බහුතරයක් ප්‍රවෘත්ති කියන අයට ප්‍රවෘත්තිය ගැන අවබෝධයක් නැහැ

0
37


මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ? 

මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. මොකද මගේ ජීවිතේ අංක එක මගේ රැකියාව. හිරු නාළිකාව තුළ නව තාක්ෂණය භාවිත කරමින්  පසුතලයන් සහ අන්තර්ගතයෙහි ලොකු වෙනස්කමක් සිද්ධ වුණා. ඒ වෙනස වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර අත්විඳිමින් තමයි දවස ගෙවෙන්නේ. තව තවත් අලුත් දේ කරන්න සැලසුම් කරමින් ඒ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා සිටිනවා.

වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීම පිළිබඳව මොනවද ඔබට සිතෙන්නේ? 

ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද අපි නිරන්තරයෙන්ම මහන්සි වෙනවා නිවැරදි, සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබා දෙන්න. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ජනතාවගේ පැත්තේ සිටගෙන ප්‍රවෘත්ති වාර්තාකරණය කිරීම තමයි අප සතු එකම අවිය සහ බලය. එනිසාමයි ජනතාව හිරු නාළිකාව සමඟ රැඳී සිටින්නේ සහ විශ්වාසය තබන්නේ. ඒ ජනතා සම්මානය එදා වගේම අදත් නොඅඩුවම තියෙනවා. සම්මානයට පාත්‍රවීම පිළිබඳව පුදුමාකාර සතුටක් තිබෙනවා. 

නිවේදකයකු පිටපතකට සීමා වීම ඇතැම් අවස්ථාවන්හිදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? 

නිවේදක භූමිකාව තුළ අපිට පිටපතට අනුවම කටයුතු කරන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. එහෙම වුණත් කොළයක් බලාගෙන කියවන්න පුළුවන් ඕනිම කෙනෙක් නිවේදකයෙක් වෙන්නෙත් නැහැ. වචනයක්වත් වරද්දන්නේ නැතිව සංයමයෙන් අර්ථය විකෘති නොවන ආකාරයෙන් පැහැදිලිව වචන උච්චාරණය කරමින් ඡේදයක්වත් කියවන්න හැමෝටම හැකියාවක් නැහැ. ඒකත් එක්තරා ආකාරයක හැකියාවක්. වර්තමානයේදී බහුතරයක් වූ නිවේදක නිවේදිකාවන්ගේ තිබෙන ගැටලුවක් තමයි ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නොමැති වීම. ප්‍රවෘත්තිය කියවූවත් එහි අන්තර්ගතය පිළිබඳව අවබෝධයක් නොමැති නිසාම අර කලින් කතා කළා වගේ චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. 

නවක පරපුරේ නිවේදක පිරිසට ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතිනවද? 

මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රවෘත්තියක් කෙරෙහි ජනතාවගේ විශ්වාසය රඳා පවතින්නේ එම ප්‍රවෘත්තියේ අන්තර්ගතය සහ තොරතුරුවල සත්‍යතාව මත. තව දෙයක් තමයි යම් ප්‍රවෘත්තියක් කෙරෙහි විශ්වාසය ඇතිවන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාවක් නිවේදකයා සතු විය යුතුයි. ප්‍රවෘත්තිය පිළිබඳ අවිනිශ්චිතතාවකින් වගේ ඉදිරිපත් කිරීමක් කරනවා නම් විශේෂයෙන්ම රූප මාධ්‍ය තුළදී ඒක තදින්ම දැනෙනවා. එතැනදි නිවේදකයා සතු අත්දැකීම් සම්භාරය වැදගත් වෙනවා. අත්දැකීම් සම්භාරය කියන්නේ ඔහු හෝ ඇය නිවේදනයෙහි නියැළුණු වසර ගණන නොවෙයි නිවේදනය තුළින් ඔහු ලද නිපුණත්වය තුළින් විශ්වාසය සහ සත්‍ය බව රැකෙන විධියට ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ ප්‍රවීණ හෝ නවක කියන කාරණය මත ප්‍රවෘත්තියක විශ්වසනීයත්වය රඳා පවතිනවා කියලා. 

‘දිනන ළමයි’ වැඩසටහනෙහි නිෂ්පාදන අදහස, නිවේදක දායකත්වය සහ අන්තර්ගතය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමු? 

වෘත්තීයමය වශයෙන් මාධ්‍ය කටයුතුවල නියැළුණු මුල් කාලයේදී මට අවශ්‍ය වුණා වෙනස්ම විධියකට ක්‍රීඩාව පිළිබඳව කතා කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලයක් විධියට තමයි මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ. ලංකාවේ සිටින ක්‍රීඩාවෙහි දස්කම් දක්වන දරුවන් පිළිබඳව අපි මේ විශේෂාංගය හරහා කතා කළා. මම හිතන්නේ ඒක සමාජ සත්කාරයක් බවටත් පත් වුණා. මොකද මේ වැඩසටහන බලලා ඒ දරුවන්ට ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් උදව් කරන්න විශාල පිරිසක් ඉදිරිපත් වුණා. රයිගම් සම්මාන උළෙලේදී හයවැනි වරටත් ‘දිනන ළමයි’ වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා. ඒක ලොකු සතුටක්. 

ඔබේ අත්දැකීම්වලට සාපේක්ෂව ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හැසිරවීම, භාවිතය පිළිබඳව ඔබේ මතය කුමක්ද? 

මේ මාතෘකා දෙක බැරෑරුම්ව කතා කළ යුතු මාතෘකා දෙකක් විධියට තමයි මම දකින්නේ. මගේ අත්දැකීමට අනුව නම් වර්තමානය වන විට ජනමාධ්‍යය සහ සමාජ මාධ්‍ය කියන දෙකම දිගු පිම්මක් පැනලා තිබෙනවා. මේ වන විට සමාජ මාධ්‍ය සංකල්පය ජනමාධ්‍යය ඉක්මවා ගිහින් තියෙනවා කිවහොත් නිවැරදියි. සමාජ මාධ්‍යය විසින් ජනමාධ්‍ය ග්‍රහණයට ලක් කරගෙන තියෙනවා. මම ඒක හොඳක් විධියට දකින්නේ නැහැ. ඕනෑම රටක ජනමාධ්‍ය තමයි සමාජයක පෙරගමන්කරුවා ලෙස හ¾දුන්වන්නේ. නමුත් අද වන විට එය සමාජ මාධ්‍ය දක්වා විතැන් වෙලා තිබෙනවා. එය එතරම්ම සුබදායී ප්‍රවණතාවක් කියලා මම හිතන්නේ නැහැ. ලංකාව වගේ රටක සමාජ මාධ්‍ය පරිශීලනයේදී වගේම සමාජ මාධ්‍ය සඳහාත් නිර්ණායක පැනවීම සිදු කළ යුතු බව මම විශ්වාස කරනවා. 

ඉදිරි සැලසුම් මොනවද? 

මම නිතරම සැලසුමකට අනුව වැඩ කටයුතු කරපු කෙනෙක්. නුදුරු අනාගතයේදීත් වැඩ කටයුතු කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටිනවා. මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් මහන්සිවෙනවා මේ දවස්වල. හිරු ප්‍රවෘත්ති අංශයේ වැඩකටයුතු තවදුරටත් වැඩි දියුණු කරන්නත් ක්‍රීඩාලෝලීන්ට දැනෙන විධියේ වෙනස්ම ආරයක ක්‍රීඩා වැඩසටහනක් කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. 

නිකේෂලා රණතුංග