ළඟ එන සෙනසුරු මාරුව ජේ‍යාතිෂ ඇසින්

0
162


අප්‍රේල් 29දා ශනි හෙවත් සෙනසුරු මකර රාශියෙන් කුම්භ රාශියට ගමන් ගනී. සෙනසුරු කුම්භ රාශි ගතවෙමින් සිදුවන මෙම සෙනසුරු මාරුව දෙස අප බැලිය යුත්තේ ඒ ආසන්නයේ සිදුවන අනෙකුත් ප්‍රබල ග්‍රහ මාරු සහ ග්‍රහ යුද්ධ දෙසද සැලකිල්ල යොමු කරමිනි. 

විශේෂයෙන්ම මෙහිදී සෙනසුරු කුජ ග්‍රහයාට අයත් දෙනට නැකැතේ ගෝචර වී සිටින බව අවධානයට ගත යුතුය. මේ හා සමාන ග්‍රහ පිහිටීමක් 1964 දීද උදාවී තිබිණි. 1964 දෙසැම්බර් 3දා වනවිට සෙනසුරු දෙනට නැකැතේ ගෝචර වී සිටි අතර කුජ සිකුරුගේ නැකැතේ ගමන් කරමින් සෙනසුරු ගෝචර වී සිටි ලග්නයට සප්තම දෘෂ්ටි හෙළමින් සිටියේය. එම වර්ෂයේම දෙසැම්බර් හතරවැනි දින සිදුවූ සූර්ය ග්‍රහණයද එවකට පැවති රජයට අහිතකර වූ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහායද ඇතිව ගෙන ආ විශ්වාස භංගයකින් ආණ්ඩුව පරාජයට පත්විය. 

මෙවර අප්‍රේල් 29දා සිදුවන සෙනසුරු මාරුවත් සමඟ 1964 එම අවස්ථාවේ පැවැති ග්‍රහචාරයට සමාන ග්‍රහ තත්ත්වයක් අප්‍රේල් 29දා සිට ක්‍රියාත්මක වේ. 1964දී දෙනට නැකැතේ ගමන් කළ සෙනසුරුට සිකුරුගේ නැකැතක ගමන් කළ කුජ ග්‍රහයාගේ සප්තම දෘෂ්ටිය ලැබුණු අතර මෙවර 2022 අප්‍රේල් 29 වැනි දින සිට දෙනට නැකැතේ ගමන් කරන සෙනසුරු රාහු ග්‍රහයාට අයත් සියාවස නැකැතේ ගෝචර වූ කුජ සමඟ එකම රාශියේ යෝග වී සිටී. 1964දී සෙනසුරු කුජ යෝග වී සිටියදී සූර්ය ග්‍රහණයක් සිදුවී ඇති අතර මෙවර 2022 මැයි පළමුවැනි දින අර්ධ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිතය. 

1964දී මහජන සන්නිවේදන මාධ්‍ය ප්‍රබල නොවුවත් අද වනවිට මහජන සන්නිවේදන මාධ්‍ය ඉතා ප්‍රබල හෙයින් මහජන උද්ඝෝෂණ සහ මහජන නැඟී සිටීම්ද වේගවත්ය. ඒ අනුව 1964දීට වඩා මෙවර සෙනසුරු මාරුව වඩා වැඩි දේශපාලන කැලඹීමකට හේතුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 

මෙම අප්‍රේල් 29දා සෙනසුරු ශ්‍රී  ලංකා කේන්දරයේ ඔළුවට පැමිණේ. එනම් කුම්භ ලග්නගත වේ. අප රටේ අතීත අත්දැකීම් අනුව බලන කල පෙනී යන්නේ සෙනසුරු කුම්භ රාශි ගතවන කාලය තුළ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට අනුබල දී ඇති බවය.

එහෙයින් සෙනසුරු කුම්භ රාශි ගතව පවතින කාලය තුළ කුමන හෝ අවස්ථාවක දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුව ඇත. එමෙන්ම සෙනසුරු කුම්භ රාශියෙන් ඉවත්ව යන 2025 මාර්තු 29 වැනි දිනට පෙර මහ මැතිවරණය හා ජනාධිපතිවරණයද පැවැත්වෙනු ඇත.

සෙනසුරු මීට පෙර 1964.01.27 – 1966.04.08 දක්වාද 1993.03.05 – 1995.06.01 දක්වාද කුම්භ රාශියේ ගත කර තිබේ. මින් පළමු කාල වකවානුවේදී එනම් 1964.01.27 – 1966.04.08 දක්වා කාලයේදී 1965 දී මේ රටේ මහ මැතිවරණයක් පවත්වා තිබේ. එමෙන්ම 1993.03.05 – 1995.06.01 කාලයේදී පළාත් සභා මැතිවරණය, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පවත්වා ඇත.

එමෙන්ම අප තවත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුවේ. සෙනසුරු කුම්භ රාශියට පැමිණීමට පෙර වර්ෂ 2 1/2 කට ආසන්න කාලයක් මකර රාශියේ ගත කරයි. ශ්‍රී  ලංකා කේන්දරයේ 11 වැන්න වන මෙම මකර රාශියේ සෙනසුරු ගත කරන කාලය සහ කුම්භයේ හෙවත් හිසේ ගත කරන කාලය පාලක පක්ෂයට නොයෙකුත් අර්බුද ඇති කර තිබේ. මෙලෙස සෙනසුරු 11 වැන්නේ සිටි 1964.01.27ට පෙර කාලය මෙරට පාලනය කරන ලද්දේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රධාන කොටගත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ රජයයි. 1964 දී එම රජය පුවත්පත්වලට මුඛවාඩම් දැමීමෙන් මහත් කලබැගෑනියක් ඇති වී රජය විසුරුවා හැරීමට මඟපෑදිණි.

ඊළඟට සෙනසුරු කුම්භ රාශි ගතවූ 1993 මාර්තු 05 වැනිදාට පෙර පැවැතියේ හිටපු ජනාධිපතිවරයකු වූ ආර්. ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්ත රජයකි. කොටි ත්‍රස්තවාදය තදින් ක්‍රියාත්මක වූ එම කාලයේ රජයට ඉමහත් බාධා ඇති විය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක ඇතුළු ප්‍රබල ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නට වූහ. එම ප්‍රබල ඇමැතිවරුන්ට පමණක් නොව ප්‍රේමදාස මහතාට කොටි ත්‍රස්තවාදය හේතුවෙන් ජීවිතය අහිමි විය.

මේ වන විටද ආණ්ඩු පක්ෂයේ සිටි ප්‍රබලයන් පිරිසක් ආණ්ඩු පක්ෂය හැරදමා එළියට විත් ප්‍රබල විරෝධයක් එල්ල කරමින් සිටිති. සෙනසුරු මාරුව සිදුවන 2022.04.29ට පෙර තව තවත් දේශපාලන පිල් මාරු කිරීම් හා දේශපාලන කලබැගෑනි දැකගත හැකි වනු ඇත.