විශාරද නන්දා මාලිනී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ජන අරගලයට එක් වෙති

0
42

ගාලු මුවදොර පිටියේ සිව් වන දිනට ත් පැවත්වෙන අඛණ්ඩ මහජන විරෝධයට සහය පළ කිරීම සඳහා විශාරද නන්දා මාලනී මහත්මිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බව ට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමින්  පසුගිය අප්‍රේල් 9 වන දා මෙම විරෝධතාව ආරම්භ කෙරිණි.

මෙම විරෝධතාවට කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන ඇතුළු මහජනතාව විශාල පිරිසක් වත්මන් ආණ්ඩුවට සිය විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වූහ.

දින හතරක් පුරා ජන අරගලයේ නිරත වන තරුණයින් පිරිසට සහය දැක්වීම සඳහා තමන් මෙම විරෝධතාවට සහභාගී වන බව එහි පැමිණි විශාරද නන්දා මාලනී මහත්මිය සඳහන් කළා ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නන්දා මාලනී මහත්මිය,

“මේ තරුණ පරම්පරාව කිසිදු දේශපාලන පක්ෂයක උදව්වක් නැතුව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ රට වෙනුවෙන් මෙහෙම කෑ ගහපු තරුණ කණ්ඩායමක් මම දැක්කේ නැහැ. ඇත්තට ම ඒගොල්ලෝ කෑගහන්නේ ඒගොල්ලන්ට නෙවෙයි. ඒගොල්ලොන්ගේ පරම්පරාවට රටක් හදලා දෙන්න. රෑ දවල් නැතුව වැස්සට තෙමී ගෙන අව්වට වේලී ගෙන හරියට කන්න දෙයක් නැතුව මේ තරුණ පරම්පරාවගේ නැගිටීම ඇත්තට ම ලොකු ධෛර්යයක්, ශක්තියක්. මම ත් ආවේ ඒගොල්ලෝ එක්ක හිට ගන්න මෙතෙන්ට. මට හිතුණා ඒගොල්ලෝ එක්ක මම හිට ගත්තොත් ඒගොල්ලොන්ට ධෛර්යයක් ලබා දෙන්න පුළුවන්.

එම අවස්ථාවේදී නන්දා මාලනී මහත්මිය ජන අරගලයේ සිටින ජනතාව සහ තරුණ තරුණියන් වෙනුවෙන් ගීතයක් ද ගායනා කළා ය.

මෙම විරෝධතාවට සහභාගී වූ මහචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේ, තරුණ පරම්පරාව සිදු කරන මෙම අරගලයට ආශිර්වාද කිරීම සඳහා තමන් පැමිණි බව ය.

“අපි මේ ජීවිතේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්න අය. ඒ වුණ ත් අපිට අද එන්න හිතුණේ මෙතනට තරුණ පරම්පරාවේ ජවය දැකලා ඔවුන්ට ආශිර්වාද කරන්න මොක ද රටේ අනාගතය භාර ගන්න ඉන්නේ මේ තරුණ පරම්පරාව. ඒ අයට යම් උත්තේජනයක් යම් අල්ප මාත්‍රයකින් හරි සම්පාදනය කරන්න පුළුවන් නම් මෙතන්ට ඇවිල්ලා අන්න ඒ කටයුත්තට තමයි අපි කට්ටිය මෙතනට ආවේ. 

අපි දැකලා තියෙනවා විවිධ ආණ්ඩු කාල. මේ වගේ ජන පීඩක රජයක් අපි දැක්කේ නැහැ. ඒ අය සතුටට පත් වෙනවා මිනිස්සු දුක් විඳිනවා දැකලා. මේවා දැකලා සතුටු වෙන ආණ්ඩුවක් හැටියට තමයි මේ ආණ්ඩුව දක්න්නේ. ඒ අයට විරුද්ධව මේ නැගෙන තරුණ අරගලය මේ තාක් ලංකා ඉතිහාසයේ ඇති නොවිච්ච විදියේ තරුණ අරගලයක්. මේ දක්වන විරෝධය අවංක, අව්‍යාජ විශිෂ්ට, ශ්‍රේෂ්ඨ විරෝධයක් හැටියට යි මම දකින්නේ. ඒ සඳහා අපේ සහයෝගය දක්වන්න යි අපි අද මෙතැන්ට ආවේ.

මේ අතර, ගාලු මුවදොර පිටියේ මේ වන විටත් පැවත්වෙන විරෝධතාවට සහය පළ කරමින් තව ත් කාලකරුවන් රැසක් පැමිණ සිටිති.