නිවැරැදි කළයුතු තැන් බොහෝ තිබෙනවා

0
31


මේ විවාදය පවත්වන්නේ තීරණාත්මක මොහොතක. මවුබිමේ අනාගතය ගන කළු වලාවන්ගෙන් වැසී, රටවැසි ජනතාව අනාථව අසරණව සිටින මොහොතක. 69 ලක්‍ෂයක් ජනතාව හදවතේ ආදරයත් සමඟින් පත්කර ගත් ගෝඨාභය ජනාධිපතිතුමාට ගෙදර යන්න කියන මොහොතක. ඔබ,මා ඇතුළු 225 දෙනාම එපා යැයි කියන මොහොතක. පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කෙරෙන මොහොතක. මේ පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කරන මොහොතක. 

ගෑස් භාවිතයේ ඇති පහසු බව, පිරිසුදු බව කියාදෙමින්, දර ළිපේ, භූමිතෙල් ළිපේ ඉවුම්-පිහුම් කළ සැමට ගෑස් භාවිතය පුරුදු පුහුණු කරවනු ලැබ, මුළුතැන්ගේ ඒ අනුව හැඩගස්වාගෙන ඇති ජනතාවකට ගෑස් සැපයීමට අසමත් වනවිට, විදුලිය ආශ්වාස-ප්‍රශ්වාස කරන වාතය තරමට අත්‍යවශ්‍ය  කරගත් ජනතාවකට – 100%ක් විදුලිය සපයා ඇති බවට උදම් අනන සමාජයකට දිනයෙන් අඩකට වඩා විදුලි සැපයුම ලබාදිය නොහැකි තැනට පත්ව ඇති මොහොතක, පොදු ප්‍රවාහනය දියුණු කරනු වෙනුවට, සෑම රාජ්‍ය සේවකයකුගේම, සෑම පුරවැසියකුගේම පැතුම වාහනයක් හිමි කරගැනීම බවට පත් කළ සමාජයක ඩීසල්, පෙට්රල් නැති වූ විට, ඒ ජනතාව පාරට ඒම අරුමයක්ද? 

මුහුණ දීමට සිදුවන විපත දැක, එය පාලනය කිරීමට තැත් කළ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මැතිතුමාට උසුළු විසුළු කරමින්, බොරු බියක්, ව්‍යාජ සමාජ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන්නකු ලෙස නාමකරණය කරමින්, රජයම තමන් රැවටූ බව අවබෝධ කරගත් ජනතාව පාරට පැමිණීම අරුමයක්ද? 

එහෙත් අද පාරට බැස සිටින ජනතාවගේ සටන් පාඨ ඊට වඩා ගැඹුරකින් කියවිය යුතු බව අපගේ, යුතුකම සංවිධානයේ අදහසයි. “ගෙදර යන්න ගෝඨා” කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන පමණක්මද? “225ම එපා” කියන්නේ පාර්ලිමේන්තුවේ අද සිටින 225ට පමණක්ද? නැත්නම් මුළු පක්ෂ ක්‍රමයටමද? නොඑසේ නම් මුළු පාර්ලිමේන්තු ක්‍රමයටමද? 

පක්ෂ දේශපාලන ක්‍රමය තම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අසමත් බව අවිඥානිකව අවබෝධ කරගෙන 2015දීත්, 2019දීත් උත්තර සොයා ගොස් රැවටීම හැර, ව්‍යාජය හැර, සරණක්, පිහිටක්, ගමනක් නැති බව පසක් කරගත් ජනතාවකගේ ඉකිගසා හඬාවැටීම, කෝප වී දෙස්දෙවොල් තැබීම නොවේද අප අද අත්දකිමින් තිබෙන්නේ? 

2015දී සැබවින්ම සිදු වූයේ කුමක්ද? මේ රටේ ප්‍රභූ නායකත්වය – ශාන්ත තෝමස්, රාජකීය, සෙන්ට් බි්‍රජට් පමණක් නොව ආනන්ද, නාලන්ද ආදී සියලු පාසල් අතික්‍රමණය කොට පොළොන්නරුවේ ග්‍රාම සේවක මහතකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ රාජ්‍ය නායකත්වයට ගෙන ඒම තුළ ජනතාව ප්‍රකාශ කළේ කුමක්ද? පසුව කවර තර්ක විතර්ක ඉදිරිපත් කළද, ඒ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් නොවේද?

 ඒ මොහොතේම ඒ මහතා සර්ව පාක්ෂික අපේක්ෂකයෙක්ද වූවා නොවේද? තම පක්ෂයෙන් නෙරපනු ලැබූ මේ නිර්ප්‍රභූ පුද්ගලයා වටා අවසානයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය මෙන්ම, එළියේ සිට ජනතා විමුක්ති පෙරමුණ පෙළ ගැසීම නැතහොත් පෙළගැස්වීම එදා අප දුටු ආකාරයට හුදු විජාතික කුමන්ත්‍රණයක් පමණක්ද? ඒ පිටුපස විජාතික හස්තයක් වූ බවට සැකයක් නැත. එහෙත් ජනතා අභිලාෂ මල්ඵල ගන්වන්නට අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිදුකළ කාර්යභාරය අප නිසි පරිදි අවබෝධ කරගෙන තිබේද? 

2015 වසරේ අප යුතුකම සංවිධානය පිහිටුවා, “වෙනස සැපද?” සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස, සාධාරණ සමාජය, නීතිගරුක සමාජය පිළිබඳ පැතුමන් ඉටු නොවන බව පෙනෙන්නට වූ විටය. දින 100න් පසුව, මහ බැංකු හොරකමින් පසුව, “යහපාලන අපේක්ෂා ඉටුකරගත හැකිද?” යන තේමාව යටතේ සංවාද මාලාවක් පැවැත්වූවා මතකය. 

2015 නොවැම්බරයේදී ඩී.ඒ. රාජපක්ෂ සමරු දේශනය පවත්වමින් මේ රටේ දේශපාලන පක්ෂ සියල්ල යහපාලන රජය යටතට ගෙන ඇති මොහොතක, එදා නිදහස වෙනුවෙන් ජාතික සංවිධාන සියල්ල එක්සත් ජාතික පක්ෂය යටතේ ගොනුව තිබියදී ඒ ජාතික අභිලාෂ ඉටු කළ නොහැකි වූ විට, 1952 ශ්‍රී   ලංකා නිදහස් පක්ෂය ජාතික අභිලාෂ වෙනුවෙන් පිහිටුවා ගත්තේ යම් සේද, එලෙසම නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වා දෙන ලදී. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ බිහිවීමට ඒ අදහස් මුල්වූ බව, බලපෑ බව, ඒ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධව සිටි කවුරුත් දන්නා කරුණකි. 

එහෙත් නැවත වතාවක් මේ රටේ ජනතාව තම නායකයා, මේ මවුබිමේ නායකයා සොයා ගියේ මේ පක්ෂ සියල්ලට පිටතිනි. පොදුජන පෙරමුණටද පිටතිනි. මෙදා ඔවුන්ගේ තේරීම වූයේ වෘත්තිකයෙකි. ත්‍රස්තවාදයට එරෙහි සටනට නායකත්වය දුන් ආරක්ෂක ලේකම්, කොළඹ නගරය ලස්සන කළ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සමඟින් වියත්මඟ ඔවුන්ගේ තේරීම විය.

අප මේ ජනතා අභිලාෂ නිසි පරිදි කියවා ඇත්තේද? මේ රටේ දැවැන්තම පක්ෂ දෙක – එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය අප ජනතාව අත්හැරියේ කෙතරම් සැහැල්ලුවෙන්ද? මේ රට ජනයා දේශපාලන පක්ෂ, පක්ෂ දේශපාලනය පිටුදකින බව අපි නිවැරැදිව අවබෝධ කරගත්තෙමුද? මේ පාර්ලිමේන්තු ක්‍රමයම පිටුදැකීමක් ලෙස අපි නිවැරැදිව වටහා ගත්තෙමුද?

“ගෙදර යන්න ගෝඨා” – තම බලාපොරොත්තු ඉටු කිරීමට අසමත් වීම පිළිබඳ චෝදනා පත්‍රයක් නම් “225 එපා” පාර්ලිමේන්තු ක්‍රමයම, පක්ෂ දේශපාලනයම පිළිකුලෙන් වැමෑරීමට දරන ප්‍රයත්නයක් නොවේද?

20 වැනි සංශෝධනය 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු, වඩාත් නිවැරැදිව කියනවා නම් 2/3ක පාර්ලිමේන්තු බලයක් ලබාගත් පසු සිදුවූයේ කුමක්ද?

අප යුතුකම සංවිධානය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, නව ව්‍යවස්ථාවක් සඳහා වන අපගේ යෝජනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයෙමු. ජන සහභාගිත්වයේ ‍ෙදාරටු විවර කෙරෙන පාලන තන්ත්‍රයක් අපි යෝජනා කළෙමු. සෑම ගමකම, නගරයකම සියලුම වැසියන් සාමාජිකයන් වන ගම් සභාව, නගර සභාව ඒ පාලනයේ පදනම වියයුතු යැයි අපි යෝජනා කළෙමු. පක්ෂ බෙදීම් ඉක්මවා යන, ජාතික දේශපාලනයකට පාර කපන යෝජනාවලියක් අපි යෝජනා කළෙමු.

එහෙත් අපේ අවාසනාවට, රටේ අවාසනාවට කුමක් සිදුවීද? කෝ ඒ නව ව්‍යවස්ථාව? පක්ෂ විපක්ෂ සියල්ලන්ම, 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ, 2/3ක පාර්ලිමේන්තු බලයක් නිර්මාණය කළේ ඒ වෙනුවෙනි. ඒ වෙනුවට රටට ලැබුණේ 20 වැනි සංශෝධනයයි.

දැන් මේ පාර්ලිමේන්තුවේද ඉන් පිටතද සමහරු, ඔබත් මේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන්නා නේදැයි ප්‍රශ්න කරති. ඔව්, අපි ඡන්දය දුන්නෙමු. ඒ, එහි අහිතකර වගන්ති නිවැරැදි කරගැනීම සඳහා දැරූ උපරිම ප්‍රයත්නයකට පසුය. වසරක කාලයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ලබා දුන් ප්‍රසිද්ධ ප්‍රතිඥාවකට පසුවය. 

අප ඒ අරගලය මඟින් ඇමැති මණ්ඩලය 30 ඉක්මවා යෑමට, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු අවශ්‍ය සංඛ්‍යාවක් පත්කිරීමට තිබූ ඒ ව්‍යවස්ථා සංශෝධන ඉවත් කරගතිමු. ඒ සමඟම එයාර්ලංකා සමාගම වැනි රජයට 50%කට වැඩි කොටස් හිමි සමාගම් විගණකාධිපතිතුමාගේ සුපරික්ෂාවෙන් ඉවත් කිරීමට දරා තිබූ ප්‍රයත්නයන් පරාජය කළෙමු. 

එහෙත් අපට සමහර ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි විය. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් පිහිටුවීමට කළ යෝජනාව, එසේම ද්විත්ව පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට තිබූ බාධක ඉවත් කිරීම ඉන් ප්‍රධානය. මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපටත්, මේ ගරු සභාව ඔස්සේ රටටත් පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදී ඇත. ඒ වසරක් ඇතුළත ගෙන එන නව ව්‍යවස්ථාව මඟින් මේ ද්විත්ව පුරවැසියන් සම්බන්ධ ප්‍රතිපාදන ඉවත් කරන බවටය. 

එමඟින් ගම්‍ය කෙරුණේ ඒ ප්‍රතිපාදන භාවිතයට නොගන්නා බවය. යමෙක් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයකට පත්වීම ජනාධිපතිතුමාට වැළැක්විය නොහැකි නමුත් අමාත්‍යවරයකු ලෙස පත්කිරීමෙන් වැළකීමට එතුමාට හැකියාව තිබේ.  උක්ත ප්‍රතිඥාව අනුව එසේ කිරීමේ පරම යුතුකමක් එතුමාට තිබිණි. එතුමා ඒ ප්‍රතිඥාව නොරැකීම අද අර්බුදයේ ආරම්භය ලෙස අපි දකිමු. එතුමා කෙරෙහි පැවැති විශ්වාසය බිඳවැටීමට එය මුල් විය. තමා එදා බලයට ගෙන ඒමට දායක වූ බලවේගයන්ට කන් නොදුන් එතුමාට, අද පාරේ සිදුකරන උද්ඝෝෂණවලට කන්දීමට සිදුව තිබීම, එතුමාගේ පමණක් නොව අපගේද රටේද අභාග්‍යයකි.

දැන් ව්‍යවස්ථාදයක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් පිහිටුවීම සලකා බලමු. ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනාම තමන්ගේ යහපාලන සන්ධාන පක්ෂවලින් පත්කර ගැනීම මඟින් යහපාලන රජය විසින්ම, යහපාලන සංකල්ප දූෂණය කළේය. එසේ කිරීම මඟින් ඉහළ අධිකරණවල විනිශ්චයකාර තනතුරුවලට මෙන්ම පොලිස්පති, නීතිපති වැනි රජයේ ඉහළ තනතුරු සඳහා තමන්ගේ සිතැඟි පරිදි පුද්ගලයන් පත් කිරීමට නිර්ලජ්ජී ලෙස යහපාලන රජය අවස්ථාව ලබා ගත්තේය. 20 වන සංශෝධනය මඟින් ඒ බලතල නැවත ජනාධිපතිතුමා වෙත පවරා ගන්නා ලදී.

දැන් අගවිනිසුරුතුමා ඇතුළු ඉහළ උසාවිවල විනිසුරුතුමන්ලාද නීතිපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ඉහළ රාජ්‍ය  නිලධාරීන්ද පත්කිරීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරේ. කථානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා සාමාජිකයන් වන පාර්ලිමේන්තු කවුන්සිලයට ඒ පත් කිරීම් පිළිබඳ දැනුම් දිය යුතුය. 20 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මේ පත් කිරීම් පිළිබඳ පාර්ලිමේන්තු කවුන්සිලයේ කෙරෙන සාකච්ඡාව මේ ගරු සභාවට දැනුම් දෙන ලෙස අපි ඉල්ලා සිටියෙමු. 

එවිට මේ පත්කිරීම්වල සුදුසු / නුසුදුසු බව පිළිබඳව මේ පාර්ලිමේන්තුවටත්, එමඟින් ඒ ඒ වෘත්තිකයන්ට හා රටටත් දැනගන්නට ලැබෙනු ඇත. ගරු කථානායකතුමා, ගරු අගමැතිතුමා පමණක් නොව, ගරු විපක්ෂ නායකතුමාද මේ සබුද්ධික පියවර ගැනීමෙන් වැළකී සිටීම කනගාටුදායකය. දැන් නීතිපතිතුමාගේ ක්‍රියාකලාපය නීතිඥයන් ප්‍රශ්න කරන විට, ජනාධිපතිතුමා පමණක් නොව මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලයන් දරන පක්ෂ-විපක්ෂ ප්‍රධානීන්ද ඒ සඳහා වගකිවයුතු වීම මොනතරම් අවාසනාවක්ද?

මේ පාර්ලිමේන්තුව ද්විත්ව පුරවැසියන් පිළිබඳ ප්‍රතිපාදන මෙන්ම, රජයේ හා ඉහළ අධිකරණයන්හි තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමේ පටිපාටිය නොපමාව නිවැරැදි කළ යුතුය.

සිංහලයා පරිහානියෙන් පරිහානියට පත් මොහොතක, ආදර්ශයෙන් මඟ පෙන්වූ අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමි

සංක්‍රාන්ති සමය

දැන්, මේ මොහොතේ, ක්‍ෂණිකව කළ යුත්තේ කුමක්ද?

අපේ රටේ ජීවත්ව සිටින මහා ප්‍රාඥයා වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා 2019 වසරේ පළකළ නවකතාවේ නාමය ‘සංක්‍රාන්ති සමය’ යන්න යි. එය නිර්මාණ කෘතියක් වුව ද එහි මූලික අදහස වන්නේ එළැඹ තිබෙන්නේ ‘සංක්‍රාන්ති සමයක්’ බවයි. නැකැත් නැති  සුබ කටයුතු සඳහා සුදුසු නොවන, විවිධාකාර වූ විකෘති අදහස් පහළ වන කාලයක් බවයි.

යුතුකම සංවිධානයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා, ඔව්, ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය භාරගෙන, ඒ පාඩු ලබන ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කර, ජනාධිපතිතුමාගේ වුවමනාවටම හේතුවක් නොදැන ගෙදර ගිය යුතුකමේ ලසන්ත, මේ රජයේ, අපේ රජයේ ක්‍රියාකාරකම් දැක, මීට වසරකටත් පෙර ලිපියක් මඟින් පෙන්වා සිටියේ, සංක්‍රාන්ති සමයක වැදගත්ම දෙය චර්යාව බවය. අපි සිංහල අවුරුදු සමයේත් නැකත් නැති කාලය අර්ථවත් කරගන්නේ ආගමික කටයුතුවල යෙදීමෙන්. මේ මඟ නොමඟ පාදා ගතයුතු මොහොතක්. අපහසුතාවලට, අසීරුතාවලට මුහුණ දෙන මොහොතක්. එතැනදී රටේ නායකත්වයෙන්, මහජන නියෝජිතයන්ගෙන්, රාජ්‍ය ආයතනවලින්, යුක්තිය පසිඳලන ආයතනවලින් මහජනයා පතන අවමය, චර්යාවයි; යහපැවැත්මයි; යහපාලනයයි; නීතියේ ආධිපත්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂක ජනාධිපතිතුමාගේ නායකත්වය, පුද්ගලිකව කෙසේ වෙතත් රජයක් ලෙස මේ ආදර්ශය දීමට අසමත් වීම, මේ ජනතා විරෝධයේ එක් ප්‍රධාන සාධකයක් ලෙස අප පිළිගත යුතුය.

දැන් ජනාධිපතිතුමා මේ විපතින් රට ගලවා ගැනීමේ අවස්ථාව මේ පාර්ලිමේන්තුවට ලබාදී ඇත. ඒ යුතුකම ඉටුකිරීම, පීඩාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අවම හෝ සහනයන් ලබාදීමට එකමුතුව කටයුතු කිරීම අප සැමගේ වගකීමක්. විපක්‍ෂයේ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය (ජ.වි.පෙ.) ඒ වගකීම මඟහැර යෑමට තැත් කරන්නේද? කෙසේ වෙතත් 69 ලක්ෂයක් ජනතාව විශ්වාසය තැබුවේ අප කෙරෙහි බැවින්, ජනතාවත්, රටත් පත්ව ඇති අභියෝගාත්මක තත්ත්වයෙන් මුදා ගැනීමට කැපවීම අප සැමගේ යුතුකමක්!

2015දීත්, යළි 2019දීත්, මේ දැනුත් රටවැසියෝ කියා සිටින්නේ පක්ෂ දේශපාලනය එපා කියාය. අපගේ මවුබිම, මවුබිමේ ජනතාව මුහුණදී ඇති දුර්භාග්‍යය සම්පන්න තත්ත්වයෙන් මුදා ගැනීමට පක්‍ෂ දේශපාලන අරමුණු පසක තබා සාමූහික ප්‍රයත්නයක් දැරීමට, එහිදී ද බලය හා වරප්‍රසාද පිළිබඳ ආදර්ශයක් රට හමුවේ තබන්නට ආරාධනා කරන්නෙමි.