වෛද්‍යවරුන් කියන්නේ බොරු ලු: රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නෑ ලු

0
52

රජයේ රෝහල්වල ප්‍රමාණවත් පරිදි ඖෂධ හා ශල්‍ය උපකරණ පවතින බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල මේ වන විට පවතින ඖෂධ සහ උපකරණවල දත්ත සටහනක් සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ නිවේදනය සමග නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ, රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතළ ලෙස හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ පුවත් හුවමාරු වන බව ය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, අත්‍යවශ්‍ය ඖෂධ 237ක හිඟයක් රාජ්‍ය මෙන් ම පෞද්ගලික රෝහල්වල ද පවතින බව ය.

මේ අතර, අත්‍යවශ්‍ය ඖෂධ, ප්‍රතික්‍රීයක හා උපකරණවල දැඩි හිඟයක් දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේ ම පැන නැග ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් 7ක් ද ජනාධිපතිවරයාට ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබිණි.

ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් දින කිහිපයක් ඇතුළත හදිසි ප්‍රතිකාර නතර කිරීමට සිදුවනු ඇතැයි ද එම සංගම් අදාළ ලිපියෙන් වැඩිදුරට ත් අවධාරණය කර තිබිණි.

තව ද යම් යම් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන ජන්මය ලද දරුවන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීමේදී අවශ්‍ය වන මුඛය සහ නාසයට ඇතුළු කරන බට සහ උපකරණවල හිඟයක් පවතින බව දන්වමින් ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.