ඕස්ට්‍රේලියාවෙන් ගෙනත් ලංකාවෙ දරුවන්ට කොම්පියුටර් බෙදන මාරියෝගෙ පින්කම

0
32


එදා වේල පවා සරිකර ගන්නට නොහැකි බහුතර වැඩිහිටි ගම්මුන්ට ලැප්ටොප් පරිගණක කෙසේ වෙතත් ස්මාට් ජංගම දුරකථනයක් දරුවාට ලබාදීමද මහ බරක් විය. දරුවන් ස්මාට් ෆෝන් ඉල්ලමින් මවුපියන්ට ඇවිටිලි කරද්දී වැඩිහිටියෝ අන්ත අසරණ වූහ. 

ඇතැම් මවුපියෝ දරුවන්ගේ ඉල්ලීම් ඉටු කර දෙන්නට තම දේපළ පවා විකුණ­හ. කන කර උකසට තැබූහ. තවත් සමහරු දැඩි ලෙස අසරණ වී බලා සිටියහ. ඒ අතර ඇතැම්හු දරුවාගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කොට සන්තකයේ ඇති දෙයක් විකුණා දරුවාට ස්මාට් ෆෝන්, ලැප්ටොප් මිලට ගෙන දුන්හ. තමන් ගෙවන මේ දුක්ඛිත ජරා වළෙන් දරුවා හෝ එගොඩ විය යුතු බව ඔවුහු සිතූහ.

දරුවන්ට මෙලෙස සිප්සතර ලබාදෙන්නට කැපවෙන මවුපියෝද අන්තර්ජාලය හරහා අවශ්‍ය දැනුම ලබාගන්නට අනේකවිධ දුක් විඳින දරුවන්ද අපි විටින් විට මාධ්‍ය ඔස්සේද දුටුවෙමු.

පොත්පත්, ඇඳුම් පැලඳුම්, පාවහන් මිලදී ගැනීමට නොහැකිව සිටින දරුවන්ට ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, පරිගණක අතපත ගෑම පරිශීලනය කිරීම සිහිනයක් බඳු විය. මේ නිසා දරිද්‍රතාවයෙන් හෙම්බත්ව සිටින ගම්බද දුප්පත් පාසල් දරුවන්ට පරිගණක සිහිනය සැබෑ කර දෙන්නට දෙස් විදෙස්හි සිටින ලාංකික මාතාවගේ ඇති හැකි දරුවෝ ඉදිරිපත් වූහ. අධ්‍යාපනය ලබාගන්නට දුක් විඳින මෙරට දරුවන් ගැන ඔවුන්ගේ සිත් සතන් හඬා වැලපෙන්නට විය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අජිත් මාරියෝ එවන් අයෙකි. ඕස්ට්‍රේලියාව වැනි රටක සුඛෝපභෝගී විනෝදබර ජීවිතයක් ගත කළ හැකි වුවද මාරියෝගේ ජීවිතයේ වැඩි කලක් වෙන් වූයේ ශ්‍රී  ලංකාවේ දුප්පත් ගම්බද ප්‍රදේශවල ඉගෙනුම ලබන දූ පුතුන්ගේ අනාගතය වැඩදායි මෙහෙවරක් කිරීම සඳහාය.

“මම 2006දී ඕස්ට්‍රේලියාවේ රැකියාව සඳහා ගියා. මම වැඩකළේ FINDEX කියන මූල්‍ය සමාගමක. ආරම්භක අවස්ථාවේ මේ සමාගමේ වැඩ කළේ 20 දෙනෙක් වගේ සුළු පිරිසක්. දැන් ඒ ආයතනයේ 4,000ක් විතර රැකියාව කරනවා. මම හරිම කැපවීමෙන් ඒ ආයතනයේ රස්සාව කළා. කාලයක් යනකොට එතැන ප්‍රධානීන්ට මා ගැන විශ්වාසයක් ඇති වුණා. ඔවුන්ගේ හිත දිනාගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි මට මේ පුණ්‍ය කටයුත්ත පටන්ගන්න පසුබිම ඇති කරගන්න පුළුවන් වුණේ.”

FINDEX සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පිහිටි ඉතා විශාල මූල්‍ය සමාගම් අතරින් ප්‍රධාන පෙළේ සමාගමකි. මෙහි මවු ශාඛා බොහොමයක් නගරයේ සහ රට තුළ ව්‍යාප්තව පවතී. මෙම ආයතනයේ පවත්වාගෙන යන පරිගණක කෙටි කලක් භාවිත කිරීමෙන් පසු මාරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

“අපේ කොම්පැනියේ Chief information officer (CIO) වොලනිසස් කියලා කෙනෙක්. මේ පාවිච්චි කරලා මාරු කරන කොම්පියුටර්ස් අපේ රටේ දුප්පත් ළමයින්ට ලබාදෙන්න පුළුවන්ද කියලා මම එයාගෙන් ඇහැව්වා. ඔහු මගෙන් ඇහැව්වා ඒ මොකටද කියලා. මම කිව්වා අපේ රටේ ගම්බද ප්‍රදේශවල ජීවත්වන දරුවෝ ඉතාමත් දුප්පත්. ආහාර වේලක්වත් හරියට ගන්න බැරි තරමට දුප්පත්. මේ කාලයේ කොම්පියුටරයක්, ෆෝන් එකක්, ලැප්ටොප් එකක් ගන්න එයාලගේ මවුපියන්ට වත්කමක්වත් නැහැ. එතරම් ඒ දරුවෝ දුප්පත්, අහිංසක ළමයි කියලා. ඒ දරුවෝ සිග්නල් නැතිව ඩේටා නැතිව දුක් විඳින ආකාරය මම ඒ නිලධාරියාට කියලා දුන්නා. 

මම එහෙම කියද්දී ඒ නිලධාරියාගේ තිබුණෙත් ධනාත්මක අදහසක්. එයා ඒකට කැමැති වුණා. 2012 අවුරුද්දේ  ඉඳලා මම මගේ වියදමින් පරිගණක, ලැප්ටොප් සුළු වශයෙන් ලබාදුන්නු ඒ වැඩපිළිවෙළ මට පුළුල් කරන්නට මේ නිසා පුළුවන් වුණා. දැන් අපිත් එක්ක මේ වැඩසටහනට FINDEX ආයතනය වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා.”

2014 වසරේදී ලැප්ටොප්, පරිගණක උපාංග 15ක්ද 2016 වර්ෂයේදී 30ක්ද අප රටට ලබාදුන් මාරියෝ මේ වසරේ එනම් 2022දී ලංකාවට පැමිණියේ ඉතා විශාල ප්‍රමාණයක පරිගණක උපාංග ප්‍රමාණයක්ද රැගෙනය. මෙය රුපියල්වලින් පවසනවා නම් මිලියන 20කට ආසන්නය.

“මුලදී මම මේ දේවල් දුන්නේ තනි පුද්ගලයන්ගේ පාවිච්චියට. පස්සේ මට හිතුණා ඒවා පාසල්වලට ලබාදුන්නොත් ඊට වඩා ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ අනුව තමයි අපි මේ උපකරණ පාසල්වලට බෙදා දෙන්න තීරණය කළේ.

ගම්බද දුෂ්කර පාසල් සම්බන්ධීකරණය කරමින් විදුහල්පති ටී.ඒ. බන්දුල ධර්මතිලක සහ විදුහල්පති ඩබ්ලිව්. ගුණතිලක යන මහත්වරු සම්බන්ධ කර ගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 20කට මෙම උපාංග දීමට අපට හැකිවුණා.”

මාරියෝ මෙවර ගෙනෙන ලද පරිගණක උපාංග අතරේ ලැප්ටොප් 46ක්, මොනිටර්ස් 56ක්, ප්‍රොජෙක්ටර් 9ක්, පෞද්ගලික පරිගණක 65ක්, බෝඩ්ස් (56), වයර්ලස් බෝඩ් සහ මවුස් 9 හා 56ක්, නෙට්වර්ක් ස්විච් 10ක් පරිගණක ආධාරක 56ක්, පවර් කෝඩ්ස් (56), මොනිටර් කේබල් (56), නෙට්වර්ක් කේබල් (56) විය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 20ක් සඳහා මෙම උපකරණ තොගය බෙදා හැරිණි.

පරිගණක උපකරණ බෙදාදීම හැරුණු විට මාරියෝ තවත් සද්කාර්යයකට අත ගැසීය. මෙල්බර්න්හි ජීවත්වන මිතුරන්ද ඒකරාශී කරගෙන මෙම පාසල්වලට අන්තර්ජාල සබඳතා නොමිලයේ ලබාදීමටය.

“අපි කොච්චර උපකරණ දුන්නත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැත්නම් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ සැරේ SLT එකත් එක්ක එකතු වෙලා පාසල් සඳහා වන විශේෂ පැකේජ් එකක් මේ පාසල්වලට ලබාදුන්නා. වසරකට එක පාසලකට රුපියල් 18,000ක් යනවා. දැනටමත් මගේ යාළුවෝ 30 දෙනෙක් මාත් එක්ක මේ ව්‍යාපෘතියට එකතු වෙලා ඉන්නවා.”

මාරියෝ මේ සියල්ල කරනුයේ ඉතා විනිවිධ භාවයෙන් යුතුවය. එමෙන්ම උදාර වූ සද්භාවයෙනි. මේ සියල්ල https://youtube.com  ඔස්සේද දැක බලා ගත හැකි බව ඔහු කියයි.

“අපේ රටේ දක්ෂ දරුවන්ට පරිගණක දැනුම ලබාදීලා අනාගතයට මුහුණ දෙන්න, ඒ තුළින් රටේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට හැකියාව ලබාදෙන්න තමයි මගේ යටි සිතේ ආශාව. මින් මම විශාල සතුටක් ලබනවා.”

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ පමණක් නොව දෙස් විදෙස් සෙසු ශ්‍රී  ලාංකිකයන්ටද ඇරයුම් කරන මාරියෝගේ මෙම උදාර කර්තව්‍ය සාර්ථක වේවා යැයි අපේ පැතුමයි.

කීර්ති මෙන්ඩිස්