මිනිස් ජීවිත සුවදායි කරන දේව නීතිය

0
60

ඒ හරහා අපේ ජන ජීවිතයට එකතු වූ හැඩගැන්වූ සංස්කෘතික රටාවන් අප දකිනවා. දකුණු පළාතේ වැලිගම ප්‍රදේශයේ භාෂා ව්‍යවහාරයත්, මධ්‍යම පළාතේ නුවර ප්‍රදේශයේ භාෂා ව්‍යවහාරයත්, උතුරු පළාතේ කන්කසන්තුරේ ප්‍රදේශයේ භාෂා ව්‍යහාරයත් එකිනෙකට වෙනස් ආරක් ගන්නවා. එම ප්‍රදේශයන්හි සංස්කෘතිකාංගයන්ගේද තිබෙන්නේ එකිනෙකට වෙනස් ස්වරූපයක්.
ඕනෑම රටක සිවිල් නීතියක්ද තිබෙනවා. කුමන ජාතියක වේවා, ආගමක වේවා සංස්කෘතියක වේවා. අදාළ රටේ භූමි ප්‍රදේශයේ තුළ වෙසෙන සෑම පුරවැසියකුම එම රට තුළ ඇති සිවිල් නීතියට නිතැතින්ම යටත් විය යුතුයි.
මෙලෙසින් රට තුළ හෝ කුමන ව්‍යුහයක් තුළ හෝ නීති රෙගුලාසි පැනවෙන්නේ එහි වෙසෙන ජනතාව හික්මවීම පිණිසයි. එලෙසම විනයානුකූල රිද්මයක් ඇති කරලීමටද මෙම නීති රෙගුලාසි ඉවහල වේ.


මාර්ග නීති රෙගුලාසි පැනවීමෙන් මාර්ගයේ ගමන් කරන රථවාහන මෙන්ම පදිකයන් ආරක්ෂා වීම සිදු වෙනවා. අනතුරු ඇඟවීම්, ආරක්ෂාකාරී වීම්, අවධානය යොමු කරවීම අදාළ සංඥාවලින් සහ නීති රෙගුලාසි මඟින් සිදුකරනු ලබනවා. එම නීති රෙගුලාසි සංඥාවන් පිළිනොපදින තැන අනතුරු සිදුවීම්, ජීවිත අහිමිවීම් වාර්තා වෙනවා.
හික්මවීමකින් තොර විනයෙන් බැහැර වූ නීතිය අවනීතිය වූ සමාජ රටාවකට අප එළැඹෙමින් තිබෙන බව සක්සුදක් සේ ඇස් පනාපිටම දක්නට ලැබේ.
මහ දහවල් සිදුවන මිනිස් ඝාතන, සොරකම්, මංකොල්ලකෑම් සහ අඬදබර ඒවාවලට මොනවට සාක්ෂි සපයයි.
පසුගිය දවසක තම ගැබිනි බිරියට ආහාරය පිණිස කොස් ගෙඩියක් කැඩීම නිසා සිදුවූ මිනිස් ඝාතනයක ශෝචනීය පුවතක් අප කන වැකුණේ මිනිස් සමාජය තිරිසන් සමාජයක් බවට පත්වන පෙරනිමිති අඟවමිනි.


පාසලක සිසු දරුවන් ගුරුවරියන්ට උසුළු විසුළු කිරීම් ඉක්මවා ගොස්, එම ගුරුවරියන් දෙස කාම ආශාවෙන් බැලීම සහ ඒ සඳහා ගුරුවරියන් පොලඹවා ගැනීමට තැත් කිරීමේ අශෝභන පහත් ක්‍රියාවන් ගැන දිවයිනේ ඇතැම් ප්‍රසිද්ධ පාසල් ආශි්‍රතව අසන්නට ලැබේ.
බලය, ධනය ඇත්තාගේ කීමට වෙනස් වන නම්‍යශීලී වන නීතිය, බලය නැති ගැත්තා දඩ මීමා කරගෙන දඩයම් කරන, දඬුවම් පමුණුවන අස්ථිර, අසාධාරණ රාමුවක් බවට පත්වී ඇත.
නීතිය සුරකින්නන්ම නීතිය තුළින් රිංගා යෑමට තැත් කිරීම තුළින් හාස්‍යයටත් පිළිකුලටත් අද සමාජය පත්කර ඇත.
සිවිල් නීතිය වළපල්ලට ඇදෙන තැන ආගමික නීති රෙගුලාසි කුමකටද? ඵලක් තියේවිද?


ඔබේ පියවරුන්ගේ දෙවි සමි¼දාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගෙන එහි ජීවත් වන පිණිස ඔබ විසින් ඉටුකළ යුතු මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට ඊශ්‍රායල්වරුනි දැන් ඉතින් සවන් දෙන්න”
(ද්විතීය නීති සංග්‍රහය 4/1)
එදා සමාජයේ සිවිල් නීතිය බවට පත් වූයේද දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරන ලද අණ පනත්මය. සමාජය ප්‍රධාන වශයෙන් වෙසෙන ඊශ්‍රායල් දේශයේ දේව නීතියට එහා ගිය තවත් නීතියක් නොවීය. ඒ නිසාම දෙව් පියාණන් වහන්සේ විසින් සීනයි කන්දේදී මෝසෙස් තුමන්ට දානය කරන ලද ‘දස පනත’ ආශි්‍රතව මෙම නීති සම්පාදනය වෙන්නට පටන් ගනී. ශුද්ධ වූ බයිබලයේ පළමු පොත් පහ හෙවත් ටෝරා එම නීතිය කුමක් සඳහා කෙසේ විය යුතුද යන්න දීර්ඝව විස්තර කරනු ලබයි.


එනමුත් දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත වූයේ,
“මා ඔබට අණ කළ ඔබෙ දෙවි සමි¼දාණන්ගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුය”
(ද්වීතිය නීති සංග්‍රහය 4/2) යන්නයි.
හිස් මුදුනෙන් දේව ආඥාව මිනිසා පිළිගත්තත් දේව නීතිය – මිනිස් නීතිය බවට වෙනස් වීමට වැඩි කලක් ගත නොවීය. එනමුත් දෙවියන් වහන්සේගේ අරමුණ වූයේ උන්වහන්සේ පැනවූ පනත් තුළ මිනිසා විසීමයි.
එසේ උන්වහන්සේ නියෝග කළ දෙයට තේරුමක්, අරමුණක් තිබිණි. එනම්,
“මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමක් කැපී පෙනෙනු ඇත”


(ද්විතීය නීති සංග්‍රහය 4/6)
දේව ආඥාව කිසිම විටෙක කාගෙවත් පහසුව වාසිය, බලය වෙනුවෙන් නිර්මාණය වූවක් නොව හුදෙක්ම මිනිසාගේ යහපැවැත්ම උදෙසාම නිර්මාණය වූවකි.
“මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශේ‍ර්ෂ්ඨ ජාතියක් සතුව පවතීද?”
(ද්වීතිය නීති සංග්‍රහය 4/8)
කිනම් සමාජ තලයක ජීවත් වුවත් දෙවිඳුන් ලබා දුන් නීති හා නියෝග සෑම කෙනකුටම පොදු වූවත් පිළිපැදිය හැකිවූත්, තමන්ගේම යහපත වෙනුවෙන් තිළිණ කරන ලද ව්‍යුහයකි. නපුරෙන්, අයහපතින් මිනිසා රැකගනු සඳහාත් ආරක්ෂා කරගනු සඳහාත් විශේෂකොටම මේ රෙගුලාසි මිනිසාට දානය කරන ලදී.
පාලකයාට අවශ්‍ය වූ විට, පාලක පන්තියේ වුවමනාවට, මිනිසුන්ගේ ප්‍රසාදය ලබා ගැනීම සඳහා සිවිල් නීතිය හිතුමතේ වෙනස් කරන ලිහිල් කරන මෙන්ම ඇතැම් අවස්ථාවලදී නීතිය දැඩි කරන මොහොතවල්ද කොතෙක් නම් අපි දැක ඇත්තෙමුද? මෙහි අවසාන ප්‍රතිඵලය විනාශයයි. මිනිසාගේ පිරිහිරීමයි.


ආධ්‍යාත්මික රෙගුලාසියට යටත් නොවී හැඩගැසෙන මිනිසා සමාජයට දායාද කරන්නේ අයහපත් පැවැත්මකි. සමාජයේ යහපත කෙලෙසීමකි.
කෙසේ වෙතත් අද වනවිට දෙවිඳුන්ගේ නීතිය පවා ආගමික ස්ථානවල ඇතැම් විට නම්‍යශීලී වී, වෙනස් වී, එහි මුල් ස්වභාවය දේවත්වය සහ ශුද්ධත්වය වියැකී ඇති ස්වභාවයක් දැන් දකින්නට ලැබේ. “දහම රකින මනුස්සයා දහමින් රැකගනු ලබන්නේය” යන කියමන කෙතරම් අගනේද. දහමට අනුගත වීමට ප්‍රයත්නයක් නොදෙන නිසාවෙන් අද පොඩි දරුවාගේ පටන් වයස්ගත වැඩිහිටියා දක්වාම නීතියෙන් පිට, නීතිගරුක නොවන මුරණ්ඩු, සිත් පිත් නොමැති සත්ත්වයන් ලෙස හැසිරීමට පටන්ගෙන ඇත.
එම නිසා දෙවිඳුන් මිනිසාගේ සුන්දර පැවැත්ම සඳහා දායාද කළ අණ පනත් රකින්නට යොමුවිය යුතුයි. එය මේ ලෝකයාගේම සහජීවනය වෙනුවෙන් ඉවහල්වනු ඇත. අණපනත් සුරකින තැන මිනිස් දිවියද සුරක්ෂිත වන බව ස්ථිරය.