ජනපති ආයෙත් මුදල් ඇමතිවරයෙක් පත් කරලා: තව ත් ඇමති ධූර 3ක්

0
31

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද (අප්‍රේල් 4) පෙරවරුවේ පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධූර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙකු සහ ප්‍රධාන සංවිධායකයෙකු පත් කර ගැනීමට අවශ්‍ය බැවින් මෙම ඇමතිවරුන්ගේ පත් කිරීම සිදු කර ඇති බව ය.

ඒ අනුව,ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇත.

මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දී තිබේ.

රටේ පවතින ජාතික අභියෝගය විසඳා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බව ත් ඔවුන් සමග ඉදිරියේදී සාකච්ඡා කර ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව ත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.