ලොකුවට මඟුල් කන්න කලින් සිවුබඹ විහරණය ප්‍රගුණ කරන්න

0
67

විවාහය කියන්නේ අනාදිමත් කාලයක සිට ස්ත්‍රී – පුරුෂ මානසික සහ කායික අවශ්‍යතාවන් සම්පූර්ණය කර ගැනීම උදෙසා මිනිසා විසින් සොයා ගනු ලැබූ ක්‍රියාමාර්ගයක්. මිනිසා නිර්මාණය කෙරූ විවාහය යන සංකල්පය පිළිබඳ බුදුරජාණන් වහන්සේ බෞද්ධ දර්ශනය තුළ සාකච්ඡා කර තිබෙන කරුණු කාරණා මෙසේය.
විවාහයක තිබෙන මූලිකම අවශ්‍යතාව වන්නේ ලිංගික ජීවිතයක් ගත කිරීමට සමාජ අවසරයක් සහ නීතිමය අවසරයක් ලබා ගැනීමයි. සමාජ අවසරය ලබා ගැනීම යනු පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීම මඟින් විවාහ වන දෙදෙනා තමන්ගේ විවාහය පිළිබඳව සමාජයට දැනුම් දීමයි. ඒ අනුව සමාජය ඔවුන් අඹු – සැමි යුවළක් ලෙස පිළිගනු ලබනවා. ඒ වගේම ලෝකය පිළිගත් ක්‍රමයක් විදිහට නීති රීති සකස් කර විවාහය ලියාපදිංචි කිරීම නීතිමය අවසරයයි.


අප පෙර සඳහන් කළ පරිදි විවාහයේ මූලික අවශ්‍යතාව අඹුසැමියන් ලෙස ලිංගික ජීවිතයක් ගත කිරීම වුවත් විවාහය යනු කාන්තාවක් සහ පිරිමියෙක් තමන්ගේ හුදු කායික සහ මානසික අවශ්‍යතාවන් සපුරා ගැනීම පමණක් නොව එය සමාජමය යහපත වෙනුවෙන් සිදු විය යුතු කාරණාවක් ලෙස බුදුරාජණන් වහන්සේ දේශනා කර ඇත. එලෙස කාන්තාවක් සහ පිරිමියකු සමාජමය යහපත වෙනුවෙන් විවාහ වෙනවා නම් ඒ සඳහා ඔවුන් දෙදෙනාගේ මානසික සංවර්ධනයක් සිදුවී තිබීම අත්‍යවශ්‍යයි. මෙම මානසික සංවර්ධනය සිදු කර ගත යුතු ආකාරය පිළිබඳව බුද්ධ දේශනාවෙහි සිවුබඹ විහරණ තුළ ඇතුළත් වේ.
ගැහැනු දරුවෙක් වැඩිවියට පත්වූ දිනයේ සිට විවාහ වන දිනය දක්වා සිවුබඹ විහරණ පුහුණු කරමින් කුමරි බඹසර රැකිය යුතු බව බෞද්ධ සමාජයේ පිළිගැනීමයි. පිරිමි දරුවකුද ඒ ආකාරයෙන්ම වැඩිවියට පත්වීමෙන් පසු විවාහ වන තෙක් සිවුබඹ විහරණ පුහුණු කරමින් කුමර බඹසර රැකිය යුතු වේ. මේ ආකාරයට සිවුබඹ විහරණ පුරුදු පුහුණු කළ දෙදෙනකු පමණයි විවාහයට සුදුසු වන්නේ.
බුද්ධ දේශනාවට අනුව සිවුබඹ විහරණ යනු
– මෙත්තා
– මුදිතා
– කරුණා
– උපේක්ඛා
මෙත්තා යනු මනසේ සංවර බව, සංයමය, තැන්පත් බව, මානසිකව ලිහිල් (relax) වීමේ හැකියාවයි. එනම් යම් ගැටලුවකදී මනස කලබල කරගන්නේ නොමැතිව සංයමයකින් යුතුව එම ගැටලුව දෙස බැලීමේ හැකියාවයි. විවාහයකදී විවිධාකාර ගැටලුවලට මුහුණපෑමට අඹු-සැමියන්ට සිදු වෙනවා. එම නිසා සියල්ල දෙස මෛත්‍රිසහගත සැහැල්ලු සිතින් බලන තත්ත්වයකට මනස සංවර්ධනය කර ගත යුතුයි. මෛත්‍රිය යනු කෙනෙක් තම ජීවිතය තුළ සංවර්ධනය කර ගත යුතු ආධ්‍යාත්මික ගුණයකි.


මෛත්‍රිය පුරුදු පුහුණු කළ අයෙක් කුඩා දේවල්වලට කලබල නොවේ. කුඩා දෙයකට කලකිරන්නේද නැත. ප්‍රශ්න නිසා මානසික කඩාවැටීම්වලට ලක් වන්නේද නැත. ඔවුන් තමා තුළින් අනුන් දෙස බැලීමට පුරුදු පුහුණු වූ අයයි.
දෙවැනි විහරණය වන්නේ කරුණාවයි. කරුණාව යනු මනසේ ගොඩනඟා ගත යුතු ධනාත්මක සංකල්පයකි. ධනාත්මක වශයෙන් සමාජය, ස්වභාව ධර්මය හා මිනිසා පිළිබඳව කාරුණික චිත්‍රයක් තම සිතෙහි ඇති කර ගැනීමයි. එය බොහෝ දෙනකුට කළ නොහැකි කාරණාවක් බවට පත්වී තිබෙනවා. මක්නිසාද යත් අද වන විට බොහෝ දෙනකු විවාහයට සූදානම් වන්නේම ආත්මාර්ථයට හුරු වීමෙනුයි. ‘මෙත්තා’ විහරණය මානසිකව තමන් තුළ ඇති කරගනු ලබන ගුණයක් වුවත් ‘කරුණා’ ගුණය එලෙස තමා තුළ වර්ධනය කර ගැනීමෙන් පමණක් සම්පූර්ණ නොවේ. එය අප විසින් අනෙකාට ප්‍රායෝගිකව දැක්විය යුතු ගුණාංගයකි.

තුන් ‍ෙදාරින් එනම් මනසින්, වචනයෙන් සහ ක්‍රියාවෙන් කරුණාව දැක්වීම සිදු කළ හැකිය.
තුන්වැනි විහරණය වන්නේ මුදිතා ගුණයයි. මුදිතා ගුණය යනු තමා අවට සිටින්නන්ට එනම් තම ස්වාමියාට හෝ බිරියට ස්වාමියාගේ හෝ බිරියගේ මවුපියන්ට, ස්වාමියාගේ හෝ බිරියගේ සහෝදර සහෝදරියන්ට යම් කීර්ති ප්‍රශංසාවක්, ජයග්‍රහණයක් ලැබීමේදී තමන්ටද ඔවුන් හා සම සිතින් ඒ පිළිබඳව සතුටට පත් වීමේ ඇති හැකියාවයි. නමුත් අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් මුදිතා ගුණය පුහුණු කර නැත. අනෙකා කීර්ති ප්‍රශංසාවක් හෝ ජයග්‍රහණයක් ලැබෙන විට ඔවුන්ට එය දරා ගැනීමට නොහැකිය. සැමියාට වඩා උසස් නිල තලයක්, වැටුපක් හෝ කීර්තියක් බිරියට ලැබෙනවාට සැමියා කැමැති නොවේ. සැමියාගේ පවුලේ අයට කිත් පැසසුම් ලැබෙන විට එය බිරියට දරා ගන්නට අපහසුයි.


සිවුවැනි විහරණය හෙවත් උපේක්ඛාව යනු ස්වාධීනව ස්වායත්තව තමාට අවශ්‍ය දේ මොනවාද යන්න කල්පනා කර බලා තමා ලබාගත් දේ පිළිබඳව, සතුටට ප්‍රීතියට පත් වීමයි. අපේ සමාජය තුළ ජීවත් වන උපේක්ඛා ගුණය සංවර්ධනය කර නොගත් බහුතර මිනිසුන් සමාජය දෙස බලන්නේ සංසන්දනාත්මකවයි. අහවලා විවාහ වෙලා ඒ නිසා මමත් විවාහ විය යුතුයි. අරයාට දරුවෝ දෙදෙනෙක් සිටිනවා ඒ නිසා මමත් දරුවන් දෙදෙනෙක් හදා ගන්න ඕනෑ. අරයා අලුතෙන් කාර් එකක් ගත්තා ඒ නිසා මමත් කාර් එකක් ගන්න ඕනෑ ආදී වශයෙන් අනෙකා සමඟ තමාව සංසන්දනය කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. ඔවුන් තව කෙනෙක් කරන නිසා දේවල් කරනවා විනා තමන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, තම ආර්ථික තත්ත්වය වටහාගෙන අවශ්‍යතා සපුරා ගැනීම සිදු නොකරයි. මේ නිසා පවුල් ජීවිත තුළ විවිධාකාර ගැටලු, අර්බුද මතුවේ.


මෙම සිවුබඹ විහරණයන් පුරුදු පුහුණු වීම තුළ විවාහ ජීවිතයන් සාර්ථක කරගත හැකිය. මෙම ගුණාංගයන් පුහුණු නොකළ අය විවාහ වීමට නුසුදුසු බව බෞද්ධ ධර්මය තුළ පැවසෙනවා. තිරිසන් සතුන්ද ලිංගික ජීවිත ගත කරනු ලබනවා. උන්ද වර්ගයා බෝ කරනු ලබනවා. සත්ත්ව ලෝකය තුළත් නරි අම්මලා, මුගටි අම්මලා, වලස් අම්මලා සිටිනවා. ඒ අනුව මනුෂ්‍යයා තිරිසන් සතුන්ට වඩා උසස් වන්නේ ඉහත අප සාකච්ඡා කළ ගුණාංග සපුරා ගැනීම තුළයි. හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා සහ ලෝකයට පෙනෙන්නට විවාහ වීම යන පටු ආකල්පයෙන් මිදී සමාජ යහපත උදෙසා වන යහපත් විවාහයකට නම් විවාහ වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සිවුබඹ විහරණයන් සහ කුමර – කුමරි බඹසර පුරුදු පුහුණු කළ යුතුය.
විවාහ වීමේදී බොහෝ දෙනා තම රූපය හැඩ වැඩ කරගන්නා ආකාරය පිළිබඳ, විවාහ උත්සවය සැලසුම් කරන ආකාරය පිළිබඳ විවාහයට අවුරුදු ගණනකට පමණ පෙර සිට සැලසුම් කරනු ලබනවා. නමුත් ඔවුන් විවාහ වීමට අවශ්‍ය තමා තුළ ඇති කරගත යුතු මානසික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. මවුපියන්ද තම දරුවන් යහපත් විවාහ ජීවිතයක් ගත කරනවා දකින්නට කැමැති නම් දරුවන්ට කුඩා කල සිටම මේවා ගැන අවබෝධයක් ලබාදී සිවුබඹ විහරණයන් සහ කුමරි බඹසර පුරුදු පුහුණු කරන්නට උත්සුක විය යුතු වේ.


කුෂාන්ති අනුරාධා බණ්ඩාර