0
46

මේ දිනවල කොහොමද වැඩකටයුතු?

මේ දිනවල ගුවන් විදුලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙනවා. හඬකැවීම් වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා සිටිනවා. දරුවන් වෙනුවෙන් දේශන පවත්වනවා. ‘පිටකවර’ කියලා ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. එහි වැඩකටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පවතින කොරෝනා තත්ත්වය සමඟ වේදිකාවේ වැඩකටයුතු තරමක් අතපසු වුණා. නැවත වේදිකාවේ වැඩකටයුතුත් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

‘සිඳු’ වැනි මෙගා ටෙලි නාට්‍යයක් භාර ගැනීමට ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

එහෙම විශේෂ හේතුවක් නැහැ. සමන් එදිරිමුණි මගේ ළඟම මිත්‍රයෙක්. ඔහු නිර්මාණය කළ ගුවන් විදුලි නාට්‍යයකට පවා මම හඬකැවීම්වලින් සම්බන්ධ වුණා. ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියන විටම සමන්ට අදහසක් තිබිලා තිබෙනවා ලාල් අයියව මේ චරිතයට සුදුසුයි කියලා. ඉතින් ඒ ආදරණීය ආදරය තමයි මම පිළිගත්තේ. චරිතය හොඳයි නම් මම මෙගා නාට්‍යයක්ද කියලා සිතන්නේ නැතිව සම්බන්ධ වෙනවා. සිඳු කණ්ඩායමත් හරියට මගේ පවුල වගේ. 

ඔබ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන ආකාරය කතා කළොත්?

මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට පැමිණෙන්නේ ජාතික රූපවාහිනිය ආරම්භ කළ වසරේදීයි. ජැක්සන් ඇන්තනි මහත්මයා ජේසුතුමාගේ උපත පිළිබඳව වාර්තාමය වැඩසටහනක් සිදු කළා. එහි මරියතුමියට සිටියේ කුමාරි මුණසිංහ මහත්මියයි. එහි ජුසේතුමාගේ චරිතයට ජැක්සන් මාව තෝරා ගත්තා. එය තමයි මගේ ප්‍රථම වැඩසටහන. ඒ කාලය ඉතාමත්ම සුන්දර කාලයක්. එහෙම ආරම්භ කළ ගමනේ දැනට ඒකාංගික ටෙලි නාට්‍ය හතළිහකට පමණ මම දායකත්වය ලබාදී තිබෙනවා.

රණා, වර්ණ වැනි ටෙලි නාට්‍යවල ඔබේ චරිත භූමිකාව වෙනුවෙන් තවමත් නොවෙනස් ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. වර්ණ ටෙලි නාට්‍යයේ වෙද මහත්මයාගේ චරිතයට තවමත් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. එහි ආශා එදිරිසිංහගේ පියා විධියටයි මම කටයුතු කළේ. සඳරුවන් ජයවික්‍රම වැනි දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු යටතේ වැඩ කිරීමට හැකිවූ නිසා තවමත් නොවෙනස් වන ප්‍රතිචාර ලැබෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ‘රණා’, ‘වර්ණ’ ටෙලිනාට්‍යවල පිරිසත් මට ඒ කාලයේ මගේ පවුල වගේ දැනුණා.

තරුණ පිරිස සමඟ වැඩකටයුතු කිරීම පහසුයිද?

මට නම් තරුණ පරපුර සමඟ වැඩ කරන එක හරිම පහසුයි. අලුත්, පරණ කියලා භේදයක් නැහැ. ක්‍ෂේත්‍රයේ සිටින සියලු දෙනාම මගේ යහළුවෝ. කොතැනක ගියත්, නාළිකාවකට, ගුවන් විදුලියට, රූගත කිරීමකට ගියත් මට කතා කරන්නේ ලාල් අයියා කියලා. මට ඒක හරිම වාසියක්. මම කැමැති හැමෝම සමඟ නිහතමානීව වැඩකටයුතු කරන්න. ඒ නිසා වෙන්න ඇති හැමෝම මා සමඟ මෙතරම් හිතවත්.

ප්‍රවීණ රංගන ශිල්පීන්ට වාණිජමය ගැටලු නිසා බොහෝ රංගන අවස්ථා මඟහැරෙනවා කියන්නේ ඇත්තද?

මමත් එම තත්ත්වය පිළිගන්නවා. අපේ ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට වැඩ හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ තැන ඔවුන්ට ලබාදිය යුතුයි. මටත් මෑතකදී මෙවැනි සිදුවීමකට මුහුණ පාන්නට සිදුවුණා. ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් කිසිම විටෙක පහත් කරන්න බැහැ. ඔවුන්ගේ දක්‍ෂතා විශිෂ්ටයි. මම අදටත් බස් එකේ යන්නේ. මට එහෙම සමාජය එක්ක සිටින විට චරිත හඳුනාගන්න පහසුයි. එහෙමයි කියලා ජේ‍යෂ්ඨ ශිල්පීන්ගේ දක්‍ෂතාවයේ අඩුවක් වෙන්නේ නැහැ.

ක්‍ෂේත්‍රයේ සිටින නවක පිරිස ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන්ට ගරු කරන්නේ නැතැයි යන මතය ඔබත් පිළිගන්නවාද?

එහෙම දෙන්නෙක් තුන්දෙනෙක් පමණ මට මුණගැහිලා ඇති. අනෙක් අය ගැන නම් මට එහෙම  හිතෙන්නේ නැහැ. සමහර දරුවෝ රූගත කිරීම් ඉවර වෙලා මට වැඳලා පවා යනවා. එහෙම දරුවන්ට මම හදවතින්ම ආශීර්වාද කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න අනෙක් පිරිස් නම් එහෙම නැහැ.

සචිනි බස්නායක