පිල-පොල්පලා බැබිල මුල් සමඟ ‘මලබද්ධය’ දුරු කරන එළඟිතෙල් මිශ්‍ර කසායක්

0
123

කෙනකුගේ මලපහවීම තමාට සුපුරුදු ආකාරයට සිදු නොවෙයි නම්, මලපහ වීම ක්‍රමයෙන් අඩුවෙමින් වාතය පිටවෙයි නම්, යටිබඩ කැක්කුම, බඩ පිපුම, බඩ පුරවා දැමීම ආදිය ඇතිවෙයි නම්, ගුඩුස් යෑමත් සමඟ මුවෙන් දුගඳක් හමයි නම්, දෙපා වාරු නැතිවීම ක්ලාන්තය, වමනය ආදිය ඇතිවෙයි නම්, හිසෙහි බර ගතිය සමඟ විඩාබර බව, අධික මහන්සිය ඇතිවෙයි නම් එය බොහෝවිට මලබද්ධය රෝග තත්ත්වය විය හැකියි. 

බඩවැල සම්පූර්ණයෙන්ම අවරෝධ වූ විට මල පමණක් නොව වාතය පවා පිටවීම නැවතෙනවා. එය ඉතා අසීරු අවස්ථාවක්. මලබද්ධය නොයෙක් හේතු කරණ කොටගෙන ඇතිවිය හැකියි. කෙඳි සහිත සුදුසු ආහාර නොගැනීමත්, ආහාර අඩුවෙන් ගැනීමත්, ජලය පානය අවම වීමත් ඉන් සමහරක්. ක්ෂය රෝගය ආදී ශරීරය දුර්වල කරන රෝගයන්හිදී ද අතුණුවල දුර්වලකම් හේතුකොටගෙන මලබද්ධය ඇතිවෙනවා. දියවැඩියාව රෝගයේදී ද ශාරීරික ද්‍රව පදාර්ථ මුත්‍රා සමඟ පහවී යන හෙයින් ද්‍රව උෟනතාව කරණකොටගෙන මලබද්ධය ඇතිවිය හැකියි.

නව රැකියාවකට යොමුවීම, පදිංචි ස්ථානය වෙනස් කිරීම, ආගන්තුක පිරිස් සමඟ කාලය ගතකිරීමට සිදුවීම, නවාතැන් ගන්නා ස්ථානය හා රැකියා ස්ථානය අතර දුර ප්‍රමාණය වෙනස්වීම ආදිය හේතුවෙන් කලක් තිස්සේ තමා හුරුපුරුදු වූ ජීවන චර්යාව වෙනස් කරගැනීමට බොහෝ දෙනකුට සිදුවෙනවා. මීට අමතරව රැකියාවේ ඉක්මන් අවශ්‍යතාව, ස්ථානය සුදුසු නොවීම, අනවශ්‍ය ලැජ්ජාව ආදී කාරණා හේතුවෙන් මලපහ කිරීම ආයාසයෙන් යටපත් කරගෙන සිටීමට සමහරුන් යොමුවෙනවා. මෙය සුදුසු පාලනයක් නොවෙයි. මෙසේ දිගින් දිගටම පාලනය කිරීම හේතුවෙන් මල පදාර්ථ ගුද මාර්ගයට පැමිණීමෙන් ඇතිවන ප්‍රතික්ෂිප්ත ක්‍රියාව නිසි ආකාරයට ඉටුවීම නතර වෙනවා. එවිට ගුද ප්‍රදේශයේ මල  එකතු වූ විට ඇතිවන මල පහකිරීමේ සංඥා සංවහනය වීමද ක්‍රම ක්‍රමයෙන් හීන වෙනවා. එසේ වූ විටදී අධිකතර ප්‍රමාණයක් මල පදාර්ථ ගුදමඟ තුළට පැමිණෙන තුරු හෙවත් අස්වාභාවික ලෙස ගුද මාර්ගය විස්තාර වනතුරු මලපහ කිරීමේ වේගය හටගන්නේ නැහැ. මේ ආකාරයට ස්වාභාවිකව හටගන්නා මලපහ කිරීමේ වේගය ආයාසයෙන් ඇතිවන මලබද්ධයට විෂම මලාපකර්ෂණය ලෙස හඳුන්වනවා.

• පිලමුල්, රතුලූනු, රසකිඳ, පොල්පලා මුල්, ගල්කෑර මුල්, බැබිල මුල් කළං 2 බැගින් වතුර පත 8-1 සිඳුවා සීනි, එළඟිතෙල් දමා උදේ සවස බොන්න.