ජලාශවල රොන්මඩ පොහොර කරන්න අලුත් යෝජනාවක්

0
41


විනීතා එම්. ගමගේ

පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු ජලාශවල අසීමිත ලෙස තැන්පත්ව ඇති රොන්මඩ ඉවත් කර වගාබිම්වලට පොහොර ලෙස යෙදීමේ වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් විය යුතු යැයි පරිසරවේදීහු යෝජනා කරති.

කඳුකර වගාබිම්වලින් කාලයක් තිස්සේ යේදී ආ පස් තැන්පත්ව, බොහෝ ජලාශයන්හි රොන්මඩ මහා පරිමාණයෙන් තැන්පත්ව ඇති බවත් මේ හේතුවෙන් ජලාශයන්හි ධාරිතාව අඩකින් පමණ අඩුවී ඇති බවත්  ඔවුහු පෙන්වා දෙති. 

මෙසේ ජල ධාරිතාව අඩුවීම හේතුවෙන් වැස්සෙන් පිරී ඉතිරී යන ජලාශ වැසි සමය අවසන් වී දින කිහිපයකදී සිඳී යන බවත් විදුලිය උත්පාදනයට හා ගොවිබිම්වලට ජලය හිඟ වන්නේ මේ නිසා බවත් පරිසරවේදී සමන්ත ගුණසේකර ‘මව්බිම’ට පැවැසීය.

විද්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ ජලාශ පතුලට හානි සිදුනොවන පරිදි රොන්මඩ ඉවත් කළ හැකි නම් ඒවා ඉතා සරු පොහොරක් ලෙස සකස් කර ගොවිබිම්වලට යැවිය හැකි බව පෙන්වා දුන් ඔහු එවිට විදේශ රටවලින් කාබනික පොහොර එනතුරු බලා සිටින්නට අවශ්‍ය නොවනු ඇතැයිද සඳහන් කළේය. ලෝකයේ බොහෝ රටවල් ජලාශ පතුලේ තැන්පත්ව ඇති මඩ, පොහොර ලෙස යොදාගන්නා බවද ගුණසේකර මහතා කීවේය. පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු මහා ජලාශ පමණක් නොව මේ වනවිට බොහෝ වැව් හා ජලාශද රොන්මඩවලින් පිරී ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.