නාඩි පිරිමැද-නිලය අල්ලා ඔත්පළ රෝගීන් සුව කළ හැකි වෙදකමක මහිමය

0
76


අද මෙන් නොව එදා හෙළදිව ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි වෛද්‍ය ශාස්ත්‍රයක් පැවැතුණි. එම වෛද්‍ය ශාස්ත්‍රයට අනුව රෝගියකුට යම් රෝග ලක්ෂණයක් වේ නම් වෛද්‍යාචාර්යතුමා වෙත පැමිණ දැන්වුවහොත්, මුලින්ම කෙරුණේ ලෙඩා කියූ දේට අනුව වෛද්‍යවරයා දිගින් දිගටම රෝග නිධානය සොයාගන්නට උත්සුක වීමයි. එහිදී නාඩි පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කෙරෙන්නක්. ඒ අනුව ශරීරයේ සියලු දෝෂ මේ යැයි දැනගන්නවා. අද ‍ෙදාස්තර නළාව තියලත් බටහිර වෛද්‍යවරුන්ට අල්ලා ගන්න බැරි වුණු රෝග පීඩාදිය එදා නාඩි අල්ලා පරීක්ෂා කිරීමෙන් දැනගත්තා. 

නාඩි පරීක්ෂාවත් ඒ ඔස්සේ නිල අල්ලා එම පරීක්ෂාවත් හරහා රෝගයට නිසි හේතු කාරකයන් සොයාගෙන නිශ්චිතවම ප්‍රතිකාර කෙරුණු අතීත දැනුම හා වෛද්‍ය ක්‍රම ඔස්සේ ලෙඩුන් සුවපත් කරන සම්ප්‍රදායන් අදත් ඒ විදිහටම සිදු කෙරනවා. එවන් ඉසිවර වෙද පරපුරක වෛද්‍යතුමෙක් තමයි වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාරයන්. හෙතෙම අපට හමුවන්නේ ඓතිහාසික වැදගත්කමක් ඇති පුරාණ ගම්මානයක් වන මහනුවරත් මාතලේ දිස්ත්‍රික්කයත් අතර පිහිටි අංකුඹුර රාමකොටුවෙන්. හෙතෙම සන්ධිවාත රෝගයෙන් මහත් සේ පීඩා විඳි අවුරුදු 78ක් වූ රෝගියකු සුවපත් කළ කතාවක් අපට කීවේ මෙලෙසින්. 

“මා වෙත රැගෙන ආපු රෝගියා වයස්ගත කෙනෙක්. ඔහු ඔත්පළව ඔසවාගෙන එද්දී සිටියේ තවත් කෙනකුගේ ආධාරයෙන්. ඔහුගෙන් දැනගත් තොරතුරුවලට අනුව මීට වසර පහකට පමණ පෙර තමයි ඔහුගේ ශරීරයේ වෙනසක් වෙලා තිබුණෙ. මුලදිම එක් අතකින් ඔහුට යමක් අල්ලලා ඔසවන්න බැරි වෙලා ඇල්ලුව ගමන්  අත ඇරුණලු. ඒක ඒ හැටි ගණන් අරගෙන නෑ. ඔහු කරලා තියෙන්නේ රියැදුරු රැකියාව. ඒක මේ වගේ තත්ත්වයකදී නරක දෙයක්. අපේ ස්ථානයේ තබාගෙන දින කිහිපයක් ලෙඩාව පරීක්ෂා කළා. ඒ වෙද්දී ඔහු අංශභාග තත්ත්වයට පත්වී අවසන්. තත්ත්වය නරක අතක තිබුණේ. 

රජයේ රෝහලකට ගිය වෙලේ කියලා තියෙන්නේ මොළයේ යම් නහරයක් දුර්වල වුණු නිසා මෙහෙම වෙලාය කියලයි. ඒත් ලෙඩා පරීක්ෂා කර බලද්දී මට වැටහුණා සියුම් විදිහට ඔහුට ප්‍රතිකාර කළොත් ගොඩදාගන්න පුළුවන් බව. මා ඔහුට දේශීය වෙදකමේ විස්මිත බවත් එහි ගුණයන් ගැන පහදා දීලා විශ්වාසයක් ඇති කළා. මානසිකවත් අප ලෙඩුන් සුවපත් කළ යුතු වීම ඉතා වැදගත්.” 

ලෙඩා සුවපත් කිරීමේ විශ්වකර්ම වෙදකම සිදු කරන්නට පසුබිම් වන කතාවක් වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාරයන් පැහැදිලි කළා. 

“නවීන විද්‍යාවේ පරීක්ෂණයන්ට හසු නොවන රෝග නිධානයන් නාඩිවලට හසුවෙනවා. නොයෙක් හේතුවලින් තුන් ‍ෙදාස් කිපෙන ලෙස – මෙතෙක් පමණ කියයි. නොමැකිය හැකි විලස – උදක්ම රෝග මූලය නාඩියට මිස- කොතෙක් පිරිසුම් කළත් නොදැනී විදු ඇස – කියලා?  නාඩි ගැන කවියෙන් කියැවෙන්නෙත් ඒ සත්‍යයි. නාඩි අල්ලා කරන වෙදකම කොයි තරම් බලවත්ද සාර්ථකද කියලා පුරාණ පොත්පත්වල සඳහන් වෙනවා.” රෝග ක්‍රාන්ත ශරීරශ්‍ය ස්ථානාන්‍යෂ්ටෞ නිරීක්ෂණයෙන් නාඩි මුත්‍රං මලජිව්හා මුඛානෙත්‍රං ලද ස්ව බලං” කියලා කියන්නේ රෝගයෙන් මඬනා ලද ශරීරයාගේ ස්ථාන 8ක් පරීක්ෂා කරන්නේය කියලයි. ඒ කොහොමදැයි කියනවා නම් නාඩි පරීක්ෂාය, මුත්‍ර පරීක්ෂාය, මල පරීක්ෂාය,  ජිව්හා පරීක්ෂාය, නේත්‍ර පරීක්ෂාය, ස්වර පරීක්ෂාය, බල පරීක්ෂාය කියන අට විදිහෙනුයි.” 

“ඉතින් මේ  රෝගියාගේ නාඩිත් ශරීරයේ නිල ස්ථානත් පරීක්ෂා කළාම ලේ ගමනයත් හඳුනාගෙන කිසියම් නහරයක වූ රෝගී තත්ත්වයත් වෙනස් වීමක් අප හඳුනාගත්තා. පුරාණ පොතපතෙහි සඳහන් අප නිරතුරුව පර්යේෂණ මඟින් වඩ වඩාත් තහවුරු කරගත් මේ මහපොළොවේ වැවෙන ඔසු පැළ යොදාගෙන හදාගත් ඔසුවලින් එක දිගට සත්කාර කෙරුණා. හරියටම සති තුනක් ඉක්ම ගියාම ඔත්පළ වී, කිසිම දෙයක් කරකියා ගන්න බැරිව සිටි මේ වියපත් රෝගියා පුදුමාකාර විදිහට සුවය ලැබුවා. ඒ තමයි මේ වෙදකමේ විස්මිතය.” 

සුලක්ඛන ජයවර්ධන