රටම අගාධයට යවන අඳුරු මාෆියාවක් දුරු කරන්න ජනපතිගෙන් මෙහෙයුමක්

0
105

මිරිහානේදී පුපුරා ගිය ජනතා පීඩනය

පසුගිය 31 වැනිදා දහසකට අධික පිරිසක් නුගේගොඩ, මිරිහාන පිහිටි ජනාධිපතිගේ පෞද්ගලික නිවෙසේ පිවිසුම් මාර්ගය හරස් කොට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය කරමින් ජනාධිපතිට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් උද්ඝෝෂණයක් කළහ. උද්ඝෝෂකයන්ගේ උත්සාහය වූයේ ජනාධිපතිගේ නිවෙසට කඩා වැදීමයි. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරැලි මර්දන කණ්ඩායම් සහ යුද හමුදාව එයට ඉඩදුන්නේ නැත. කඳුළු ගෑස් එල්ල කොට එම පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.

උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ විදුලිය, ගෑස්, ඉන්ධන, කිරිපිටි ආදිය ලබාදෙන ලෙසයි. උද්ඝෝෂණයට පැමිණි සිටි අය අතර අත දරුවන් කරපින්නා ගත් අම්මලාද වූහ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ තම දරුවන්ට පෝලිම්වල නොසිට කිරිපිටි ලබාගන්නට පහසුකම් සලසා දෙන ලෙසය.

ඉතා සාමකාමී ලෙස ගැටුම්කාරී තත්ත්වයකින් තොරව උද්ඝෝෂණය ආරම්භ වූ අතර පොලිසිය විසින් අටවා තිබූ මාර්ග බාධක පෙරළා දමමින් උද්ඝෝෂකයන් ජනාධිපතිගේ නිවෙස පිහිටි දෙසට පැමිණ කෑකෝ ගසමින් ජනාධිපතිට විරුද්ධව සටන් පාඨ කියමින් සිටියදී පොලිසිය පිරිස මෙල්ල කිරීමට කඳුළු ගෑස් එල්ල කිරීමත් සමඟ කළහකාරී තත්ත්වයක් ඇති විය. මෙහිදී පොලිසිය ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර පහරදීම් ද සිදුවිය. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසුවේ, කාන්තාවන් ඇතුළු 55 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. මාධ්‍යවේදීන් 3ක්, ආරක්ෂක අංශවල 17ක්, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් නිලධාරි 5ක් සමඟ 35 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි.

එසේම හමුදා හා පොලිස් බස් රථ 2ක් පොලිස් ජීප් රථයක්, පොලිස් ත්‍රිරෝද රථයක්, යතුරුපැදි 2ක්, ජල ප්‍රහාරක රථයක් ගිනි තබා විනාශ කර තිබෙන අතර මිලියන 39ක පමණ අලාභ හානියක් ගිනි තැබීම් හා සිවිල් ජනතාවගේ දේපළවලට සිදුව ඇති බවත්ය.

උද්ඝෝෂකයන් අතරට වැදුණු අන්තවාදීන් කවුද?

සිද්ධිය ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය අනාවරණය කරගෙන තිබෙන්නේ උද්ඝෝෂණය කළ පිරිස අතර සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවයි.

අරාබි වසන්තයක් මෙරට ඇති කරවමුයි. හඬනඟමින් උද්ඝෝෂණය මෙහෙයමින් එම පිරිස රැස්ව සිටි අය උසුගැන්වූ බවද ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කරයි.

මහින්ද, නාමල්, ශෂින්ද්‍ර මංගල උත්සවයක

තානාපතිවරයකු ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරියගේ සහෝදරයා වන ප්‍රසන්න වික්‍රමසූරියගේ පුතාගේ විවාහ මංගල උත්සවය මෙහිදී පැවැත්විණි. උද්ඝෝෂණය වන අවස්ථාවේ ජනාධිපතිවරයා හිටියේ එම උත්සවයට සහභාගි වෙමින් බවට ආරංචියක් පැතිර ගියත් එහි සත්‍යයක් නැත. ජනාධිපතිවරයා සහ සිය බිරිය මංගල අවස්ථාවට සහභාගි වී නැත. එසේමුත් මංගල්‍යයේ සාක්කිකරුවන් ලෙස ජනාධිපති හා බිරිය අස්සන් කර ඇති ඡායාරූපය මංගල්‍යට පෙර අවස්ථා ප්‍රදර්ශනය කළ ඡායාරූපයක සටහන් වී තිබුණ බව උත්සවයට සහභාගි වූ අයෙක් කැබිනට් එකට පැවැසීය.

සැඟවීමට නොහැකි සත්‍යය

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මොනවා කියන්න උත්සාහ කළත් සත්‍යයට මුහුණ දිය යුතුය. රටේ ජනතාවට විදුලිය නැතිව, ඉහළ නැඟ තිබෙන බඩු මිලදී ගත නොහැකිව, උයාපිහා ගෙන කන්න ගෑස් නැතිව දරුවන්ට කිරිපිටි නැතිව විඳින දහදුක පාලකයන් තේරුම් ගත යුතුය. මේ උද්ඝෝෂණය මතුවූයේ ජනතාව තම දුවා දරුවන් සමඟ විඳින පීඩනය සමඟය. මෙය පාලකයන්ට දුන් සිග්නල් එකක් බව දැඩිව සිතට ගත යුත්තකි. මුළු රටේ බහුතර ජනතාව විඳින පීඩනයේ පොදු තත්ත්වය මෙයයි. එය ක්ෂණිකවම ඉගෙන ගත යුතු පාඩමයි. ඩොලර් මිලියන 52ක් නැතිව තෙල් නැවක් ගොඩ බා ගන්න බැරිව ආණ්ඩුව පත්ව තිබෙන හිඟන තත්ත්වයට ජනතාව වගකිව යුතුද? දැන් ලෝකය වටේ මුදල් හිඟාකන්න සූදානම් වන ආණ්ඩුව මෙරට ධනවත් ව්‍යාපාරිකයන්ගෙන්ද ණයට මුදල් හිඟාකන්න  සූදානම් වන බවක්ද වාර්තා වේ. විශේෂයෙන් මෙරට ඔෟෂධ සැපයුම්කරුවන්ට ගෙවන්නට තිබෙන මුදල් ගෙවා ගන්නට බැරිව ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 200ක් ණය ගන්නට ආණ්ඩුව සාකච්ඡා කළ බවක්ද දැනගන්නට ඇත. එම ව්‍යාපාරිකයන් ණයට හිලව් කරන්න යන්නේ මොනවා දැයි දන්නේ නැත.

මේ අතර ලබන 9 වැනිදා මුදල් ඇමැතිවරයා ධ්ර්ජ්  අරමුදලේ ලොක්කන් හමුවීමට යන බවද වාර්තා වේ. ඔවුන් හමුවී සාකච්ඡා කරන්නේ 11දාටයි. 

බැසිල් ගෝඨාගේ ආණ්ඩුවත් වට්ටන්න හදනවා

අද රටේ හැම පැත්තෙන්ම ඇසෙන දේශපාලන සටන් පාඨය වී තිබෙන්නේ” ආණ්ඩුව ගෙදර යන්න බැසිල් ඉවත් කරන්න.” යන්නයි. වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නට වේදිකා ගානේ වැඩම කළ මහා සංඝරත්නය මේ සටන් පාඨයේ ප්‍රධාන හඬ බට පත්ව තිබේ.

ගෝඨා රජ කරවන සටනේ පෙරමුණු සඟ බළකායේ මහ නායක ලෙස පෙනී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය සතියේ පැවැති රැස්වීමකදී පැවැසුවේ, මුදල් ඇමැති ධුරය මහින්දට දෙන්න කියායි. පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති පැවිදි හඬ සංවිධානය රැස්වීමේ කීවේ ගෝඨාභය නිවැරදි නොවුණොත් අපිටත් හොඳ පැත්තක් බලාගන්න වෙනවා කියායි. 

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කීවේ, 2015 මහින්දගේ ආණ්ඩුව වට්ටපු බැසිල් ගෝඨාභයගේ ආණ්ඩුවත් වට්ටන්න හදනවා යනුවෙනි. 

අභයතිස්ස හිමියෝ ආණ්ඩුව, බැසිල් පමණක් නොව ජනාධිපති ගෝඨාභයද සිහිපත් කළහ. එසේ කළේ ඔවුන් විවේචනයට ලක් කරමිනි. උන්වහන්සේ ප්‍රකාශ කිහිපයක රාජපක්ෂ සහෝදරවරුන්ගේ ගැන සඳහන් කළහ. ඒවා මෙසේ සටහන් කරමි.

20 ගෙනෙද්දි ද්විත්ව පුරවැසිභාවය එපා කීවාට ඇහුවේ නෑ.

ආණ්ඩුවට එරෙහිව බලය ඉල්ලන අය අතර පිරිසුදු කිසිම බලවේගයක් නෑ.

වරාය ජැටිය ඉන්දියාවට දීම අයියා බේරගන්න මල්ලී විභීෂණට රට දුන්නා වගෙයි. 

ද්විත්ව පුරවැසිකම ගැන මම දවස් දෙකක් පැයකට වඩා කාලයක් ජනාධිපති එක්ක කතා කළා. ද්විත්ව පුරවැසිකම අයින් කරන්න කිව්වේ බැසිල් ආපසු එයි කියලා හිතපු නිසයි.

   ඡන්දය දුන්න ජනතාවගේ පිරිසුදු චේතනාව තේරුම් ගන්න බැරි නායකයෙක්ගෙන් වැඩක් නෑ.

ජනාධිපතිතුමා අපට කිව්වා හාමුදුරුවනේ මාව විශ්වාස කරන්න. ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒකෙන් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා කියලා. 

ජනාධිපති සහෝදරකමට වැලඳ ගත්තට බැසිල් වැලඳගන්න ජනතාව කැමැති නෑ.

රාජපක්ෂ ආණ්ඩුව ගැන ඇල්ලේ ගුණවංශ හිමියන්යෝ ප්‍රකාශ කළහ.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙසම විවේචනය කරනා අති පූජ්‍ය මහා සංඝරත්නය නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව තීන්දු තීරණ ගන්න

 සිදුවන බවට අනතුරු අඟවනවා.

අපේ ඉවසීම නිවටකමක් හැටියට ගන්න එපා. අස්ගිරි පාර්ශ්වයේ ලේකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියන් කීවේ, විදේශ රටවල පුරවැසියන් මැතිසබයට ගෙන ඒම මේ අර්බුදයට හේතුවක් බවයි. 

මහා සංඝරත්නයේ ආණ්ඩු විරෝධය

ගෝඨාභය, පොහොට්ටු ආණ්ඩුවට තවත් වසර තුනක කාලයක් රට පාලනය කිරීමට ව්‍යවස්ථානුකූලව බලයක් තිබේ. එසේ ආණ්ඩුව තිබියදී මහා සංඝරත්නයෙන් මෙවැනි විරෝධයක් එල්ල වන්නේ ගෑස්, ඉන්ධන, කිරිපිටි නැතිව දස දහස් සංඛ්‍යාවක ජනතා පිරිසක් සිය දෛනික රාජකාරිය ලෙස පෝලිම්වල දින ගණන් තපිමින් ආණ්ඩුවේ පාලකයන්ට දෙස් දෙවොල් තබමින්, හෙණ හත ගහන්නැයි කරන ශාපයට අමතරවය. මේ සියල්ල මෙසේ වෙද්දී ආණ්ඩුව ජනතාව විඳින දුක සමනය කරන්නට යම් විසඳුමක් ක්‍රියාත්මක කරනු පෙනෙන්නට නැත. එසේ වී තිබෙන්නේ රාජ්‍ය පාලනය ගැන කලකිරිලාද? නැත්නම්  එපා වෙලා දැයි කියන්න දන්නේ නැත. 

කොහොම වුණත් පාලකයන් ගැන කලකිරුණු ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් නාහෙටත් ඉහළින් ගොස් ඇති බව පසුගිය සිකුරාදා සවස ජනාධිපතිගේ නුගේගොඩ, මිරිහාන පෞද්ගලික නිවෙස දහස් ගණනක් ජනතාව පොලිස්, හමුදා බාධකවලට හා මර්දනයට මුහුණ දෙමින් වැටලීමෙන් අනාගතයේ වන්නට යන අනතුරුදායක තත්ත්වය ගැන සිතාගන්නට බැරි නැත.

මහින්දට යන්න කියන සැඟවුණු බලවේගය කුමක්ද?

මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් හෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් හෝ ඉවත්වන ලෙසට කිසියම් පාර්ශ්වයකින් බලපෑමක් සිදුවනවාද යන සැකයක් පවතින බවට මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

විශේෂයෙන් එවැනි සැකයක් පවතින්නේ වෙන කිසිවක් නිසා නොව, දැන්ම දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවට අග්‍රාමාත්‍යවරයා පුන පුනා ප්‍රකාශ කරන බැවිනි. ඔහු මේ වනවිට අවස්ථා දෙක තුනකදීම දේශපාලනයෙන් දැන්ම විශ්‍රාම නොයන බවට කරන ප්‍රකාශ පිටුපස කිසියම් සැඟවුණු සත්‍යයක් තිබිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මම තවදුරටත් අගමැති ලෙස කටයුතු කරනවා. මම ඉක්මනින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ නෑ යි කීවත් එවැනි තත්ත්වයක් උදාවී නැති අවස්ථාවක අගමැතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම පොහොට්ටුවේ මහින්ද  හිතවාදී දේශපාලනඥයන් අතරද සාකච්ඡා වෙමින් තිබේ.

රජය සමඟ ඇති විශ්වාසය ජනතාවගෙන් ඉවත් වී නැති බවද අගමැතිවරයා අවධාරණය කොට තිබේ. ඒ කියන්නේ ආණ්ඩුවේ ලොක්කන් ගැන විශ්වාසයක් ජනතාව තුළ නැතැයි කියාද? 

පොහොට්ටුවේ සමහර මන්ත්‍රිවරුන් අගමැතිවරයා බිත්තියට හේත්තු කර ඇතැයි රාජපක්ෂ පවුලට සමීප සබඳතාවක් ඇති හිටපු ඇමැතිවරයකු වන ඩිව් ගුණසේකර මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබිණි. ඔහු හොඳ දේශපාලන ඉවක් තිබෙන අයෙකි.

මේ අතර පසුගිය 30 වැනිදා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අගමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් දේශපාලනයෙන් ඉවත් වන බවට පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත විමසා සිටියේය. ඔහු මේ ප්‍රශ්නය ඇසූ 30 වැනිදා අගමැතිගේ පියාගේ උපන්දිනය යෙදී තිබිණි. ඒගැනත් සිහිපත් කළ හඩ්සන්, මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වන බවට පැතිරෙන කතාව මොකක්දැයි ඇසූවිට අගමැතිවරයා සෘජුවම කීවේ මම මේ අවස්ථාවේ අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නෑ කියායි. දේශපාලනය කරන කෙනෙක් දේශපාලනයෙන් ඉවත් වන්නේ නෑ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අය සිටිනවා නම්, ඔවුන් දේශපාලනයෙන් ඉවත් වෙයි. මම හිතනවා තවමත් මම ජනතාව අතර ඉන්නවා කියා අගමැතිවරයා තවදුරටත් පිළිතුරු දුන්නේය.

මම මේ අවස්ථාවේ අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නෑයි දැඩිව අගමැතිවරයා අවධාරණය කළේ ඔහුට  එම ධුරයෙන් ඉවත් වන්නැයි කවුරුන් හෝ බලපෑමක් කරන නිසා දැයි කෙනකුට සිතන්න බැරි නැත. දේශපාලන ක්ෂේත්‍රයේ කිසිවකු අගමැතිවරයාට එම ධුරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලා නැති අවස්ථාවක අගමැතිවරයා දේශපාලනයෙන් නොයන බව හා අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව පුන පුනා කියන්නේ ඇයි? මෙය කාගේ හෝ දේශපාලන සිහිනයක් නම් වෙන්න බැරිය. මේ දේශපාලනය ගැන නොව රට ගැන හිතන වෙලාවයි.

අග්‍රාමාත්‍යවරයා මේ දිනවල සහභාගි වන ඇතැම් ජනහමුවලදී කරන ප්‍රකාශ ගැන යම් දුරකට සිතා බලන්නට සිදුව තිබෙන බවක්ද පෙනේ.  ඔහු සත්‍ය වශයෙන්ම සැබෑ දේශපාලනඥයෙකි. ඔහුට දේශපාලනය උගන්වන්නට දක්ෂ අයකු නම් නැත. ඉකුත් 30 වැනිදා පැවැති ‘වාරි සෞභාග්‍යා” වැඩසටහනේදී “මේ දේශපාලනය කරන වෙලාවක් නොවේ. රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු යැයි හිතේ තිබූ දෙයක් එකවරම එළියට දැම්මා දැයි නොදනිමු. මහින්ද කවුරුන් හෝ ඉලක්ක කරමින් කීවේ දේශපාලන ගේම් එපා කියලද. 

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වෙලා

දේශපාලන වශයෙන් රටේ සිදුවන හදිසි හා වැදගත් සිදුවීම්වලදී එජාප නායක රනිල් සංවේදී වී පක්ෂයේ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීම ඔහුගේ පිළිවෙතකි.  ජනාධිපතිගේ මිරිහාන නිවස ජනතාව විසින් වැටලීමට උත්සාහ කිරීම හා එයට පාදක වූ හේතූන් නිසාද රනිල් පක්ෂයේ ප්‍රධානීන් කීපදෙනකු කැඳවා සිකුරාදා (අප්‍රේල් 01දා) ඔහුගේ නිවෙසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. පක්ෂයේ සභාපති වජිර, අකිල හා සාගලද මේ සාකච්ඡාවට සහභාගි වූහ.

එජාප නායකයා සාකච්ඡාව අරඹමින් සෘජුවම කීවේ මේ පිපිරීම ඇතිවුණේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොදුන් නිසයි. මෙතෙක් තිබුණේ ආර්ථික අර්බුදයක්. උද්ඝෝෂණ සිද්ධිය නිසා මෙය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. විග්‍රහයක යෙදුණු රනිල් ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳන්න අපොහොසත් වුණැයි දෙපැත්තටම වරද පැටෙව්වේය.

සිද්ධියෙන් පසු ආණ්ඩුව දැන් මෙයට සම්බන්ධ බවට විවිධ අය ගැන කියනවා. එහෙම කණ්ඩායම් හඳුනාගෙන තියෙනවා නම් ඒ අය ගැන තොරතුරු සාක්කි සහිතව කියන්නැයි ආණ්ඩුවට දැනුම් දීමක් කළ එජාප නායකයා මේ සිද්ධිය ජාතිවාදී ලෙස හුවා දැක්වීමක් නොකළ යුතු බවට උපදෙසක් ද දුන්නේය. සිද්ධියේ වගකීම සියලු දෙනාම භාර ගන්න ඕනෑ. අපි සියලු දෙනාම පොදු එකඟතාවකට පැමිණ කරුණු හොඳින් අවබෝධ කරගෙන පාර්ලිමේන්තුවත් සහභාගි කරගෙන මෙයට විසඳුමකට යන්න අවස්ථාව උදාකර ගනිමුයි එජාප නායකයා යෝජනාවක්ද කළේය.

ගැහුවත් ගහනවා ගහන්න ආවත් ගහනවා

ජනාධිපතිතුමාගේ නිවෙස වට කළා වගේ මගේ ගේ වට කළා නම් එහෙම යන්න ලැබෙන්නේ නැහැ. ගැහුවත් ගහනවා. ගහන්න ආවත් ගහනවා. ඒ තමයි අපේ පක්ෂය.

රට පාලනය කරන පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ චණ්ඩි කතාවට මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබාදී තිබිණි. රාජ්‍ය පාලනයේ පක්ෂයක ලේකම් රටට හා ඔහු නියෝජනය කරන පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන්ට හා සාමාජිකයන්ට දෙන ආදර්ශය මේ කතාවෙන් පෙනේ. මෙය අවසාන කාලයේ ගයන ගීතය ලෙස හැඳින්විය හැකිය. මෙය ත්‍රස්තවාදයටත් වඩා එහා ගිය භයානක ප්‍රකාශයකි. මෙවැනි ප්‍රකාශවලින් පිළිබිඹු වන්නේ පරාජයේ ලක්ෂණයි.

කුණු ගොඩට විසිකරන අසූචි පිඬත් කලක් රැඳී පවතී. මෙවැනි අයට නම් කුණු ගොඩේවත් රැඳෙන්න තැනක් නැත.

ඉන්ධන හිඟය හා විදුලිය කැපීම ගැන පසුගිය සඳුදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා වුවත් කියන බොරුවල හැටියට ඇත්තක් කීවත් මිනිස්සු පිළිගන්නේ නැතැයි ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් ‘කැබිනට්’ එකට පැවැසීය.

කැබිනට් තීරණ හා පැවැති සාකච්ඡා ගැන තොරතුරු දැනගැනීමට කතා කළ විට එම ජේ‍යෂ්ඨ ඇමැතිවරයා පැවැසීය.

මෙහිදී යල කන්නයට වී වගාව සඳහා පොහොර ලබාදීම ගැනද මෙහිදී සාකච්ඡා කළ බවද පොහොර නිකුත් කිරීමට කටයුතු සලසා තිබෙන බව ප්‍රකාශ වුවත් පසුගිය මහ කන්නයේ පොහොර දුන් ආකාරයටම සිහියට එනවිට යලටත් එම සන්තෑසියම සිදුවනවට සැක නැතැයි එම ඇමැතිවරයා කීවේය.

හොල්ලන්න බැරි විදුලි මාෆියාව

සූර්ය බල විදුලි ව්‍යාපෘතිවලට ප්‍රධාන තැනක් ලබාදීම ජනාධිපතිගේ ප්‍රධාන සැලැස්මක්  විය. ඔහු බලයට පත්වූ මුල් අවස්ථාවේම මේ ව්‍යාපෘතිය සඳහා දැඩි අවධානයක් යොමු කළේය.  මේ වසරේ මෙ.වො. 1000ක් සූර්ය බල විදුලි ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමේ ඔහු අපේක්ෂාවයි.

එහෙත් ඔහුගේ එම අපේක්‍ෂාව මල්ඵල ගැන්වීමට ජනාධිපතිටම බාධාවක් එල්ල වී තිබෙන බවට වාර්තා වේ. එම බාධාව එල්ල වන්නේ විදුලිය උත්පාදනයට ඉන්ධන ලබා ගැනීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වීමයි.  මේ මාෆියාව ගැන ජනාධිපතිවරයාට මේ වන විට තොරතුරු ලැබී තිබෙන අතර එය විනාශ කිරීමට ජනපති අලුත්ම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කොට තිබේ.

අරගලය මහ පාරට ගෙන ආයුතු බව රාජිත කියයි

ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැඟිටීම්වලට ශක්තියක් දෙන්න ඕනැයි සජබ ප්‍රකාශ කරයි. 

පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සජබ මුල්පෙළේ නායක හමුවකදී රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා යෝජනා කර තිබෙන්නේ අරගලය අපි මහ පාරට අරගෙන එන්න ඕනෑ කියායි.

රාජිත මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ අද (03දා) රටපුරා සංවිධානය කර තිබෙන විරෝධතාව ගැන සඳහන් කරමිනි.

ඉකුත් 15 වැනිදා එජාපය පැවැත් වූ විරෝධතාව ගැන මෙහිදී සඳහන් කළ එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා ජනතාව දැන් ඉදිරියට එමින් තිබෙන්නේ. දැන් බය නැතිව ජනතාව පාරට බහිනවායි ඔහු කීවේය. 

මිරිහානේ සටනට උසාවියේ අත්පොළසන්

ජනාධිපති පෞද්ගලික නිවෙස පිහිටි නුගේගොඩ, මිරිහාන, පැඟිරිවත්ත පාරේ පැවැති උද්ඝෝෂණයට සහභාගිවීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිකුරාදා (01දා) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ, අධිකරණයේ සිටි නීතිඥවරුන් අත්පොළසන් දෙමින් ඔවුන් පිළිගත් ආකාරයක් දක්නට ලැබිණි.නීතිඥවරුන් අධිකරණ සංකීර්ණයේදී සැකකරුවන් මෙලෙස අත්පොළසන් දෙමින් පිළිගත් පළමු අවස්ථාව මෙය වන්නට පුළුවනි.

සංවර්ධනය සඳහා ඩයස්පෝරාවේ සහාය පැතීම

ඩයස්පෝරාවේ සහාය ලබාගෙන රටේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ යෝජනාවකට ජනාධිපති ගෝඨාභය එකඟත්වය පළකොට තිබේ. 

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, සුමන්තිරන් ඇතුළු නියෝජිත පිරිසක් සමඟ ඉකුත් සතියේ ජනාධිපති සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති ප්‍රකාශ කළේ’ එයාලත් මේ  රටේ පුරවැසියෝ. මේ රටේ ඒ අයගේ මුදල්වලින් ව්‍යාපාර ආරම්භ කරන්න, අයෝජන කරන්න අයිතියක් එයාලට තියෙනවායි”කී ජනාධිපතිවරයා, ඒගොල්ලන්ට එන්න කියන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැනුම් දුන්නේය.

පැය තුනක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවැතියේ ජනාධිපති විසින් එම නියෝජිත පිරිස වෙනුවෙන් පැවැත්වූ උදෑසන තේපැන් සංග්‍රහයකින් පසුවය. 

සාකච්ඡාව අරඹමින් ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක්ද කළේය. 

“අපි දෙගොල්ලම එකම රටක ජීවත්වන ශ්‍රී  ලාංකිකයෝ වුණාට ජාතියක් හැටියට ඔයගොල්ලන්ටත් වෙනම මතයක් තියෙනවා. ඒ වගේම අපටත් වෙනම මතයක් තියෙනවා. මතවාදීමය වශයෙන් අපි දෙගොල්ලන්ටම එතැනදි එකට එකතුවෙන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේදී උතුරේ හෝ දකුණේ කියලා වෙනසක් නැතිව අපට  ඒකට එකඟවෙන්න පුළුවන්. එනිසා ඔක්කෝම එකතුවෙලා ජනතාව වෙනුවෙන් වැඩ කරමු”යි මම කියන්න කැමැති ජනාධිපති කීය. 

චෝදනා නැති අය ඇතුළේ නෑලු

මෙහිදී සම්පන්දන් මහතා දෙමළ තරුණයන්ට මුහුණදෙන්නට සිදුව තිබෙන ප්‍රශ්නත්, ඇතැම් අය දේශපාලන සිරකරුවන් ලෙස රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටීම ගැන  අදහස් දැක්වීය. 

“දැඩි චෝදනා ඇති අය හැරෙන්න අනෙක් අය ඔක්කොම වගේ අපි නිදහස් කරලා ඉවරයි“ ජනාධිපතිවරයා කීවේ සාකච්ඡාවට එක්ව සිටි අධිකරණ ඇමැති අලි සබි්‍ර දෙස බලමිනි. 

“චෝදනා නැති කිසිම කෙනෙක් ඇතුළේ නෑයි“කී අධිකරණ ඇමැති සබි්‍ර, චෝදනා ඇති අය නිදහස් කරන්න විදිහක් නෑනේ. රටේ නීතියක් තියෙන නිසා අපි නීතියට අනුකූලව කටයුතු කළ යුතු බව කීවේය.

පළමුව කළ යුත්තේ ජනතා ගැටලු විසඳීමයි

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙස වටලන්නට පිරිසක් කළ උද්ඝෝෂණයත්, එයට මුල්වූ බව කියන ජනතාව මුහුණ දෙමින් සිටින පීඩනය ගැනත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා සවස අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වා ඇති ඇමැති ප්‍රසන්න රණතුංග පවසා තිබෙන්නේ මෙය ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ජනතා අප්‍රසාදයට පත් කිරීමට කළ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසය. විශේෂයෙන් ජනතාවගේ කැමැත්ත දිනාගෙන ඇති රාජ්‍ය නායකයා හා ආණ්ඩු අප්‍රසාදයට ලක් කිරීම සඳහා මෙවැනි කුමන්ත්‍රණ සිදුවන බව 2015දී පැවැති ආණ්ඩුවට හා එවකට රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙනගිය ව්‍යාපාරයේම දිගුවක් ලෙස මෙය හඳුන්වාදී ඇති ප්‍රසන්න රණතුංග මෙම ක්‍රියාව සුළුවෙන් තැකිය යුතු නැතැයි පවසා ඇත.

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් දක්වමින් තත්ත්වය පාලනය කළ යුතු බවත්, එය ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක් බව පවසා ඇත. විශේෂයෙන්ම මේ ගැන මීට වඩා අවධානය යොමුකළ යුතු බවද ඔහු පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පිළිතුරු වශයෙන් කීවේ මීට වඩා ගැටලු හා දේශපාලන ප්‍රශ්නවලට අතීතයේ මුහුණදී තිබෙන බවයි. විශේෂයෙන් විදුලිය කප්පාදුව, ගෑස් ප්‍රශ්න හා ජනතාව මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන්ට පළමුව විසඳුම් ලබාදිය යුතු බවත් එසේ කිරීමෙන් අනතුරුව මතුවන මෙවැනි ක්‍රියාවලට පිළිතුරු දිය යුතු බවයි.

එජාප සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹින් මාතරට 

එජාපය කොළඹ හයිඩ් පිටියේදී පළමු සත්‍යග්‍රහය සාර්ථකව පවත්වා තිබියද මාතර සත්‍යග්‍රහයෙන් පසු කුරුණෑගල පඬුවස්නුවර තුන්වැනි සත්‍යග්‍රහය පැවැත්වීමට ලබන 8 වැනිදා දින නියම කර ගෙන තිබේ. 

රුවන්, වජිර, අකිල, රංගේ, සාගල, ශමල් ඇතුළු මධ්‍යම කාර්යාංශයේ සාමාජික පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූ අතර, රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හමුවේ මෙවර මැයි දින සැමරුම රැලියකට සීමා කිරීමට තීරණය කොට ඇත. 

රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ගතයුතු පියවර ගැනද නායක වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදී විශේෂ රැස්වීමක් පසුගිය බදාදා සවස පැවැත්විණි. මේ අතර එජාප සංවිධායක ජාලය පුළුල් කිරීම පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විණි. 

පෝලිම් නැති කරන්න රනිල්ට පුළුවන්ද? 

මේ අතර පසුගිය බදාදා එජාප සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පක්‍ෂයේ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්විණි. වජිර සිය නායක රනිල් ඉහළින් තබමින් කළ ප්‍රකාශ දෙකක් ගැන මේ සාකච්ඡාවේදී ක්‍රියාකාරිකයකු ප්‍රශ්න දෙකක් ඇසුවේය. රනිල් වික්‍රමසිංහ මහත්තයට රට බාරදුන්නොත් අද තිබෙන පෝලිම් නැති කරනවාය ඔබ කියා තිබුණා. කොහොමද එහෙම කරන්නේ යන්න ඒ ක්‍රියාකාරිකයාගේ ප්‍රශ්නය විය. 

වජිර රනිල් ගැන විස්තරයක් කරමින් ඔහු දැක්මක්, දර්ශනයක් හා වැඩපිළිවෙළක් ඇති පුද්ගලයකු ලෙස හඳුන්වමින් දැනට වසර දෙකකට පමණ පෙර මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දැක මේ තත්ත්වයට සූදානම් වන ලෙස එතුමා ප්‍රකාශ කළ බව පැවසීය.