මේ රටේ මහජනතාව තමන්ව සෞඛ්‍ය පද්ධතිය තුළ අසාධාරණයට ලක්වන අවස්ථාවලදී නීතිය හමුවට ගොස්, වර්තමාන සමාජ ක්‍රමය වෙනස් කිරීමට දායකවන ලෙස වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව එම සන්ධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.