“කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම බොරුවක්. නීත්‍යනුකූල නැහැ” – ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්

0
33

රට තුළ පවත්නා විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ බව වාර්තා විය.

කෙසේ නමුත් ඊයේ (මාර්තු 03) පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, තම තමන්ගේ අදාළ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට කැමති බවට අත්සන් කරන ලද ඒකාබද්ධ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී ලබා දුන් බව ය.

අගමැතිවරයා හැර අනෙකුත් සියලු ඇමතිවරුන් ඉල්ලා අස්වීම ලබා දුන් බව ත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කොට තීරණය කරනු ඇති බව ත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

මේ අයුරින් කැබිනට් අමාත්‍යවරු සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර නොදී අග්‍රාමාත්‍යවරයා භාර දීම සම්බන්ධයෙන් සහ මෙම ඉල්ලා අස්වීමේ නෛතික පසුබිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිතීවේදීන් සිය අදහස් ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කළේ, 20 වන සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයාට කැබිනට් අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීම නීතිමය වටිනාකමකින් තොර බව ය.

එලෙස කැබිනට් අමාත්‍යවරයෙකු ධූරයෙන් ඉල්ලා අස්වනවා නම් ජනාධිපතිවරයාට සිය අස්වීමේ ලිපිය භාර දිය යුතු අතර එය ජනාධිපති භාර ගත් පසුව නෛතිකව එම අමාත්‍යවරුන් ධූරවලින් ඉවත් වූවා සේ සලකන බව ඔහු සඳහන් කළේ ය.

“තාම ඔවුන් ඇමතිවරු. අපි දකින්නේ නැහැ ධුරයේ හිස් වීමක්,” යනුවෙන්  නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා පැවසීය.

ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් කළ හැකි අවස්ථා සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කළේ ය.

ඔහු සඳහන් කළේ, දෝෂාභියෝග චෝදනාවකින් හෝ තමන් විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ලැබීමකින් හෝ විශ්‍රම ගැනීම හෝ මියයාම යන කරුණු මත ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බව ය.

“ඒ හැර ජනාධිපතිවරයා ඉවත් කරන්න කිසි ම ක්‍රමවේදයක් නැහැ. ජාත්‍යන්තර වශයෙන් හෝ දේශීය වශයෙන් කිසි ම ආකාරයකට ඒවායේ නෛතික පදනමක් නැහැ”

ජනාධිපතිවරයා ඉල්ලා අස්වූවහොත් වහා ම ජනාධිපතිවරණය නොපවත්වන බව ත් අග්‍රාමත්‍යවරයා එම ධුරයේ වැඩ භාරගෙන නිල කාලය අවසන් වූ පසුව ජනාධිපතිවරණය පවත්වන බව ත් ප්‍රතිභා මහනාමහේවා මහතා කියා සිටියේ ය.

”නමුත් අගමැති ධූරය කිසිවෙකුත් භාර ගන්නේ නැත්නම්, ඒ වගේ ම පාර්ලිමේන්තුව ත් කියනවා නම් අන්න ඒ අවස්ථාවේදී පුළුවන් ජනාධිපතිවරණයකට යාමට.”

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

 “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පත්වන්නේ වෙන ම ඡන්දයකින් පාර්ලිමේන්තුව වෙන ම ඡන්දයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. විධායකයේ අධිපති ජනාධිපතිතුමා සන්නද්ධ සේනාවේ සේනාධිනායක ජනාධිපතිතුමා මේ සියලු කාරණා එක්ක ගත්තහම ජනාධිපතිතුමාට පුළුවන් සිය ලේකම්වරු එක්ක රට කර ගෙන යන්න. හැබැයි පාර්ලිමේන්තුව අවශ්‍ය වනවා අයවැය සංශෝධනය කර ගන්න ගියහම හදිසි නීතිය සම්මත කරන්න. රට යම්කිසි ආරාජික තත්ත්වයකට යන්න පුළුවන් නම් එවැනි දෙයක් වුණොත්. ලංකා ඉතිහාසය තුළ එවැනි තත්ත්වයක් අපිට දකින්න ලැබිලා නැහැ.”

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටමනක් තබමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේ නම් එම ඉල්ලා අස්වීම් නීත්‍යනුකූල නොවන බව ය.

ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු අමාත්‍ය මණ්ඩලය මේ සිදු වන දේ වහා ම ජනතාවට පැහැදිලි කරන ලෙස ඔහුගේ ෆේස්බුක් සටහනේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් mawbima.lk කළ විමසීමකදී ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම ඉල්ලා අස්වීම නීත්‍යනුකූල නොවන බව ය.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපියේ ජනාධිපතිවරයාට යොමු කරමින් අග්‍රාමාත්‍යවරයාට භාර දිය හැකි අතර පසුව අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයා භාර දුන්නේ නම් එය වලංගු වන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් මෙම අවස්ථාවේදී එවන් සිදු වීමක් සිදුව නොමැති අතර එහිදී අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය සෘජුව ම අග්‍රාමාත්‍යවරයාට ලබා දී ඇති බව යූ.ආර්. ද සිල්වා මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, එලෙස නිත්‍යනුකූල ලෙස ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නේ නම් භාරකාර ආණ්ඩුවකට ගොස් වර්තමානයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට හැකියාවක් තිබූ බව ය.

”නීත්‍යනුකූල අමාත්‍යවරුන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී එම අමාත්‍යවරුන් ම නැවත වෙනත් කැබිනට් අමාත්‍යංශවලට පත් කිරීම ජනතාව පිළි නොගනියි. මහ ජනතාව ඉල්ලන්නේ උගත් දැනුමක් ඇති සහ එම ධූරයට සුදුසු පුද්ගලයෙන් එම අමාත්‍ය ධූරයට පත් කරන ලෙස යි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.

හෙට පාර්ලිමේන්තුව රැස් වන අතර සමාන්‍යයෙන් කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වුවහොත් නැවත නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර එය තීරණය කරන බව ත් අග්‍රාමාත්‍යවරයෙකු නැවත පත් කිරීමේදී ද එය එලෙස ම සිදු වන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.