කල් ඉකුත් වූ දේශපාලකයෝ

0
157


කල් ඉකුත්වීමේ දිනයක් හෙවත් expiry date තිබෙන්නේ කිරි පැකට්වලට පමණක් යැයි සමහරු සිතා සිටිති. නැත, එය සියලු භෞතික වස්තූන්ට මෙන්ම මතවාදයන්ටද පොදුය. ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන දේශපාලකයෝද කල් ඉකුත් වී දුගඳ හමන්නට පෙර  ඉවත්ව යා යුතුය. ඉවත්ව නොයන විට බහු ජනතාව ඔවුන් සිංහාසනවලින් බිමට ඇද දමති. කල් ඉකුත් වන්නට ප්‍රථම වේදිකාවෙන් බැස යන නායකයෝ ගෞරව බහුමානයට ලක් වෙති. ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය ප්‍රීතිමත්ය.

කල් ඉකුත්වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ව්‍යවස්ථානුකූලව නියමිත කාලය ඉක්මවා බලයේ සිටීමට පමණක්ම නොවේ. ශාරීරික අකර්මණ්‍යතාව හෝ මානසික   ගර්හිත භාවයට පත්වීම යන කරුණු මතද ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමට ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබේ. එහෙත් ජනාධිපතිවරයා ස්වකීය ධුරයෙහි රාජකාරි නිසි අයුරු ඉටු නොකොට රටත් ජනතාවත් විපතේ හෙළන්නේ නම් ජනතා පරමාධිපත්‍ය හමුවේ ඔහුගේ ධුරය අවලංගු විය යුතුය. 

එහෙත් 78 ව්‍යවස්ථාවේ ඊට ප්‍රතිපාදන නැත. නමුත් ජනතා පරමාධිපත්‍යයට හිස නමා වේදිකාවෙන් බැස ගිය රාජ්‍ය නායකයන් පිළිබඳව ලෝක ඉතිහාසයේ කොතෙකුත් තොරතුරු සඳහන්ව තිබේ.

බලහත්කාරයෙන් සිංහාසනවල රැඳී සිටි බොහෝ නායකයන්ගේ අවසානය ඛේදවාචකයක් විය. 

මොසැම්බික් දේශයේ හිටපු ජනාධිපති ජෝකිම් චිසානෝ මොසැම්බික් දේශය එක්සේසත් කළ කීර්තිමත් රාජ්‍ය නායකයාය. සිය ප්‍රථම ධුර කාලය අවසන් වීමෙන් පසු තවත් වාරයක් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිව තිබියදී ඔහු දේශපාලනයෙන් සමු ගත්තේය. යළි රට භාරගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිද්දී ඔහු පැවැසුවේ, “මම මගේ වැඩ කොටස ඉටු කළා” යනුවෙනි. ඔහුට හරිහම්බ කළ යමක් නොතිබිණි. එහෙත් ඔහු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් ගත කළේය.

අප්‍රිකානු මහාද්වීපයේ මොසැම්බික් දේශයට මඳක් පහළින් ලිබියාව පිහිටා තිබේ. කර්නල් මුවම්මර් ගඩාෆි වසර 42ක් ලිබියාව පාලනය කළේය. ගඩාෆිගේ පාලනය අවසන් වූයේ නගරයේ බෝක්කුවක් අස්සෙන් එළියට ඇද වද දී මරා දැමීමෙනි. එකම මහාද්වීපයක රාජ්‍ය නායකයන් දෙදෙනකුගේ අවසානය සිදු වූයේ එසේය. ගඩාෆිගේ අවසානය සිදු වූ ආකාරය ශිෂ්ට ලෝකය අනුමත කරන්නේ නැත. ලිබියාවට සමෘද්ධිය ළඟා කර දුන්නේ ගඩාෆි විසිනි. නමුත් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමුවේය.

ගඩාෆිලා සිහසුනෙන් ඇද දැමූ අරාබි වසන්තය අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් යැයි පිටු ගණන් ලිවිය හැකිය. එහෙත් එය සම්පූර්ණ සත්‍යය නොවේ. තම රටවල ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරමින්, ජාතික ධනය කොල්ලකමින්, ජාතික සම්පත් විකුණන දූෂිත පාලකයන් ඔවුන්ගේ අපකීර්තිමත් ක්‍රියා වසා ගන්නේ අධිරාජ්‍යවාදය දෙසට ඇඟිල්ල දිගු කරමිනි. අපි අධිරාජ්‍යවාදයට විරුද්ධ නිසා අපට අධිරාජ්‍යවාදීන් ගහනවා, අපව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණය කරනවා යැයි ඔවුහු ජනතාව මුළා කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 හා 20 සංශෝධන මඟින්  ජනාධිපතිවරයාට පවරා තිබූ විධායක බලතල තව තවත් තීව්‍ර කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ද ක්‍රියා කළේය. මල්ලි ජනාධිපති වී අයියා අගමැති වී අමාත්‍ය මණ්ඩලයේ බහුතර බලය අනිකුත් සහෝදරයන්ට පවරා ගන්නට රාජපක්ෂලා ක්‍රියා කළ අන්දම අතිශයින් ජුගුප්සාජනකය. 

විධායකය, ව්‍යවස්ථාදායකය මතු නොව, අධිකරණයද දූෂණය කළේය.  මූල්‍ය අපරාධකරුවන් අධිකරණය ඉදිරියේ නි‍ෙදාස් කොට නිදහස් කෙරිණි. රටේ භූමිය හා සම්පත් තම පෞද්ගලික දේපළ සේ සලකා ක්‍රියා  කරන්නට ඔවුහු පෙලඹුණහ. දිගු කාලයක් තුළ ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩුණු ජනතා ක්‍රෝධය අද පුපුරා ගොස් තිබේ.

ඔවුන් විසින් නිර්මාණය කරන ලද දූෂිත පාලන සම්ප්‍රදාය විසින් ලංකාව ආසියාවේ දිළි¾දුම රාජ්‍යය බවට පත්කර තිබේ. අනෙක් පැත්තෙන් රාජපක්ෂවරු කලාපයේ  ඉහළම ධනවතුන් බවට පත්ව සිටිති. වර්තමානයේ ඔවුන්ගේ මාලිගා වට කරන දහස් සංඛ්‍යාත ජනයා ඉල්ලා සිටින්නේ අපෙන් පැහැර ගත් දේ අපට ආපසු දෙන ලෙසය.

අතිවිශාල ණය කන්දකට රට යට කළේ පාලකයන් විසිනි. ඊනියා සංවර්ධනයක් පෙන්වමින්  දැවැන්ත පරිසර විනාශයන්  සිදුකරමින් ඔවුන් අපේ මවුබිම සිඟමනට ඇද දමා තිබේ. එසේ වුවද අපේ රටේ පාලකයන් ටියුනීසියාවේ බෙන් අලි, ඇල්ජීරියාවේ අබ්දුල් අසීස්, ඉන්දුනීසියාවේ සුහර්තෝ, සුඩානයේ ඕමාර් අල් බෂීර්, ඊජිප්තුවේ හොස්නි මුබාරක්, පිලිපීනයේ මාකෝස්  වැනි රාජ්‍ය නායකයන්ගේ තත්ත්වයට වැටෙනවාට අපි කැමැති නැත. ඒ නිසාම තරුණ ජනයා ඉල්ලන ගෞරවනීය වෙනස ඔවුන්ට ලබාදිය යුතුය. මේ රට අප සියල්ලන්ගේය.