අර්ථවත් සාහිත්‍ය පරිවර්තන කෘතියක්

0
53


ප්‍රතිභාසම්පන්න පරිවර්තකයකු වශයෙන් කීර්තියක් දිනා ඇති රෝහණ වෙත්තසිංහ මෙම කෘතිය සිංහලයට නඟා ඇත්තේ මුල් නවකතාව පිළිබඳ ගැඹුරු විචාරාත්මක අවබෝධයකින් යුතුවය. මෙම විචාරාත්මක අවබෝධය සාර්ථක සාහිත්‍ය පරිවර්තකයන්ට අවශ්‍ය වන්නේය. ඉසබෙල් අයියන්දේ වරක් ප්‍රකාශ කළේ නිර්මාණාත්මක සාහිත්‍ය වූ කලී ව්‍යාකූලත්වයෙන් පිරි ජීවිතය මත අර්ථවත් සැලැස්මක් ආරෝපණය කිරීමක් බවයි. මෙම ප්‍රකාශයෙහි වැදගත්කම එහි පරිවර්තන අභියෝගයන්ට නොපැකිළිව මුහුණ දෙන වෙත්තසිංහයන් මැනවින් වටහා ගෙන ඇත.

ඉසබෙල් අයියන්දේ අද ලෝකයේ සිටින ඉතාමත් ජනප්‍රිය ලේඛිකාවකි. ඇය සිය කෘති සම්පාදනය කරන්නේ ස්පාඤ්ඤ භාෂාවෙනි. අෑ තරම් ජනප්‍රිය වෙනත් ජීවමාන ස්පාඤ්ඤ ලේඛිකාවක් නොමැත. චිලී දේශයේ උපත ලද 77 හැවිරිදි ඉසබෙල් අයියන්දේ නවකතා 25කට අධික සංඛ්‍යාවක් රචනා කොට ඇත. මේවා භාෂා 42කට පමණ පරිවර්තනය වී තිබේ.

ඇයගේ නිර්මාණ කෞෂල්‍යයට ගරු කිරීමක් වශයෙන් විශ්ව විද්‍යාල පහළොවකින් පමණ ඇයට සම්මාන ආචාර්ය උපාධි පිරිනමා ඇත. ඉසබෙල් අයියන්දේගේ අතිශය ජනප්‍රියත්වය නිසා ඇය අර්ථසම්පන්න ලේඛිකාවක වශයෙන් සැලකීමට ඇතැම් විචාරකයෝ පසුබට වෙති. එය සාවද්‍ය චින්තනයකි. ජනප්‍රියත්වයත් අර්ථ ගම්භීරත්වයත් එක්වර රැක ගැනීමට විලියම් ශේෂ්ස්පියර් සමත් විය.

“සයුරු තෙර සහන් බිම” නවකතාවට විවිධ භාවමය සහ මානසික අර්බුද හා ප්‍රචණ්ඩ අත්දැකීම්වලට මුහුණදෙන තරුණ යුවළක් පිළිබඳ කතා ප්‍රවෘත්තියක් මුල් වී තිබේ. මෙම කතා ප්‍රවෘත්තිය ආරම්භ වන්නේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිමවූ කාල පරිච්ඡේදයෙනි. එම චංචලකාරී වකවානුව මුල් නවකතාවෙහි සහ පරිවර්තනයෙහි සියුම් ලෙස නිරූපිතව ඇත. රෝහණ වෙත්තසිංහ සූර පරිවර්තකයකු වශයෙන් පතළ කීර්තියක් දිනා ගෙන ඇත.

මෙය ඔහුගේ පස්වන පරිවර්තන කෘතියයි. ඔහු මීට පෙර “ඒරන්ගේ ලෝකය, ගිනිගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ” යන පරිවර්තන කෘති පළකොට ඇත.

එමඟින් සිංහල සාහිත්‍ය පෝෂණය උදෙසා ඔහු දායක වී ඇති බව කිවමනාය. සාහිත්‍ය පරිවර්තනය විමර්ශනය කරන විට මූලික අවශ්‍යතා දෙකක් සපුරා ඇත්දැයි සලකා බැලිය යුතුය. පළමුවැන්න මුල් කෘතියට හැකිතාක් දුරට සමීප වීම හා එහි මුඛ්‍යාර්ථය මැනවින් පසක් කොට ගෙන අන්‍යකර භාෂාවකට නැඟීමය. දෙවැන්න පරිවර්තන කෘතිය ස්වාධීන නිර්මාණයක් ලෙස අනන්‍ය ජීවයකින් නැඟී සිටීමයි. මෙම අවශ්‍යතා දෙක එක්වර සපුරා ගැනීම බෙහෙවින් දුෂ්කරය. මේ අතින් බලන විට වෙත්තසිංහයන්ගේ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.

 ඇතැම් පරිවර්තකයෝ මුල් කෘතියට හැකිතාක් දුරට සමීප වීමට තැත් කරති. නබෝකොෆ් නිදර්ශනයකි. වෙනත් පරිවර්තකයෝ සිය පරිවර්තනය ස්වාධීන නිර්මාණයක් ලෙස මතුකොට දැක්වීමට වෙහෙසෙති. බොරිස් පැස්ටර්නැක් මෙම ප්‍රවණතාව අගය කරයි. “සයුරු තෙර සහන් බිම” පරිවර්තනය කිරීමේදී මෙම අන්ත දෙක බැහැර කොට මධ්‍යගාමී පිළිවෙතක් අනුගමනය කිරීමට රෝහණ වෙත්තසිංහ යත්න දරා ඇත. වෙත්තසිංහයන්ගේ නවතම පරිවර්තනය පිළිබඳව කිවයුතු තවත් කරුණක් නම් ඔහු පරිවර්තන කාර්යය විවරණ කාර්යයක් ලෙස සැලකීමයි. 

උසස් සාහිත්‍ය පරිවර්තකයෝ මුල් ග්‍රන්ථය මැනවින් අවබෝධ කර ගෙන එහි අර්ථය ස්වකීය දෘෂ්ටියට අනුව විවරණය කරති. පරිවර්තකයා තෝරා ගන්නා පද, කාවේ‍යා්ක්ති, රූපක, භාෂා රිද්ම මෙම විවරණයට අනුකූලව සංවිධානය වෙයි. ඉසබෙල් අයියන්දේගේ මුල් නවකතාවෙහි මානව අර්ථ හා ආඛ්‍යාන ක්‍රම මනාව වටහාගෙන ඒවා පිළිබඳ සිය දෘෂ්ටිය පළවන අයුරින් සිංහලට නැඟීමට රෝහණ වෙත්තසිංහ වග බලාගෙන තිබේ. ලේඛිකාවක වශයෙන් ඒ ඒ අවස්ථාවට සරිලන ඉතාම උචිත වාගාලාප තෝරා ගැනීමට තමා නිරතුරු වෙහෙසෙන බව වරක් අෑ පැවැසුවාය. මෙම පිළිවෙතෙහි වැදගත්කම රෝහණ වෙත්තසිංහ සිය පරිවර්තනයෙන් පෙන්නුම් කොට ඇත.

මහාචාර්ය විමල් දිසානායක