අසංක නවරත්න බිළීබා ගැනීමේ මහ රෑ මෙහෙයුම

0
485


අසංක නවරත්න බිළී බා ගැනීමේ බැසිල්ගේ අසාර්ථක මෙහෙයුම

ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ රේණුක පෙරේරා යන තිදෙනා බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි කුරුණෑගල බලා 11දා රෑ පිටත්ව ගියේ වයඹ පළාත් මන්ත්‍රි අසංක නවරත්න හමුවීමටය. තිදෙනාගෙන් කිසිවකු අසංකගේ නිවෙස පිහිටි ඉසව්ව දැන සිටියේ නැත. අවසානයේ පොලිසියේ පිහිට පැතීමට සිදුවිය.

පොලිසිය ඔවුන් කැටුව ගියේ අසංකගේ අම්මා වෙසෙන නිවෙසටය. මැදියම් රැයේ මව අවදි කොට ඔවුන් ඇය ලවා අසංකට දුරකථන ඇමැතුමක් ලබාදී ඔහුගෙන් ගෙදරට එන පාර අසාගෙන එහි යන විට අලුයම 2.00ට ආසන්නව තිබිණි.

අසංක නවරත්න 

වටකරගත් බැසිල් 

 බැසිල් රාජපක්ෂගේ ගෝලයන් තිදෙනා ඉර පායන තුරුම තෙල බෙදන්නට පටන් ගත්හ. රටේ ඊළඟ නායකයා බැසිල් බවත් බැසිල්ට හොඳ ටීම් එකක් අවශ්‍ය බවත් අසංක ඊට සුදුසුම අයකු නිසා ඉල්ලන ඕනෑම තනතුරක් දී ඔහු ගන්නට බැසිල් සූදානම් බවත් ඔවුන් පවසා තිබේ. 

ආණ්ඩුවේ වැඩ නිසා දැන් ඡන්දදායකයනුත් තමාගෙන් අෑත්ව ඇති බව පවසා ඇති අසංක ඔවුන්ට එකතුවීමට ඇති නොකැමැත්ත ප්‍රකාශ කර ඇත. නමුත් ඔවුන්ගේ පෙරැත්ත කිරීම එතැනින් නතර වී නැත. අමනාපකම් තියා ගතයුතු නැති බව කියා  ඔවුන්ට කරන උදව්වක් හැටියට අඩුගානේ බැසිල් හමුවීමට කොළඹ යමු යැයි ඔවුන් අන්තිමට යෝජනා කර ඇත. රෑ දෙකට අසංකගේ ගෙදරට ගිය පිරිස බලාපොරොත්තු සුන්කර ගෙන එළියට ආවේ පසු දින උදේ 8.30ට පමණය. 

යෝජනා මාලාව තමන් හැදූ බව කියන්න ගිහින් හරින් _ මනුෂ ඇදගෙන නෑ හැටි

වර්තමාන දේශපාලන අර්බුදය විසඳුමකට ගෙන ඒම සඳහා පක්ෂ 11ක එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යෝජනා මාලාවක් භාරදුන් බව රටම දන්නා කරුණකි. එම යෝජනා පිළිබඳව සජබ කමිටු රැස්වීමකදී සාකච්ඡාවට ගෙන ඇත. ඒ අවස්ථාවේ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ප්‍රකාශ කර තිබෙන්නේ එම යෝජනා සකස් කළේ ඔවුන් විසින් බවය.

මේ හතර බීරි කතාව ගැන එහි සිටි සෙසු පිරිසද විමතියට පත්වූයේ ඔවුන් දෙදෙනාගේ දැනුමේ දිග පළල සජබ නායකයන්ද දන්නා නිසාය. කෙසේ වුවද හරින් – මනුෂ මෙවැනි බොරුවක් දෙසා බෑමට පාදක වූයේ ඔවුන් දුමින්ද දිසානායක සහ දයාසිරි හමුවූ අවස්ථාවක මෙම යෝජනා මාලාව දයාසිරි විසින් ඔවුන් දෙදෙනාට පෙන්වා තිබීමය. කල් ඇතිව යෝජනා මාලාව කියවා තිබීම යොදා ගනිමින් සජබ නායකයන් ඉදිරියේ වැඩ්ඩන් වීමට ගොස් හරින් – මනුෂ 

ඇන ගෙන තිබිණ.

“ගෝඨා ගෝ ගමේ” ගම සමඟ පිළිසඳරට ජනපතිට ආරාධනා

“ගම සමඟ පිළිසඳරක්” ජනාධිපති ගෝඨාභයගේ වැඩසටහන තාවකාලිකව නතරවී ඇතත් ඊටත් වඩා රටට වැඩදායක වැඩ සටහනකට ජනාධිපති සහභාගි කරවා ගැනීමට රටේ උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන් මෙන්ම තරුණ තරුණියන් ජවයක් ඇති ජනතා ආකර්ෂණය දිනාගත් සාමකාමී සන්දර්ශනයක් රට පුරා ආරම්භ වී තිබේ. එහි ප්‍රමුඛ නියමු වැඩසටහන අරඹා තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පෙනෙන නොපෙනෙන දුරකිනි. එය ගෝඨාගේ නමින්ම අරඹා තිබේ. තම ඉල්ලීම් දිනාගන්නා අයුක්තියට එරෙහි හඬ නඟන්න පිරිස්වලට ගෝඨා ජනාධිපති ලෙස සකස් කර දුන් එම ස්ථානය ජනතාව විසින්ම හඳුන්වා දී තිබෙන්නේ “ගෝඨා ගෝ ගම” යනුවෙනි. එම ගම්මානයට රටට ආදරය ඇති දහස් සංඛ්‍යාත ජනතාවක් විසින් ආරක්‍ෂාවද සපයා දී තිබේ. ඒ ජනතාව ගෝඨාට කියන්නේ එම ජනතාව සමඟ පිළිසඳරකට එම ගම්මානයට පැමිණෙන ලෙසය. එහි එන ගෝඨාට පහස නිවා ගන්න තැඹිලි ගෙඩියක් හෝ පලතුරු බීමක්, කිරි පැකට්ටුවක් නොමිලයේ ලබා ගැනීමටත් අවශ්‍ය නම් කුසට ආහාරයක් ලබා ගන්නටත් “ගෝඨා ගෝ” දන්සල්ද එහි පිහිටුවා තිබේ. ඔහුට මේ පිළිසඳරට එන්න හෙලිකොප්ටර්, වෙඩි නොවදින වාහන හෝ වෙනත් සුඛෝපභෝගී වාහනද අවශ්‍ය නැත. ඔහුගේ නිල නිවෙස වන රජගෙදර සිට විනාඩි පහක් තරම් සුළු වේලාවකදී පයින්ම ගෝඨා ගෝ ගමට එන්නට පුළුවන.

මේ ගමේ දැනට කූඩාරම් ගසාගෙන සිංදුවක් ගීයක් කියාගෙන රට අමාරුවේ නොදමා පාලනය කරන්නැයි කාරුණික හඬක් නඟන පිරිස අවුරුදු නැකතට අනුභවය සිදුවන 14 වැනිදා කිරිබතක් උයා, කැවුම්, අග්ගලා, මුං කැවුම්, කොකිස් සමඟ කෙසෙල් ගෙඩිවලින්ද සැරැසුණු අවුරුදු කෑම මේසය විවෘත කරන්නට ගෝඨා ගෝ ගමේ ජනතාව ගෝඨා එනතුරු බලා සිටියි කියති.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහි කරමින් පාස්කු දේව මෙහෙයක්ද ගෝඨා ගෝ ගමේ පැවැත්වීමටද කටයුතු යෙදී තිබේ.

ශාන්ත බණ්ඩාර දේශපාලන ඉත්තකු වෙයි 

රාජපක්ෂලාගෙන් තොර ආණ්ඩුවක් ඕනෑයි මහජනතාව ඉල්ලා සිටිද්දී ජනාධිපති හා අගමැති තනතුරු දරන රාජපක්ෂවරුන් සමඟ ආණ්ඩුවකට එකතු වන්නේ නැතැයි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් ජනතාවට සහතික වෙද්දී එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැති ධුරයක් ලබාගෙන පසුගිය 11 වැනිදා රාත්‍රියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම් දුන්නේ රාජපක්ෂ පවුලේම අයකු දැරූ අමාත්‍යාංශයකම වීම විශේෂත්වයකි. 

එසේම ශාන්ත බණ්ඩාර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයාද වෙයි. මේ තනතුර ඔහු ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා මොන අන්දමකට යොදා ගනීදැයි දන්නේ නැත. 

රාජ්‍ය ඇමැති ධුරය භාරගත් ශාන්ත බණ්ඩාර පවසන්නේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව තමා මෙම තනතුර ලබාගත් බවයි. ජනාධිපති සමඟ ආණ්ඩු කරන්නට ඇමැති ධුරය භාරගත් ශාන්ත බණ්ඩාර තවදුරටත් කියන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයකු සේ තවදුරටත් කටයුතු කරන බවයි. ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ හිටියත් රාජපක්ෂ පොහොට්ටුවේ බඹරකුගේ කාර්ය භාරය ඉටුකරන බවද? 

මෛත්‍රි වන්දනාව අතහැර ගෝඨාභය වන්දනාවට එක්වීම

ගොවි ජනතාව ජීවත්වන ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රිවරයකු ලෙස ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රාජ්‍ය ඇමැති තනතුර භාර ගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීමට එකඟ වෙමින් තනතුර භාරගත් බව ශාන්ත බණ්ඩාර ‘මව්බිම’ට ප්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ ඔහු දැන් මෛත්‍රි වන්දනාව අතහැර ගෝඨා ගෝ වන්දනාවට මුලපුරා තිබෙන බවද? 

පොහොට්ටු ඔටුන්න පැලඳ ගත් ශාන්ත දැන් ශාන්ත දාන්ත වෙමින් ඔහුගේ අලුත් දේශපාලන ගමන ආරම්භ කරන්නට සූදානම් වෙමින් සිටී. ඔහු රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු’ ‘මව්බිම’ට ප්‍රකාශ කර තිබුණ් පොහොර අර්බුදය ආදී ගොවි ජනතාවට බලපාන ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවත් මේ අවස්ථාවේ රට අරාජික නොකර ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කරන බවයි. 

නොදන්නා තොවිලයට ගොස් හත්පොළේ ගා ගැනීම 

මේ රට අර්බුදයට ගෙන යෑමට මුල් වූයේ කාබනික පොහොර ගොවිජනතාවට හඳුන්වා දෙන්නට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීන්දුවයි. ඒ තීරණය වැරැදි බව ජනාධිපතිගේ අයියා අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය 11 වැනිදා ජාතිය අමතමින් කීවේ, කාබනික පොහොර වැඩපිළිවෙළට වෙලාව මෙය නොවන නිසා පොහොර සහනාධාරය යළි දෙන බවයි. එසේ දෙන සහන පොහොර කිසිසේත් කාබනික පොහොර නොවන බව සහතිකය. රසායන පොහොර ආනයනය මහා පරිමාණයේ කොමිස්වලින් සාක්කු පුරවන බිස්නස් එකක් බව කෘෂිකර්මය ගැන දන්නා අය හොඳින් දන්නා බවද මෙහි සඳහන් කිරීම මේ අවස්ථාවේ සුදුසු යැයි සිතමි. 

මේ ආණ්ඩුවේ 

සුජාත භාවය ගිලිහිලා 

ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැති ධුරය භාර ගත්තේ  ඔහු සාමාජිකත්වය දැරූ පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරයෙන් ඉවත්වී දැයි නොදනිමු. එසේම ඔහු මේ දේශපාලන මාරුව ගැන පක්ෂයේ නායකත්වය දැනුවත් කළාද යන්නත් නොදනිමු. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ස්වාධීන වූ මන්ත්‍රිවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අපි විශ්වාස කරන හැටියට කොයි පැත්තට කාඩ්පත ඇනුවත්, මේ ආණ්ඩුව පිළිගත්ත සුජාතභාවය මේ ආණ්ඩුවෙන් ගිලිහිලා තියෙන්නේ. එම නිසා මේ රටේ ජනතාව ඉල්ලන්නේ රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක්. ඊළඟට ජනාධිපති ගෙදර යවන කාරණය. හැබැයි අපිට ගන්න පුළුවන් පියවර තමයි පාර්ලිමේන්තුව තුළ අපි රාජපක්ෂවරුන් නොවන ආණ්ඩුවක් කොහොමද හදාගන්නේ. ඒක නොහදන තාක් කල් මේ රටේ ජනතාව නැඟිටින එක වැඩි වෙයි. ඒ වගේම ජාත්‍යන්තර සහාය ගන්න බැරි වෙයි. ඕන කුට්ටමක් අනාගන්න. අපට රාජපක්ෂවරු සමඟ පෞද්ගලික තරහක් නෑ. මේ රටේ ජනතාවගේ ඉල්ලීම තමයි ඒක. ශ්‍රී ලනිප ලේකම්වරයා පක්‍ෂයේ මතය එතරම් පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ශාන්ත බණ්ඩාර දේශපාලන පීල්ල මාරු කිරීම ගැන “කැබිනට් එක” දයාසිරි ජයසේකරගෙන් විමසූ විට ඔහු දේශපාලන බෝම්බයක් දමා ගසමින් කීවේ මෙවැනි කතාවකි. 

ජනපති ජරාජීර්ණ වූ දේශපාලන පවුලක මුල් පුරුකක් වුණා 

සල්ලිවලට, වරදාන වරප්‍රසාදවලට යටවුණු ක්‍රියාවක් තමයි මේ. ශ්‍රී ්‍රලනිපය ඇතුළු ආණ්ඩුවේ සහාය පක්ෂත් ස්වාධීන වූ මන්ත්‍රි පිරිසත් ජනාධිපති සමඟ පැවැති සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කරගෙන සීමිත කැබිනට් මණ්ඩලයකින්, රට ස්ථාවර තත්ත්වයකට ගෙනැවිත් මහ මැතිවරණයකට යන්න අපි යෝජනා කළා. අල්ලස් ප්‍රතික්ෂේප කරන, හොරකම් දූෂණ ප්‍රතික්ෂේප කරන නායකයකු ලෙස හිතලයි අපි මේ ජනාධිපති පත්කර ගත්තෙ. නමුත් ජරාජීර්ණ දේශපාලන පවුලක පුරුකක් ලෙස තමයි මොහු කටයුතු කරන්නේ. තවදුරටත් මේ අයගෙන් පිරිසුදු දේශපාලනයක් අපේක්ෂා කරන්න බෑ. පාරවල්වලින්. කෝටි ගණන් හම්බකරපු සල්ලිවලින් තමයි මේ කුණු වෙච්ච පවුල ගොඩනඟන්න හදන්නේ. ඒක කරගෙන යන්නයි කියනවා.” 

ජනපති කැඳවන සාකච්ඡාවට යන්නේ නැහැ

දේශපාලන වශයෙන් ඒ හැඳින්වීම කළ දයාසිරි මේ සටහන ලියන 12 වැනිදා දහවල් කීවේ අද (12දා) සවස ජනාධිපතිවරයා කැඳවා තිබෙන සාකච්ඡාවට ශි්‍ර.ල.නි.ප. සහභාගි නොවන බවයි. එසේම ආණ්ඩුවේ සහාය පක්ෂවල සිට පසුගියදා ඉවත්ව ස්වාධීන වූ පක්ෂත්, ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායමත් මේ සාකච්ඡාවට බොහෝ දුරට සහභාගි නොවනු ඇතැයි දයාසිරි මහතා සඳහන් කළේය. 

පක්ෂ 11 සජබ සමඟ සාකච්ඡා කරයි

දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රට යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ශ්‍රී ලනිපය, හවුල්කාර පක්ෂ 10 සහ පොහොට්ටුවේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු යෝජනා 11ක් සහිත සන්දේශයක් ඉකුත් සතිය ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයාට භාරදී තිබිණි. එම යෝජනාවලියේ ප්‍රධානම යෝජනාව වූයේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. මෙම යෝජනාව ජනාධිපතිට භාරදීමට පෙර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිගේ නිවෙසේදී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබිණි. මේ සාකච්ඡාවට සජබයේ නියෝජිත පිරිසක්ද සහභාගි කරවා ගැනීමට වූ එකඟතාවක් බව සජබ නායක සජිත් ප්‍රේමදාස, ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එරාන් වික්‍රමරත්න මහත්වරුද සාකච්ඡාවට සහභාගි වූහ.

මෙහිදී සජබ ඔවුන්ගේ වැඩසටහන ගැන දැනුවත් කරමින් ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමටය. එම පක්ෂය අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට සිටියේ දෙගිඩියාවෙනි. මේ අවස්ථාවේ 42 මන්ත්‍රි කණ්ඩායමේ යෝජනාවේ පිටපතක් සජබ නියෝජිතයන්ට පිළිගන්වනු ලැබිණි. සජිත් ඇතුළු සජබ නියෝජිතයන්ට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමටය. එමඟින් ජනාධිපති පරාජය කොට මහ මැතිවරණයට ගොස් ආණ්ඩු බලය ලබාගැනීම සජබෙ අපේක්ෂාව විය. එසේ වුවත් මේ සාකච්ඡාවට සහභාගි වෙමින් සිටි 42 මන්ත්‍රි කණ්ඩායම නියෝජනය කළ මෛත්‍රි ඇතුළු පිරිස්  පවසා සිටියේ එම යෝජනාව ප්‍රායෝගික නොවන බවයි. එසේම එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට  අවම වශයෙන් මාස තුන හතරක කාලයක් ගතවන බැවින් පවතින අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා දීමට කල් ගතවන බවයි. එවැනි තත්ත්වයක් යටතේ මැතිවරණයකට යෑමද ප්‍රමාද වන්නට ඉඩ තිබෙන බවයි. මේ කරුණු ගැන කණ්ඩායම් දෙක අතර අදහස් හුවමාරු වුණත් තීන්දුවකට පැමිණියේ නැත.

ස්වාධීන වූ 42 කණ්ඩායම ජනපති හමුවෙයි

ඊට පසුව 42 මන්ත්‍රි කණ්ඩායම සවස 5.30ට මෛත්‍රිගේ නිවෙසේදී රැස්විය. පසුව එම කණ්ඩායම ජනාධිපති හමුවීමට ජනාධිපති මන්දිරයට ගියේය. එහිදී එම කණ්ඩායම විසින් සකස් කරන ලද යෝජනා 11කින් සමන්විත ලේඛනය ජනාධිපතිට භාර දුන්නේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පත් කිරීම.

අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සීමිත අමාත්‍යාංශ ගණනක් සහ ඒවායේ විෂය පථය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

ජාතික උපදේශක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයකු පත් කිරීම.

ඇමැතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.

ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යාංශයක් සඳහාම විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම ඇතුළු යෝජනා 11 ගැන ජනාධිපතිවරයා ඉතා සුහදව 42 මන්ත්‍රි කණ්ඩායම සමඟ සාකච්ඡා කළත්

අගමැති ඉවත් කිරීමට 

ජනපති එකඟ නෑ

අගමැති නම්කරන ආකාරය නැති නම් අගමැති අයින් කිරීම ජනාධිපති එකඟතාවක් පළ කළේ නැත. අගමැති ඉවත් කිරීම ජනාධිපතිට ප්‍රශ්නයක්  විය. එය ඔහුට පෞද්ගලික හා මානසික ප්‍රශ්නයක් ලෙස පෙනුණි. එහිදී නියෝජිත පිරිස එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන ජනාධිපතිවරයාට කරුණු පහදා දුන්හ. සාකච්ඡාව අවසන් වූයේ නැවත සාකච්ඡා කිරීමට එකඟතාවක් පළ කරමිනි.

එම සාකච්ඡාව පැවැත්වීමට දින යොදා ගෙන තිබුණේ අප්‍රේල් 12 වැනිදා රාත්‍රි 7.00ටය. ඒ අතර එදින පෙර දින එනම් 11 වැනිදා ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයාට රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදීම හා ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරයකු ලෙස සිටිමින් ඔහු එම ධුරයේ දිවුරුම් දීම ශ්‍රී ලනිපයෙන් වෙන් කර ගැනීමට ගත් ක්‍රියාවට විරෝධතා පළ කරන ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එම සාකච්ඡාවට සහභාගි නොවීමට තීරණය කළේය. ශ්‍රී ලනිපය ගත් එම තීරණයත් සමඟ ජනාධිපති සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අහෝසි විය.

සජබ විශ්වාසභංගය අප්‍රේල් අන්තිම සතියේ 

ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මාසයේ අවසන් සතියට පෙර පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා “කැබිනට් එකට” පැවැසුවේය.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් යෝජනාවට අස්සන් තබා තිබෙන අතර විපක්ෂයේ සෙසු පක්ෂවල මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ලබාගැනීම මේ වනවිටත් එම පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කීය. විශේෂයෙන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රි ප්‍රධාන  එම කණ්ඩායම සමඟ ළඟදීම මේ පිළිබඳව සාකච්ඡා කරන බවද මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා සඳහන් කළේය.

අන්තර්කාලීන පාලනයකට යෑමට නම් ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බවත්, ඔහු ඉවත් කිරීම සඳහා ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකරගෙන යන බවත් සජබ ලේකම්වරයා පැවැසීය.

සජබ මෙයට අදාළ ඉදිරි කටයුතු ගැන පසුගිය 10 වැනිදා සාකච්ඡා කොට තීරණයකට එළැඹ තිබෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය. 

රනිල් කියන දේශපාලන නොනගතය සහ ආර්ථික නොනගතය

ශ්‍රී ලංකාව කොයි මොහොතේ හෝ පුපුරා යන ගිනි කන්දක තත්ත්වයට පත්වෙමින් තිබේ. රටේ පාලනයට ජනාධිපතිවරයකු සිටී. අගමැතිවරයකුද සිටී. හතර දෙනකුගෙන් යුතු “පූර්ණ” කැබිනට් මණ්ඩලයක්ද සිටී. පාලන කටයුතු කෙරෙන රාජ්‍ය දෙපාර්තමේන්තු, ආයතන ආදිය පාලනයක්, ක්‍රියාකාරිත්වයක් නැති මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. මේ තත්ත්වය අනුව රට වැසියන්ට දැනුම් දෙන්නට තිබෙන්නේ දැන් රට අරාජික වෙමින් තිබෙන බව නොවේද?

රට පත්ව තිබෙන මෙම ශෝචනීය තත්ත්වය ගැන හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී එහි අරක්ගෙන සිටින පිරිසත් රටේ බුද්ධිමත් ජනතාවත් දැනුවත් කරන අපූරු කතාවක් කළේය.

රනිල් සිය කතාවෙන් පළමුව ඇමැතුවේ රාජ්‍ය නායකයා වූ ජනාධිපතිටයි. ඍජුවම ඔහු ප්‍රශ්න කළේ තනතුරෙන් යනවාද? නැද්ද? ඉදිරි වැඩසටහන කුමක්ද? යනුවෙනි. මේ ප්‍රශ්න ගැන තමාට ඡන්දය දුන් ජනතාවට කීමට ජනාධිපතිවරයාට යුතුකමක් ඇති බව රනිල් කීවේය.

ඒ ප්‍රකාශයෙන් ජනතාව සෑහීමකට පත්වී උද්ඝෝෂණය නැවැත්වුවහොත් සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යා හැකි යැයිද, උද්ඝෝෂණය වැඩි වුවහොත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් කැඳවා ඉදිරියට කළ යුතු දේ පිළිබඳව මතය විමසිය යුතු යැයිද රනිල් කීවේය.

රිම් එකෙන් දුවන ලංකාව

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය රනිල් මෙසේද කීය. අද වෙනස් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අද අපට දේශපාලන නොනගතය මෙන්ම ආර්ථික නොනගතයත් උදාවෙලා. මේ ලිතේ පුණ්‍යකාලයක් නෑ. එමෙන්ම මේ ලිතේ ආහාර අනුභවයටත් වෙලාවක් නෑ. රනිල් එහෙම කියන්නේ අවුරුද්ද කන්න කෑම වේලක් උයා ගන්නට බැරි තරමට ජනතාව අසරණ වී සිටින බවද? අද උද්ධමනය සියයට 30ක් වෙනවා. එය සියයට 40ක් වෙන්නත් පුළුවන්. අපි රිම් එකෙන් දුවන්නේ. තව සතියක් එකහමාරකට වඩා යන්න පුළුවන් දැයි මා දන්නේ නෑ. ඉන්දියන් රිම් එකෙන් දෙවැනි සතිය දක්වා යන්න පුළුවන් වෙයිදැයි දන්නේ නෑ.

මොනවා කතා කළත් ප්‍රශ්නවලට තවමත් විසඳුමක් නෑ

ඉදිරි සතිය හෝ සති දෙකක කාලයකදී රට පත්වන්නට යන සැබෑ තත්ත්වය ගැන රනිල් මේ අදහස් ඉදිරිපත් කළේ රටටත් ජනතාවටත් ඇති ආදරය නිසාමද දන්නේ නැත. අපි ඉදිරියට ඒ තත්ත්වයට මුහුණ දෙන්නට සූදානම් වෙමු කියා නොවේද?

ඩීසල් නෑ, පෙට්රල් නෑ, ගෑස් නෑ, අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට දරාගත නොහැකි තරමට මිල ඉහළ ගිහින්. මේ තත්ත්වය දැන් සති දෙක තුනක් තිස්සේ අපි කීවෙමු. ලීවෙමු. එහෙත් විසඳුමක් ගැන සේයාවක් නැත. දැන් තිබෙන අති භයානකම තත්ත්වය වෙන්නේ රජයේ රෝහල්වලත්, පෞද්ගලික බෙහෙත් සාප්පුවලත් ඔෟෂධ හිඟයක් පැවැතීමයි. රජයේ රෝහල්වල ඔෟෂධ නැත. පැනඩෝල් පෙත්තක්වත් නැති රෝහල් තිබේ. අසනීප තත්ත්වයට දෙන්නට ඔෟෂධයක් නැත්නම්, ජනතාවට කියන්නේ බේත් නෑ, උඹලා මැරියල්ලා කියලාද?

මේ තත්ත්වය ගැන මාධ්‍ය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය ඉරිදා රෝහල්වල බෙහෙත් නැති බව කළ හෙළිදරව්වෙන් පසු ලෝකයේ බොහෝ රටවල සේවය කරන අපේ වෛද්‍යවරුන් යම් ප්‍රමාණයක ඔෟෂධ රජයේ රෝහල්වලට ලබාදෙන්නට ඉදිරිපත් වී තිබේ. එය අගය කළ යුත්තකි.

ආණ්ඩුවේ බිළී පිත්ත විපක්‍ෂ මන්ත්‍රින් දෙසට දිගුවේ 

මහජන පිබිදීමත්් සමඟ රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හමුවේ ආණ්ඩුවේ දේශපාලන බල තුලනයේ ඇති වෙමින් තිබෙන දුර්වලතාව මඟහරවා ගැනීමට ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු බිළිබා ගැනීම සඳහා මේ දිනවල නොයෙක් වර්ගයේ ඇම යොදා ගැනීමක යෙදී සිටින බව වාර්තා වේ. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු ඇතුළු මන්ත්‍රිවරුන් හත් දෙනකු ස්වාධීන වෙන්නට යන බවට පැතිර යන ආරංචියත් සමඟ මෙම දේශපාලන ඇම දැනටමත් මුදාහැර තිබෙන බව කියති. 

දැනට ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව සිටින ශ්‍රී  ලංකා මහජන පක්ෂයේ නායක අංසක නවරත්න මහතා ආණ්ඩු පක්ෂයට යළි බඳවා ගැනීම සඳහා මොළ හතක් තිබෙන බවට ප්‍රසිද්ධියට පත්ව සිටින බැසිල් රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක යෙදී සිටින බවට තොරතුරු අනාවරණය වෙයි. මේ වනවිට නවරත්න මන්ත්‍රිවරයාට ඇම දීම සඳහා ජේ‍යෂ්ඨ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු යොදවා සිටින බව දැනගන්නට ඇත. ඒ ඇමැතිවරුන් දෙදෙනා වන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සභා නායක 

දිනේෂ් ගුණවර්ධන බව වාර්තා වේ. මේ දෙදෙනාම 12 වැනිදා පෙරවරුවේ නවරත්න මන්ත්‍රිවරයාට දුරකථන මඟින් කතා කොට ආණ්ඩු පක්ෂයට බැඳෙන්නයි. දැනුම් දුන් බව නවරත්න මහතා 41 මන්ත්‍රි කණ්ඩායමේ නායකයන් දැනුම්වත් කර තිබේ. 

අලුත් අවුරුද්ද ගැන වජිර කියන කතා 

වෙනදා ගාල්ල දිස්ත්‍රික්කයේ තම දේශපාලන හිතවතුන් හා ආධාරකරුවන් සමඟ සිංහල – හින්දු අවුරුද්ද ඉතා සතුටින් සමරන එජාප සභාපති වජිර අබේවර්ධන මෙවර අවුරුද්ද සැමරුවේ වෙනස් මුහුණුවරකිනි. ඔහු එසේ පෙලඹුණේ සිය සහෝදරයාගේ හදිසි වියෝව හේතුවෙනි. 

අවුරුද්දට සුබපතන්නට පැමිණි සියලු දෙනාටම දිගින් දිගටම ඔහු කීවේ “දැන් මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕනෑ. ප්‍රශ්නය 19, 20 යන ව්‍යවස්ථා හා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති, අගමැති හෝ ජනාධිපති තනතුර ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය ජනතාවට ඩීසල් නෑ, පෙට්රල්, ගෑස් නෑ. ගෑස් පෝලිමට ගියාම අවුරුද්දට බඩු ගන්න බෑ. දේශපාලනඥයන් හැමදාම කියන්නේ අපිට ඡන්දය දෙන්න, අපි කරන්නම් කියලයි. දැන් ඒ සටන් පාඨය මාරු කරන්න. එතැන ඉන්න 225 දෙනාගෙන් කවුරුහරි කරලා පෙන්වන්නේ නම්, එයාට ඡන්දය දෙන්න. මොකද මහජනයාට ඉක්මනින් විසඳුමක් දෙන්න ඕනෑ. තරුණ තරුණියන් දහස් ගණනක් අමාරුවේ වැටිලා. IT තාක්ෂණයේ ඉන්න ළමයි ලංකාවේ ඉඳගෙන විදේශ විනිමය හොයනවා. දාර්ශනික මතයක් ඉදිරිපත් කරමින් වජිර ඔහුගේ කතාව අවසන් කෙළේ රනිල්ට රට භාර දෙන්න කියාය. අනාගත පරපුර ගැන හිතලා දේශපාලන පළපුරුද්ද ගැන සලකා රනිල්ට රට භාර දෙන්න කියලයි අපට කියන්න තියෙන්නේ”යි රනිල් රටේ නායකත්වයට පත්කරන්න සිහින මවන වජිර ඔහුගේ දේශපාලන මුද්‍රාව රනිල්ගේ ඡයාරූපයේ තැබීය. 

විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම භාර දුන්නේ කාටද? 

සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු රාජපක්ෂවරු නැති වැඩපිළිවෙළක් වෙනුවෙන් එකතු වෙනවායි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියයි. 

පක්ෂ ලේකම්වරයා එසේ කියද්දී නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව රැස්වූ දිනට පෙරදින මන්ත්‍රි කණ්ඩායම හමුවේ උපදෙස් දුන්නේ ජනාධිපතිට එරෙහිව වහාම දෝෂාභියෝගයක් සහ විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි. සජිත් එසේ කියද්දී හරින්් සහ මනුෂ එකතුව දෝෂාභියෝගයට හා විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම ආරම්භ කළහ. මේ අවස්ථාවේ රාජිත කීවේ මේ වෙලාවේ පාර්ලිමේන්තුව හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ගන්න ඕනෑ කියාය. 

හරින් රාජිතගේ ප්‍රකාශයට සපෝට් කරමින් ඔව් ඒ වගේම ආණ්ඩුව එළවන්නත් ඕනෑ. අපි එළියේ ජනමතය වටහා ගන්නත් ඕනෑ කියායි. 

රාජපක්ෂලා එක්ක කිසිම සටන් විරාමයක් නෑ. මොකද ජනතාව එකහෙළාම කියන්නේ රාජපක්ෂලාට යන්න කියලයි. සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය. 

පක්‍ෂ නායක සජිත් ඒ වගේම අපි ඉක්මනින් 20 අහෝසි කරලා 19 ආපහු ගේමුයි කීවේ අලුතෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට දැනටමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කැමැත්ත පවසා තිබෙන අවස්ථාවකය.