පොත්ත රතු වුණාට ඔළුවක් නැත්නම් මේකේ රැඳෙන්න බෑ

0
53

මේ දවස්වල වැඩ කටයුතු මොනවද?

මේ දවස්වල ටෙලි නාට්‍යය 02ක සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ ලොක් ඩවුන්, ක්‍රිශාන් වීරමන්ගේ රයිස්, ආනන්ද පින්නවල මහතාගේ රාස්ස අසපුව කියන චිත්‍රපටවල රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. 

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ “ශෙල්ටන් මහත්තයාගේ” චරිතයට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයිවගේද?

ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන  කෝපි කඩේ ටෙලිනාට්‍යය ආරම්භයේ සිටම, මම එයට සම්බන්ධ වී සිටිනවා. ඇත්තටම ඉතින් “පොලී මුදලාලිගේ පුතා” වන ශෙල්ටන් මහත්තයාගේ චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

වර්තමානයේදී නිර්මාණවලට රංගන ශිල්පීන්ව තෝරා ගන්නේ නාළිකාවලට අවශ්‍ය ආකාරයටලු නේද?

ඔව්. එය මා විශේෂයෙන්ම පැවැසිය යුතුයි. චැනල්වලින් පටන් ගන්න බහුතරයක් ටෙලි නාට්‍යවලට නළු-නිළියන්ව තෝරා දෙන්නේ චැනල්වලින්ම තමයි. එය අද බහුලවම දකින්නට ලැබෙන තත්ත්වයක්. එය ඉතාම අසාධාරණයි. මොකද අප ඇතුළු බහුතරයක් ප්‍රවීණ රංගන ශිල්පීන්ට එමඟින් ලොකු අසාධාරණයක් සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කළ යුත්තේද අපිම තමයි. යම් නිර්මාණයක් වෙනුවෙන් යම් නාළිකාවකට අපව සම්බන්ධ කරගත් පසුව, “මේ රංගන ශිල්පියාව ගන්න එපා. මෙයාව අයින් කරන්න කියලා” අදාළ නාළිකාවෙන් කෙළින්ම නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් පිරිසට දන්වා සිටිනවා. එහෙම සිදුවූ තැන් අනන්තයි අප්‍රමාණයි.

රූගත කිරීමකට යන අතරතුරදී කෙදිනකවත් අමතක කළ නොහැකි දෙයක් සිදු වුණා නේද?

ඔව්. 2017 මාර්තු 15 වැනිදා “කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට යන අතරතුරදී දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. එයින් පසුව නැවත රංගනයට සම්බන්ධ වී දැන් අවුරුදු එක හමාරක් පමණ වෙනවා. එම අනතුරෙන් පසුව අවුරුදු ගණනාවක් යන තුරුම මා රංගනයට සම්බන්ධ වුණේ නැහැ.

එහිදී ඔබට රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් යම් සහනයක් ලැබුණේ නැද්ද? 

නැහැ. රජයෙන් කියා කිසිදු සහනයක් ලැබුණේ නැහැ. මම චිත්‍රපටවලින් කලාවට ආ නළුවෙක් නිසාවෙන් චිත්‍රපට සංස්ථාවෙන් රුපියල් 50,000ක මුදලක් ලැබුණා. එය මට අරගෙන දුන්නේ අනුර රත්නායක කියන මහතා. ස්වාධීන රූපවාහිනි නාළිකාවෙනුත් යම් මුදලක් ලැබුණා. ඇත්තටම ජීවිතය ගැටගසා ගත යුතු නිසා නැවතත් රංගනයට සම්බන්ධ වුණා. 

ඇත්තටම ඉතින් පාලකයන්ට සහ රජයට කඩේ ගිය යම් කලාකරුවන් පිරිසකුත් සිටිනවා නේ. ඒ අයට නම් මේ කාලයේදී පවා කිසිම ගැටලුවක් නැතිව ඇති. ඇත්තටම මම කිසිම අයකුට කඩේ ගිය කලාකරුවෙක් නොවේ. මම හම්බ කළොත්, මම කනවා. මම කෙළින් කතා කරලා කෙළින් වැඩ කරන කෙනක්. දැන් නම් ඉතින් රජය පැත්තෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. 

ඔබ කලාවට සම්බන්ධ වී දැනට අවුරුදු 35කට වැඩියි නේ. ඒ අතීතය ගැනත් යමක් කියමු?

ඔව්. 1985දී පමණ තමයි මම මේ ක්‍ෂේත්‍රයට ආවේ. ඒ කියන්නේ දැන් අවුරුදු 37ක් පමණ වෙනවා. මම පළමුවෙන්ම සම්බන්ධ වුණේ “කවුළුව” කියන සිනමා පටයට. ඉන්පසුව නීතියයි රූමතියයි සිනමා නිර්මාණයේ ලෝයර් කෙනකුගේ චරිතයක් කළා.

කලා ක්ෂේත්‍රය තුළ  වැඩි වශයෙන්ම ඔබ දායක වී තිබෙන්නේ “සටන් නළුවා, දුෂ්ටයා” වැනි චරිතවලට නේද?

ඇත්තටම මම සීනිබෝල නළුවෙක් නොවෙයි. මම යමක් කරනවා නම්, ඒ දේ ඇඟට දැනෙන්න සිදු කරනවා. කුඩා කාලයේදී, දිනක් මගේ පියා මාව පික්චර් එකක් බලන්නට එක්ක ගියා. එදා ඒ පික්චර් එක බලපු දවසෙදි, කළු, උස-මහත, හැඩි-දැඩි පුද්ගලයෙක්ව මම දුටුවා. 

එදා එලෙසින් පියා සමඟ මා නරඹලා තිබෙන්නේ “චණ්ඩියා” කියන පික්චර් එකයි. ඒ බව මා දැන ගත්තේ පසුකාලයේදී. එදා මා හැඩි-දැඩි පුද්ගලයකු ලෙසින් දැකලා තිබුණේ එච්.ඩී. කුලතුංග කියන ප්‍රවීණ රංගන ශිල්පියාව. මගේ ජීවිතයේ මා දුටු පළමු වීරයා මගේ තාත්තා. ඉන්පසුව කලාව තුළ මා දුටු වීරයා එච්.ඩී. කුලතුංගයි.

 මම ආස කරන මගේ රංගන ජීවිතයේ පරමාදර්ශී චරිතයත් ඔහුයි. තාමත් මා ආස කරන්නේ විලන් චරිත කරන්නයි. සීනිබෝල වගේ චරිතවලින් මට නම් ඇත්තටම වැඩක් නැහැ. ඔබලා වුණත් අද මේ විධියට මා සමඟ කතා බස් කරන්නේ, මම කළ දේ හරියාකාරව සිදු කළ නිසානේ. ඇඟට දැනෙන්න යමක් කරන්නයි එදා සිට මා උත්සාහ කළේ. සටන් ජවනිකාවක් සිදු කළත්, එය මගේ ඇඟට හොඳින් වදින ආකාරයට දැනෙන්නට සිදු කරනවා. ඒ මගේ ක්‍රමය.

සටන් නළුවෙක් කියන්නේම යම් ආකාරයකට ජීවිත අවදානමක් සහිතව කටයුතු කරන අයෙක් නේද?

අනිවාර්යෙන්ම ඔව්. එදා සිටම සටන් කලාව කියන දේ මගේ ඇඟේම තිබෙන දෙයක්. තිරය තුළදී බොහෝ විට මම නපුරු චරිත  රඟදැක්වුවද, සැබෑ ජීවිතයේදී මම නපුරු ආයෙක් නම් නොවෙයි. 

වර්තමාන ආර්ථික තත්ත්වය තුළ වෘත්තීමය මට්ටමින් කලාවේ නිතර වීම සිදු කළ හැකිද?

රංගනය කියන දේ වෘත්තීය මට්ටමින් තෝරා ගැනීම පිළිබඳව මා දැන් පසුතැවෙනවා. නමුත් කලාකරුවන් වශයෙන් අපට වෙනත් විකල්පයක් නැහැ. 

මොකද කලාව තුළින් තමයි අපි ජීවත් වන්නේ. යම් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් එයට සම්බන්ධවෙනවා. ඒ හැර කිසිදු අයකුට මම අතපාන්නේ නැහැ. එදා සිට අද දක්වා චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයකට දායක වී තිබෙනවා. ඒ අතර ප්‍රධාන චරිත, උප ප්‍රධාන චරිත, කුඩා චරිත මේ ආදී විවිධ ගණයේ චරිතවලට දායක වී තිබෙනවා. ටෙලි නාට්‍යය 37-38කට පමණ දායක වී තිබෙනවා. ඔය ටික තමයි ඉතින් තිබෙන්නේ. කෙදිනක හෝ මා නැතත් කපිල සිගේරා කියන නාමය ජනතාව අතර පවතීවි.

වේදිකාවත් සමඟ තිබෙන ගනුදෙනුව පිළිබ¼දව මතක් කළොත්?

කමල් තිලකරත්න මහතා සහ මම එකතු වී නිර්මාණය “සීතා මන් ආවා”. යළිත් එම නිර්මාණය ජනගත කරන්නට කතාබස් කරමින් පවතිනවා.

එදා ඔබ ඇතුළු පිරිස ප්‍රවීණයන් තුළ තිබූ කැපවීම, අද සිටින අලුත්  පරපුර තුළ දක්නට ලැබෙනවාද?

දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා කතාවකුත් තිබෙනවා නේ. ඒවගේ දැන් ඉන්න අලුත් පරපුරට කියන්න තිබෙන්නේ දැනගෙන රංගනයේ යෙදෙන්න. සෙට් එකේදී ෆෝන් එක ඕෆ් කරලා කරන වැඩේ හරියට කරන්න. මම නම් සෙට් එකකට ගිය පසුව සහාය අධ්‍යක්ෂවරයාට කතා කොට මගේ චරිතයට අදාළ දෙබස් ටික ඉල්ලාගෙන ඒ පිළිබඳව  පූර්ණ අවබෝධයක් ලබා ගන්නවා. එදා සිට අද දක්වාම මා තුළ තිබෙන්නේ “වන් ටේක්, වන් රිහර්සල් කියන” න්‍යායයි. “පොත්ත රතු වුවත්, ඔළුවක් නැති නම් එවැනි අයට මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නට බැහැ. නමුත් ඉතින් ඒ හැර වෙනත් ක්‍රම සහ විධිත් තිබෙනවා. එවැනි කෙටි ක්‍රමවලින් ඉදිරියට යන්න උත්සාහ කරන අයගෙත් ගමන කෙටියි. එය තමයි ඇත්තම කතාව.

පවුලේ විස්තරත් මතක් කරමු?

මගේ බිරිය මේනු සමන්මලී. ලොකු දුව නිවර්තනා අනුරුද්ධිකා සිගේරා, පොඩි දුව සොනාලි අනුරුද්ධිකා සිගේරා.