මේ මොහොතේ ජීවත් වෙන්නේ අනාගත බලාපොරොත්තු නැතිවයි

0
19

කොහොමද මේ දවස්වල?

 හොඳයි කියන්න බැහැ. මොකද මේ වනවිට ලංකාවේ හැම මනුස්සයම පෝලිම්වල ජීවත් වෙන්නේ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරි පෝලිම් ඔක්කොම පෝලිම්. හැම මනුස්සයම ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. බඩු මිල ගැන අහන්න දෙයක් නෑනේ? ඉතින් මමත් ඒ පොදු කුලකය ඇතුළේ නිසා මම විතරක් හොඳින් ඉන්නවා කියලා බොරුවට කියන්නෙත් නෑ, කියන්නත් බැහැ.

රංගනය පිළිබඳ හැදෑරීම සහිත අත්දැකීම කොතරම් දුරට නළුවකුට වැදගත් වේ යැයි ඔබ සිතනවාද?

 විෂය පිළිබඳ දැනීම, හැදෑරීම අභ්‍යාස කිරීම සෑම වෘත්තියකටම අදාළයි වගේම ඒක රංගනයටත් අදාළයි. ඒ නිසා නළුවකුට හෝ නිළියකට ඒ අත්දැකීම, තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි එම හැදෑරීම තමයි සෙට් එකකදී විනය පවත්වා ගැනීමට උපකාරී වන්නෙත්. අත්දැකීම්වලින් තොරව කිසි ක්ෂේත්‍රයක කිසිදු දියුණුවක් හෝ පැවැත්මක් නැහැ කියලා මම විශ්වාස කරනවා.

තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට නළුවකුට සුදුසුම මාධ්‍ය ටෙලි නාට්‍යයද? චිත්‍රපට ද?

නෑ. එහෙම කියන්න බැහැ! මොකද අද වනවිට නළුවකුගේ හෝ නිළියකගේ රංගන පරාසය ටෙලි නාට්‍ය හා චිත්‍රපට යන මාධ්‍ය දෙකට පමණක් ලඝු කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි තිබෙන්නේ. මේ දෙකට අමතරව බොහෝ විකල්ප platform  නිර්මාණය වෙලා තිබෙනවා. Facebook, Youtube  වැනි සමාජ ජාලා තුළින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙලා තිබෙනවා.  Tiktokවලින් පවා තම තමන්ගේ හැකියාවන් පෙන්වන වයස් භේදයකින් තොර නිර්මාණශීලී පිරිසක් සිටිනවා. අද වෙනකොට මට නම් හිතෙන්නෙ  youtub එක තමා මෙයට සුදුසුම මාධ්‍ය කියලා.

 මොකද ටෙලි නාට්‍යවලටයි චිත්‍රපටවලටයි දැන් තිබෙන වාරණ බැලුවම youtube එකට එහෙම වාරණයක් නෑනේ. යම් නිර්මාණයකට වැයවෙන කාලය, ශ්‍රමය වැනි සාධක මත එහි වටිනාකම පිළිබඳ ගැටලුවක් පැනනඟිනවා. නමුත් නිර්මාණකරුවකුට තමන්ගේ නිර්මාණය පිළිබඳ අවංක හැඟීමක් ඇතිවන්නේ වාරණයකින් තොරව ඉදිරිපත් කරන්න ලැබෙන විට යැයි මම විශ්වාස කරනවා.

ඔබ වෘත්තීයමය නීතිඥවරයෙක්. ඒ ගැන සඳහන් කරමු?

ඔව්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් සහ නීති විද්‍යාලයෙන්, නීතිය පිළිබඳ අධ්‍යාපනය ලබලා නීතිඥ වෘත්තීයට පිවිසිලා දැනට වසර 10ක්. කොළඹ මහාධිකරණයේ දැනට වෘත්තීය කටයුතුවල නියැළෙනවා.

රංගනය හා නීතිඥ වෘත්තිය වැනි එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් දෙකක වැඩ කිරීම සමබර කරගන්නේ කෙසේද?

එහෙම විශේෂයෙන් සමබර කරගැනීමක් නෑ. මම කොහොමත් කාර්ය බහුල නළුවෙක් නෙවෙයි. නීතිඥ වෘත්තියේදී මගේ ජේ‍යෂ්්ඨ නීතිඥ වසන්ත පිටිගල මහතාගෙන් සහ සහෝදර නීතිඥවරු වන සමන් අමරසිංහ සහ නිර්මල ඩයස් යන මහත්වරුන්ගෙන් ලැබෙන සහයෝගය මත සහ සහාය අධ්‍යක්ෂවරු විසිනුත් ඔවුන්ට ලබාදියහැකි උපරිම සහයෝගය මට ලබා දී තිබෙන නිසා මේ වෘත්තීන් දෙකම බැලැන්ස් එකේ කරගෙන යන්න පුළුවන් වෙලා තිබෙනවා.

බොහෝ විට ඔබ ඒකාකාරී අහිංසක චරිතවලට පමණක් කොටුවුණා කියලා මම චෝදනා කළොත්?  

මම හිතනවා එහෙම නෑ කියලා. මම අහිංසක චරිත කියල රාමු කරගෙන රඟපාලා නැහැ. අපිට සැබෑ ජීවිතයේදීත් හමුවුණ චරිත වගේම නාට්‍යවල චරිතවලත් සෑම ගති ලක්ෂණයක්ම තිබෙනවා. මම උත්සාහ කරලා තිබෙනවා ඒ සෑම ගති ලක්ෂණයක්ම අල්ලන්න. ඉදිරියේදීත් ඒක එහෙම වෙයි.

ලැබුණු චරිත සමඟ ඔබට ඔබේ රංගන හැකියාවේ උපරිමය කළා යැයි ඔබ සිතනවාද?

 මට එහෙම හිතෙන්නෙ නැහැ. මං කරපු හැම චරිතයකම මට වැරදුණු තැන්, මඟහැරුණු තැන් බොහෝමයි කියල මට  හිතිලා තිබෙනවා. ඇත්තටම කවදාවත් මගේ උපරිමය කළා කියලා මට සෑහීමකට පත්වෙන්න බැරිවෙලා තිබෙනවා. මගේ ලොකුකමකට කියන කතාවක් නෙවෙයි. බහුතරයක් නළු-නිළියන් එහෙම ඇති කියලා මම හිතනවා. මොකද රංගනය කියන්නෙම අලුත් අත්දැකීම් ලබාගන්න පුළුවන් විෂයක් සහ හැම මොහොතකම ඉගෙන ගන්න පුළුවන් සහ යාවත්කාලීන වෙන විෂයක්.

නළුවකුට තමන්ගේ රංගනය මඟින් සමාජයට කොතරම් බලපෑමක් එල්ල කළ හැකි දැයි ඔබ සිතනවාද?

මෙහෙමයි නළුවෙක් කියන්නෙම සන්නිවේදකයෙක්. රංගනය හරහා ප්‍රේක්ෂකයාට කලාව, දේශපාලනය, සංස්කෘතිය, ආදරය හා දැනුම වැනි ඕනෑම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන්. මධ්‍යතන යුගයේ සිටම ලෝකයේ සෑම කොනකම එහෙම දේවල් සිදුවුණා. හැබැයි අපි කරන ටෙලිනාට්‍ය ඇතුළෙන් ඔහොම දේවල් සන්නිවේදනය වෙනවද කියල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සම්බධයෙන් කලාකරුවන් වශයෙන් අපිත් වගකිවයුතු යැයි මම සිතනවා. 

ඉදිරි වැඩකටයුතු හා ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් සඳහන් කරමු?

 ඉදිරි වැඩකටයුතු ගැන සඳහන් කළොත් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් අරන් තිබෙනවා. එකක් සංඛ වීරසිංහගේ සහ අනෙක සුපුන් රත්නායකගේ. මගේ පෞද්ගලික අනාගත බලාපොරොත්තු ගැන පිළිතුරු දෙනව නම් ඇත්තටම අනාගත බලාපොරොත්තුවක් නැතිව තමා මේ මොහොතේ ජීවත් වෙන්නෙ. මොකද කිව්වොත් බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්වන් තැනක නෙවෙයි දැන් අපි ජීවත් වෙන්නේ. මට හිතෙන්නෙ අපි රටක් වශයෙන් හරිම භායනක තත්ත්වයක දැන් ඉන්නේ කියලා. 

රමෝද් ජයවර්ධන