මේ සම්මානය මට විතරක් අයිති එකක් නෙවෙයි

0
136


කොහොමද මේ දිනවල වැඩකටයුතු?

ජීවිතය සාමාන්‍ය පරිදි ගත කරනවා. නව ගීත කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. ඉදිරියේදී ඒ ගීත නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

2021 වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායනය වෙනුවෙන් ඔබට සම්මානයක් ලැබුණා. මොකද සිතන්නේ ඒ ගැන?

ඔව්. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. “මහපොළොව” නාට්‍යයේ තේමා ගීතය තමයි මම ගායනා කළේ. එහි කාන්තා හඬ  (Female Voice)  සචිනි නිසංසලා නංගිගේ. ගීතයේ තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්‍ෂණය කළේ දර්ශන රුවන් දිසානායක අයියා. දර්ශන අයියම තමයි මගේ නම එම ගීතය ගායනය සඳහා යෝජනා කරලා තිබෙන්නේ. එහි පද රචනය කළේ සුමිත් රත්නායක අයියා. සංගීතය සංයෝජනය කළේ මංජුල බණ්ඩාර. මේ සම්මානය මට විතරක් අයිති නැහැ. ගීතයට සංගීත සැපැයූ වාද්‍ය ශිල්පීන්, ටෙලිනාට්‍යයේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්, නිෂ්පාදන කණ්ඩායම, අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලුම දෙනාගේ කැපවීම නිසයි මේ නිර්මාණය සාර්ථක වුණේ. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඒ අයට ස්තුතිය පුද කරන්න.

ඔබගේ ගීත නිර්මාණයන්වල සිත නිවෙන ගතියක් තිබෙනවා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

එයට පැහැදිලි හේතුවක් පැවැසීමට අසීරුයි. අපි හැමෝටම තිබෙනවා තමන්ටම ආවේණික vibe  එකක්. මටත් එහෙමයි. මම ගීත නිර්මාණය කරන විට ඒ හැඟීම් නිරායාසයෙන්ම මට දැනෙනවා. මම ලබපු අත්දැකීම් එයට හේතුවක් වෙන්න ඇති කියලා මම සිතනවා.

ඔබගේ ගීත පදවැල් සාමාන්‍ය රසිකයාට තේරුම් ගන්න අසීරුයි නේද?

සමාජයේ විවිධ මට්ටම් තිබෙනවා. ඒ ඒ මට්ටම්වලට අනුව මිනිසුන් දේවල් තේරුම් ගන්න ආකාරයත් එකිනෙකාට වෙනස්. ගීතයක් නිර්මාණය කරන විට ඒ ගීතය ප්‍රථමයෙන් තමන්ට දැනෙන්න සහ තේරෙන්න අවශ්‍යයි. මගේ ගීතවල අර්ථය සහ රසය මට හොඳින් දැනෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ඒ ඒ අයගේ තේරුම් ගැනීමේ පරාසය මත ඒ ගීත රසිකයා තේරුම් ගනීවි කියලා.

සංගීතවේදියකු එක්තරා ආකාරයකින් සමාජ ශෝධන කාර්යකටත් දායක වෙනවා නේද?

කලාව පිළිබඳව සොක්‍රටීස්, ප්ලේටෝ, තෝල්ස්තෝයි, බීතෝවන් වැනි අය විවිධ ගැඹුරු මත ඉදිරිපත් කොට තිබෙනවා. මම කියන්න කැමැතියි අපි කරන ඕනෑම වෘත්තියකින් සමාජයට යම් කාර්යයක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම වැදගත් වෙන්නේ අපේ අරමුණුයි අපගේ නිර්මාණය තුළින් සමාජයට යම් කිසි පණිවුඩයක් දිය යුතුයි කියලා සිතුවොත් එය යම් කිසි සමාජ ශෝධනයකට හේතුවක් වන්නට පුළුවන්. නමුත් පූර්ණ වශයෙන් කලාවට පමණක් සමාජ ශෝධනයක් කරන්න බැහැ. අපට පරමාදර්ශී පරමාර්ථයක් තිබුණොත් සමාජයට යම් බලපෑමක් කළ හැකියි.

තාක්‍ෂණය නිසා ගායකයකුගේ හෝ සංගීතඥයකුගේ හැකියාවන් මොට වෙනවා කියලා මම කිව්වොත්?

අද සමාජය සිටින්නේ විද්‍යාව සහ තාක්‍ෂණික වශයෙන් ඉතාමත් ඉහළ තැනෙක. විද්‍යාත්මකව තාක්‍ෂණය භාවිත කරන අයගේ හැකියාවන් යම් පමණකට මොට වෙනවා. නමුත් ඒ තාක්‍ෂණය සොයා ගන්නා අයගේ චින්තනය අපට වඩා සිය දහස් ගුණයකින් ඉහළයි. එම නිසා ඕනෑම තාක්‍ෂණයක් අප භාවිත කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. වැඩ පහසු කරගන්න තාක්‍ෂණික ක්‍රම සොයා ගත්තත් අපි දැනගන්න ඕනෑ අපගේ හැකියාවන් හොඳින් ඔපදමා ගන්න.

වර්තමාන රටේ පවතින තත්ත්වය ගැන සංගීතවේදියෙක් විදිහට මොකක්ද අදහස?

එක් එක් කාලවලදී විවිධ ප්‍රශ්නවලට රටක් විදියට සහ සමාජයක් විදියට මුහුණ දීමට සිද්ධ වෙනවා. නමුත් ඒ කුමන ආකාරයේ ප්‍රශ්නයක් වුවත් සදාකාලික නැහැ. අපි මේ සිටිනවා වගේ තත්ත්වයන්ට මීට පෙරත් රට පත්වෙලා තිබෙනවා. අනාගතයේදීත් අපිට ඒවාට මුහුණ දීමට සිදුවෙයි.

“ආගන්තුක මිනිසා” ගීතය හැදුණේ කොහොමද?

ගීතය රචනා කළේ රවීන්ද්‍ර සිරිවර්ධන, ඔහු මගේ සහෘදයෙක්. රවීන්ද්‍ර විනෝදාංශයක් විදිහට කරන්නේ වනගත ඡායාරූපකරණය. ඡායාරූප ගැනීමට වනයට ගිය අවස්ථාවක ඔහුගේ හුදෙකලා බවත් සමඟ ඇතිවුණ හැඟීමක් තමයි ඔහු වචන බවට පත් කරලා තිබෙන්නේ. මේ ගීතය ගැන මට තිබෙන්නේ වෙනස් කියැවීමක්. මිනිසා පෘථිවි ගෝලයේ ඉපදිලා මියැදෙනවා. නමුත් අපිට අපිව තේරුම් ගන්න බැහැ. අපි දන්න එකම දේ අපි මනුෂ්‍යයෝ කියන එක පමණයි. නමුත් පෘථිවි ගෝලයෙන් එහාට ගිය පසු මනුෂ්‍යයාට වටිනාකමක් නැති වෙන්න පුළුවන්.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම නිර්මාණය කළ ගීත කිහිපය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම දෙනාටම සමානාත්මතාවයෙන් සලකන පරමාදර්ශී සමාජයක ජීවත් වීමට තමයි මගේ බලාපොරොත්තුව.

දුමිඳු ලංකා බණ්ඩාර