පකිස්ථාන අගමැති පුටුව අද අලුත් වෙයි

0
1044

ඉරිදා පැවති විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් නෙරපා හැරීමෙන් පසු පකිස්ථාන පාර්ලිමේන්තුව අද (අප්‍රේල් 11) නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිත ය.

ඉම්රාන් ඛාන් අගමැති ධූරයෙන් නෙරපා හැරීමට කටයුතු කළ විපක්ෂ සන්ධානයක නායක ෂාබාස් ෂරීෆ් වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව, පකිස්ථානයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරු 2.00 පැවැත්වීමට නියමිතව ඇත.

පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට විශ්වාසභංගයකින් පරාජයට පත් වී ධූරය අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (අප්‍රේල් 10) පත් විය.

ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් විවාදයට ගනු ලැබුණු අතර එහිදී එය වැඩි ඡන්ද සංඛ්‍යාවකින්ස එය සම්මත විය.

මන්ත්‍රීවරුන් 342 දෙදෙනෙකුගෙන් සමන්විත ජාතික සභාව තුළ සිටි මන්ත්‍රීවරුන් 174ක් අදාළ විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් සිය ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

2018 වසරේ දී පකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වූ, මේ වන විට 69 වියේ පසුවන ඉම්රාන් ඛාන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වෙයි.