සැබැවින්ම අලංකාර සංයුතියකින්අපි මිනිසා මැවූවෙමු

0
119

ඉස්ලාමීය, ඉගැන්වීම් අතර මූලික ඉගැන්වීමක් ලෙස “සමානාත්මතාව” සැලකේ. එය පෙන්නුම් කරන සාධකයක් ලෙස “සියලු මිනිසුන් ආදම්තුමා හා හව්වා තුමියගෙන් පැවත එන්නේය. අරාබි ජාතිකයකුට වඩා අරාබි නොවන්නකු හෝ අරාබි නොවන්නකුට වඩා අරාබි ජාතිකයකු හෝ සුදු ජාතිකයකු කළු ජාතිකයකුට වඩා හෝ කළු ජාතිකයකු සුදු ජාතිකයකුට වඩා හෝ ශේ‍ර්ෂ්ඨ වන්නේ නැත. දැහැමි ක්‍රියාවන් තුළින් ශේ‍ර්ෂ්ඨත්වය ලබන්නාය ඔබ අතර ශේ‍ර්ෂ්ඨ වනුයේ” යනුවෙන් මුහම්මද්තුමාණෝ තම අවසන් දේශනයේදී ජනයා අමතා පවසා සිටියහ.
මිනිසා මිනිසාට ගරු කළ යුතු යැයි පෙන්වා දී ඇති අල් කුර්ආනිය ඉගැන්වීම් අතර මිනිසුන් අතර පවතින උස් පහත්කම් ඉවත දමා ඔවුන් අතර සමානාත්මක ලෙස ක්‍රියා කළ යුතුයි යන්න ඉගැන්වීමද හිස ඔසවා ඇත.

එබැවින් කෙනකුගේ පුද්ගල නිදහස, යුක්තිය, සමානාත්මතාව වැනි මානව අයිතිවාසිකම් කිසිවක් කිසිවිටෙක උල්ලංඝනය නොකළ යුතුයි. මිනිස් අයිතිවාසිකම් ගෙන හැර දැක්වීමේදී නබි මුහම්මද්තුමා ප්‍රමුඛත්වය දැරූ අතර එතුමා මුස්ලිම්වරුන් අතර හා මුස්ලිම් නොවන ජනයා අතර අවබෝධාත්මක ගිවිසුම් බොහොමයක් ගිවිස ගෙන ඔවුන් සමඟ බැඳී කටයුතු කර ඇත.

විටෙක එතුමාණෝ “මුස්ලිම්වරුන් සමඟ අවබෝධයකින් ජීවත් වන මුස්ලිම් නොවන අයකුට කවරකු අපරාධ කරන්නේ නම් හෝ ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නම් හෝ ඔහුට දැරිය නොහැකි බරක් උසුලන්නට සලස්වන්නේ නම් හෝ ඔහුගේ වස්තූන් අසාධාරණ ලෙස උදුරාගන්නේ නම් ඔහුට එරෙහිව විනිශ්චය දිනයේ මම පැමිණිලි කර සිටිමි” යනුවෙන් පැවැසූහ.
ලොව සෑම දිශාවකම ජීවත්වන විවිධ ජන සමූහයන් අතර ඉස්ලාමය දක්නට ලැබේ. සත්‍යයේ දූත මෙහෙවර හා ආදරයෙන් බැඳුණු මිනිස් ජීවන ගමන එහි හදවත වන්නේය. එය පිළිපදිමින් ජීවත්වන මෙන් ශුද්ධ වූ අල් කුර්ආනය මිනිස් සමූහයාට පැහැදිලි ලෙස උපදෙස් දී ඇත. සෑම ආගමික ජන සමූහයකටම ගරු කළ යුතුයි යන්න ඉස්ලාමය ඉතා උනන්දුවෙන් පවසා ඇති අතරම එය නබි මුහම්මද්තුමාගේ ජීවිතය තුළින් අප ලබන ඉතා අලංකාර ආදර්ශයකි.


විවිධත්වය යනු මිනිස් යහපත මුල්කර ගනිමින් කෙනෙක් තවත් කෙනකු සමඟ අවබෝධයෙන් යුතුව බැඳී ක්‍රියා කිරීමයි. එය දෙවියන් විසින් නියම කර ඇති න්‍යාය බව මුස්ලිම්වරු වටහාගෙන ක්‍රියා කළ යුතු බැවින් නබිතුමාණන් පූර්වාදර්ශයන් ඉස්ලාම් ආගමිකයන්ට ලබාදී ඇත.
ඒකීය දෙවියන් අල්ලාහ් බවත් මුහම්මද්තුමාණන් ඔහුගේ අවසාන දූතයාණන් බවත් පිළිගෙන විශ්වාස කිරීම ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තිය වන්නේය. මෙම මතය ලොව පුරා වෙසෙන ජනයාට පළමුවරට හඳුන්වා දෙන ලද්දේ මුහම්මද් තුමාණන් විසින් පමණක් නොව ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙන්ම තෝරාව හා බයිබලය වැනි ශුද්ධ පුස්තකවලද සඳහන් වී ඇති ආදම්, යුනුස්, ජොනා ඉබ්‍රාහිම්, ඒබ්‍රහම්, ඇතුළුව මුහම්මද්තුමාට පෙර සිටි දූතවරුන් විසින් උපදෙස් දෙන ලද්දේ ද එම දෙවියන් පිළිබඳ බව මුස්ලිම්වරු විශ්වාස කරති. ඉස්ලාමය එම ප්‍රතිපත්තියේ පදනම මත පිහිටුණු පූර්ණ දහමක් වේ යන මූලික විශ්වාසය මුස්ලිම්වරු දරති.


ඉස්ලාමය තුළ සෙසු ආගම් සම්බන්ධයෙන්, ඒවාට සුදුසු ක්‍රමවේදය තුළ ගරු කළ යුතු යැයි අල් කුර්ආනයේ පැහැදිලිව සඳහන් වී ඇත.
“නුඹලා අතුරින් වූ සෑම සමූහයකටම අපි දහම් නීති මාලාවක් හා ක්‍රියා මාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි.”
(අල් කුර්ආන් – 5:48)
“අල්ලාහ් අභිමත කර තිබුණේ නම් නුඹලාව එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි.”
(අල් කුර්ආන් – 16:39)
මෙම පාඨ දෙක ලොව පුරා සෑම පැතිකඩකම ජීවත් වන මිනිස් වර්ගයා දෙවියන් තම අභිමතය පරිදි විවිධ ගුණාංග සහිත වාර්ගිකයන් හා සංස්කෘතීන්ද ඔවුනටම ආවේණික පෞද්ගලක සංස්කෘතීන්ද නිර්මාණය කරදී ඇති බවට සාක්‍ෂි දරයි.
කිසිදු දහමකට ‍ෙදාස් නොකියන මෙන් ඉස්ලාමය තවදුරටත් අවධාරණය කරයි.
“ඔවුන් අල්ලාහ් හැර කවරකු අයදින්නේද ඔවුන්ට (හෝ දැයට) නුඹලා බැන නොවදින්න. එසේ වූ විට ඔවුහුද (කිසිදු) දැනුමකින් තොරව සතුරුකමින් අල්ලාහ්ට බැන වදිනු ඇත.
(අල්: කුර්ආන් 6:108)
එමෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමටත් ඉස්ලාමය දිරි ගන්වයි.
“තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. ගොඩබිමේ හා මුහුදේ අපි ඔවුන් ඉසිලුවෙමු. තවද පිවිතුරු දැයින් අපි ඔවුනට ජීවන සම්පත් ලබා දුනිමු. තවද අප මැවූවන් (අතුරින් අනෙක් අය) ට වඩා අධික වශයෙන් අපි ඔහු ඉතා උසස් කළෙමු.
(අල් කුර්ආන් 17:70)
“සැබැවින්ම අලංකාර සංයුතියකින් අපි මිනිසා මැවූවෙමු.”
(අල් කුර්ආන් 95:4)
ඉස්ලාමය යනු මිනිස් ජීවිතයේ ගරුත්වය පදනම් කරගත් දහමකි. සියලු මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ජාතික ආගම් භේදයකින් තොරව අපේක්‍ෂා කළ යුතු යැයි අල් කුර්ආනය අවධානය කරයි. ඉස්ලාම් දහම තම ප්‍රතිපත්ති හා සංකල්ප සෙසු ආගම් අදහන්නන් මත අසාධාරණ ලෙස බලපෑම් කිරීමට කටයුතු නොකරයි.


ඉස්ලාමය පෞද්ගලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් කටයුතු කළ යුතුයි යන ප්‍රතිපත්තිය පදනම් වූ දහමක් යන්නට හොඳම සාක්‍ෂි හා සාධක ප්‍රමාණවත් තරම් නබි නායකතුමාගේ ජීවිතය ගෙන බැලූ විට දැකගත හැකිය. දිනක් යුදෙව් පුද්ගලයකුගේ මෘත දේහයක් මුහම්මද් නබිතුමාණන් ඉදිරියෙන් ගෙන යන ලදී. එය ගෙන යන විට නබිතුමා තමන් වාඩි වී සිටි තැනින් නැඟිට එයට ගරු කළහ. එම දේහය ගෙනගිය පසුව “යුදෙව්වකුගේ අවසන් කටයුතු සඳහා ඔබ නැඟිට ගරු කළේ ‘ඇයි’ දැයි ඇතැම්හූ එතුමාගෙන් විමසා සිටියෝය. එයට නබි මුහම්මද් තුමාණෝ “මියගිය තැනැත්තාද මිනිසකු නොවේ දැයි” විමසූහ. තවත් අවස්ථාවක යුදෙව් අසල්වැසියකු රෝගාතුරව සිටින බව දැනගන්නට ලැබූ විට එතුමාණෝ ආගමික භේද නොතකා ක්‍ෂණිකව ඔහුව බැහැදැක ඔහුගෙන් සුවදුක් විමසා සිටියහ. මෙවැනි සිදුවීම් තුළින් නබිනායක මුහම්මද්තුමාණෝ මිනිසත්කම ආරක්‍ෂා කරමින් කටයුතු කිරීම පිළිබඳ පුළුල් දැක්මක් ලොවට හැර ගියහ.


ඉස්ලාම් යන වචනය දෙයාකාරයෙන් අර්ථ ගන්වනු ලැබේ. එනම් සාමය හා දෙවියන් වහන්සේට යටත් වීමය. එබැවින් එය නිරන්තරයෙන්ම සාමකාමී සහජීවනය උදෙසා මඟ පෙන්වනු ඇත. සර්වබලධාරී දෙවියන්ට නමස්කාර කිරීම සඳහා වූ පූර්ණ සවිඥානිකත්වය හා ස්ව කැපවීම මෙම ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වන්නේය. අල්ලාහ්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත් වීමට මුස්ලිම්වරුන්ට හැකි වූ විට පමණක් ඔවුන්ගේ හදවත් තුළ සාමය ඇති කළ හැකි බව මෙයින් විශ්වාස කෙරේ.
“යහපත් හා දෙවියන් පිළිබඳ සවිඥානිකත්වය ඇති කරන කටයුතුවලදී උරදී කටයුතුකරන මෙන්ද පාපය හා සතුරුකම් ඇති කරන කටයුතු උදෙසා උර නොදෙන මෙන්ද අල් කුර්ආනය තවදුරටත් අවධාරණය කරයි. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ඇතැම් ජනයා තම ජන ජීවිතය ගෙනයනුයේ කටුක ලෙසිනි. එබැවින් මෙම ඉගැන්වීම් අනුව අවශ්‍යතා ඇත්තන් සොයා බලා ඔවුනට උපකාර කිරීම අපගේ වගකීමයි.


සවිනි බස්නායක