පරණ ඈයෝ මේවා කිව්වේ කට කහනවාටද?

0
188

අඟුරු, ඉඟිනි ඇට අපිරිසුදු බොර ජලයට දැම්මාම පිරිසුදු වෙනවාද?

අලුතෙන් ළිඳක් කැපූ පසු ප්‍රථම වතාවට පැමිණෙන ජලයට අඟුරු කැබලි ස්වල්පයක්,  ඉඟිනි ඇට, සුදු මල් ආදිය එක් කරන ආකාරය බොහෝ විට ඔබ දැක තිබෙනවා විය හැකියි.

අඟුරු අපිරිසුදු ජලයට යෙදූ විට වන්නේ කුමක්ද?

අඟුරු කියන්නේ දර දැවී යෑමෙන් ඉතිරි වන ශේෂයකි. මෙහි මූලිකම මූලද්‍රව්‍යය වන්නේ කාබන්. මීට අමතරව කැල්සියම්, මැග්නීසියම් හා යකඩ වැනි මූලද්‍රව්‍යද අඩංගු වේ.

අපිරිසුදු ජලය ගත් විට එහි කාබන් මූලික කරගත් කාබනික ද්‍රව්‍ය අන්තර්ගත වේ. ක්ෂුද්‍ර ජීවීන්, ෆ්ලෝරයිඩ්, කැල්සියම්, වර්ණක, විස රසායන, බැර ලෝහ, අම්ල හා වෙනත් ද්‍රව්‍යද අන්තර්ගත වේ. එවිට මෙම ජලයට අඟුරු කැබලි දැමූ විට ජලයේ තිබෙන කාබනික සංයෝග හා අඟුරුවල කාබන් අතර බන්ධන ඇතිවේ. එනම් මේ කාබනික ද්‍රව්‍ය අඟුරු කැබලි තුළට උරාගැනීම සිදුවේ. අඟුරුවල පවතින අනෙක් විශේෂතාව වන්නේ ප්‍රශස්ත මට්ටමින් උරා ගැනීමේ හැකියාවයි.

දැනට පවතින විශාලම ගැටලුව වන්නේ ජලයේ කඨිනත්වය හා කෘත්‍රිම ලෙස ක්ලෝරින් ජලයට  එක් කිරීමයි. එමඟින් ජලයේ පවතින කැල්සියම්, ෆ්ලෝරයිඩ් වැනි දේවල් උරා ගනු ලැබේ. විස හා වර්ණක පවා උරාගනු ලැබේ. මිනිසුන්ට මැග්නීසියම්, යකඩ, කැල්සියම් හා ෆ්ලෝරයිඩ් වැනි දේවල් අවශ්‍ය වන බව ඔබ දන්නවා. ඒ අනුව ජලයේ එවැනි මූලද්‍රව්‍ය හිඟතාවක් පවතී නම් අඟුරු හරහා එම අඩුව පුරවනු ලැබේ.

නමුත් සමහර අවස්ථාවන්හිදී අයන බර හා ධ්‍රැවීයතාව නම් සාධක සමඟ අඟුරුවලින් සමහර ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. එසේම ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීමේ හැකියාවද අඟුරුවලට නොමැත.

ඉඟිනි ඇට යෙදුවොත් මොකද වෙන්නේ?

අඟුරුවල මෙන්ම ඉඟිනි ඇට බොර වූ අපිරිසුදු ජලයට යෙදූ විට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී ජලය පිරිසිදු වන මට්ටමින් එනම් ජලය පැහැදිලි වේ. එසේම ඉඟිනිඇට බැර ලෝහ, අයන අවශෝෂණය කරගැනීමේ ඉහළ හැකියාවකින් යුක්ත වේ. ජලයේ කඨිනත්වය පවා සැලකිය යුතු මට්ටමකින් අවම කරගැනීමේ හැකියාවක්ද පවතී. ඒ සඳහා ඉඟිනි ඇටවල පවතින ‘හයිඩේ‍රාසිල්’ හා ‘ඒමයිඩ්’ වැනි ක්‍රියාකාරී කාණ්ඩ හේතුවේ.

ඔබ අතීත වැසියා මෙවැනි අදහස් යථාර්ථවාදී ලෙස ක්‍රියාත්මක කොට ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඒවායේ පවතින ඥානාන්විත බව පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. අතීතයේ හෙළ හා ආයුර්වේද ප්‍රබල ඔෟෂධයක් ලෙස ‘ඉඟිනි’ භාවිත වී ඇත. විශේෂයෙන් වැව් ආශ්‍රිතව මෙවැනි ගස් සිටුවා ඇත. එයට ප්‍රධානතම හේතුව නම් ඉඟින් ඇට වැව් ජලයට වැටුණු විට ඒ ජලය පිරිසුදු වන බව ඔවුන් අත්දැකීමෙන් දැන සිටීමයි. එමෙන්ම ඉඟිනිවලට කියන තවත් නමක් වන්නේ ‘නිර්මලි.’ ඒ නමේ තේරුම නිර්මල, පිවිතුරු, පවිත්‍ර, පිරිසුදු වැනි අර්ථයක්. එහි කාර්යයත් එයම වේ.

පුරට ගස් කැපුවොත් දැව ගුල්ලෝ ගහනවද?

‘පුර’ යනු පිරීම වේ. එසේත් නැත්නම් වැඩි වීමකි. මෙහි සඳහන් වන්නේ කුමන සිද්ධියක් ආශ්‍රිත ‘පුර’ ද යන්න සොයා බැලිය යුතුය. මෙහි සඳහන් වන්නේ චන්ද්‍රයාගේ ‘පුර’ වේ. එසේත් නැත්නම් සඳ මෝරන කාලයයි. චන්ද්‍රයා ‘ආලෝකවත්’ වී පෙනෙන වර්ගඵලය දිනපතා වෙනස් වන බව අප දන්නා කරුණක්. සූර්යයා, පෘථිවිය හා චන්ද්‍රයාගේ පිහිටීමේ සාපේක්ෂ කෝණය එයට හේතුව වේ. එකම වර්ගඵලය පෙනෙන්නේ මාසයකට දින 2දී පමණයි. ඒ පුර හා අව එහෙමත් නැත්නම් අඩුවන කාලයයි. උදාහරණ ලෙස එය පුර අටවක හා අව අටවක ලෙස වේ.

නූතන විද්‍යාව තුළින් සනාථ කළ සිද්ධියක් වන්නේ වඩදිය හා බාදිය ඇති වීමට චන්ද්‍රයා බලපෑම් කරන බවයි.  ඒ සඳහා ‘ගුරුත්වය’ මාධ්‍යය විදිහට යොදා ගන්නා බවද කියැවේ. නමුත් චන්ද්‍රයා බලපෑම් කරන තවත් සිදුවීම් පෘථීවිය මත සිදුවේ. ඒවාට ගුරුත්වය පමණක් බලපානවා කියලා සිතන්නට අපහසුයි. උදාහරණ ලෙස මෙම සිදුවීම් අධ්‍යයනය කරන්න.

භූමි කම්පා, සුනාමි, ගිනි කඳු පිපිරීම්, වර්ෂාව සඳහා උත්ප්‍රේරණය ඇතිවීම.

මානසික චංචල බවට

ඇදුම හා සෙම් රෝගවලට

භූගත ජල මට්ටම් ඉහළ දැමීම.

මෙහිදී අදාළ බලපෑම් පුර කාලයේදී වැඩි වෙමින් පසළොස්වක දින උපරිම වීමත් අව කාලයේදී අඩු වෙමින් අමාවක දින අවම වීමත් සිදුවේ. නමුත්  මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුවේ. ‘ගුරුත්වය’ එකම බලය ලෙස සැලකුවහොත් උදම්වලට අමතරව පසළොස්වක දිනවලට හා ඒ ආශ්‍රිත දිනයන්හිදී අනෙක් දිනවලට සාපේක්ෂව වැඩි ජල පරිමාවක් ශාක තුළ රැඳීම සිදුවේ. ජනශ්‍රැතියෙන් පැමිණෙන කාරණාවක් වන්නේ ‘පුරට’ ගසක් කැපුවොත් මේ ගසේ ජලය ප්‍රතිශතය වෙනත් දවසක කපන ශාකයක ජලය ප්‍රතිශතයට වඩා වැඩි බවයි. මෙය අතීත වැසියා අත්දැකීමෙන්ම දන්නා දෙයකි.

උළුවස්ස, ජනේලය, ‍ෙදාර, වහලය මේ ඕනෑම දේකට දැව යොදා ගැනීමේදී ශාකයක ‘අරටුව‘ භාවිත කිරීම වාසියකි. ගසක ‘එලය’ නොගන්නේ ශක්තිමත් බව අඩු නිසාත් ගුල්ලන් විදීමට තිබෙන වැඩි ඉඩකඩ නිසාත් වේ. නමුත් ජලය වැඩි නම් කැපූ ගසේ අරටුවේ වුවද ගුල්ලකුට විදීම පහසු කාර්යයක් විය හැකිය. මක් නිසාද යත් ජලය නිසා දැවයේ දෘඨ ගතිය දුර්වල වීම ගුල්ලා වැනි දැව ආශ්‍රිතවම ජීවිතය ගෙවනා සත්ත්වයකුට ඉතා වැදගත්. නමුත් ගුල්ලෙක් ලීයකට විදීම එකම කාරණය ලෙස ‘පුර’ ට ගස් කැපීම නොවේ. මෙහිම විලෝමය ලෙස ‘අව‘ හිදී ගසක් කැපූ විට එහි ගුල්ලෝ විදීම නැති වීමක් නොවේ. සිදුවන්නේ අවම වීමයි. නමුත් වර්තමානයේදී මෙවැනි කරුණු කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකෙරේ. කෙසේ වෙතත් පැරැන්නන් ඉහළ ඥානයකින් හෙබි වූ බව නම් නොරහසකි.

වෙරළු ගෙවල් ඇතුළේ තැම්බීම අසුබද?

මෙවැනි කතාවක් ඔබ අසා ඇති. වයසක උදවිය නිතර මෙවැනි කතාවක් කියනවා ඔබට මතක් වනු ඇත. නමුත් එයට හේතුව කුමක්ද? වෙරළුවලින් ආම්ලික වායුවක් පිටවේ. මෙම ආම්ලික හුමාලය නිසා ඇදුම හා හතිය වැනි ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ට තම රෝග උත්සන්න වීම සිදුවේ.

වෙරළුවල ඇට ඉතා සවිමත් බව සියල්ලෝම දනිති. මේ හේතුවෙන් තැම්බීමේදී වෙරළුවල ඇට ඉතා දිගු කාලයක් තැම්බීමට සිදුවේ. විද්‍යාත්මකව සැලකූ විට ‘නයිට්‍රස් ඔක්සයිඩ්’ නම් අහිතකර ආඝ්‍රාණයට නුසුදුසු වායුව වෙරළු තැම්බීමේදී පිට වේ. එම වායුවට දිගු කාලයක් නිරාවරණ වීමේදී මොළයට හානි සිදුවීම හා ඇදුම, හතිය ඇති රෝගීන්ට රෝග උත්සන්න වීමක් සිදුවේ. ව්‍යවහාරයට අනුව වෙරළු ගෙඩි තැම්බීමේදී පැළී යැම සිදුවේ. මෙම පැළී යෑමේදී සේම දිගු වේලාවක් තැම්බිමේදී අහිතකර වූ ‘නයිට්‍රස් ඔක්සයිඩ්’ වායුව දිගු කාලයක් නිවෙස පුරාම පැතිරීමක් සිදුවේ. මේ හේතුවෙන් පැරණි නිවාසයන්හි ස්වරූපය වෙනස් වී මට එය හේතුවක් වී ඇති බව පැහැදිලිය.

කළයට ජලය ගැනීමේදී ජලයේ මතුපිටින් ගත්තොත් සුබද?

අතීතයේදී බොහෝ විට ජනතාව තම අවශ්‍යතා සඳහා ජලය ලබා ගත්තේ වැව් හා ගංගාවලිනි. ඒ අතර ප්‍රධාන වශයෙන් පානය කිරීමට සහ ආහාර පිසීමට ජලය ලබාගත්හ. එහිදී බොහෝ විට කාන්තාවෝ කළයක් රැගෙන ගොස් වැව් පොකුණු ආදියෙහි මතුපිට ජලය පාදා මතුපිටින් පමණක් ජලය ලබාගත්හ. විද්‍යාත්මකව එයට යම් සාධාරණ හේතුවක් පවතින බව ඔබ දන්නවාද? ජලය යනු බොහෝ ආගන්තුක ද්‍රව්‍ය දියවී ඇති මාධ්‍යයකි. මෙහිදී වූ පාංශු තුළ ඇති විවිධ මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දියවී ඇත. කොපර්, යකඩ, ආසනික්, සිලිකන්, කැල්සියම්, ලෙඩ්, කැඩ්මියම් වැනි ඛණිජ ලවණ ආදිය ඉන් කිහිපයකි.

මෙම මූලද්‍රව්‍යයන් අතරින් අයන්වලට නිශ්චිත බර ප්‍රමාණයක් පවතී. බැර ලෝහ පිළිබඳ පාසල් සමයේදී ඇතැම් විට ඔබ අසා ඇත. කැඩ්මියම්, ලෙඩ් වැනි මූලද්‍රව්‍ය මෙයට උදාහරණ ලෙස ගත හැකිය. ඒ අනුව බොහෝ විට මෙවැනි බැර ලෝහ ලෙස සලකන මූලද්‍රව්‍යයන් අතර අයන බරින් වැඩිය. ඒ අනුව මෙම අයන බොහෝ විට වැවක හෝ ජලාශයක වේවා නිවෙසක ළිඳක පවා පතුල ආශ්‍රිතව පවතී. නමුත් ජලය මතුපිට ආශ්‍රිතව අයන පවතිනවා අඩුය. ඒ අනුව ජලය මතුපිටින් ගැනීමේදී මෙවැනි අහිතකර  බැර ලෝහ ශරීරගත වීම අවම වේ. පැරැන්නන් ඉතා හොඳින් මේ බව දැන සිටි බව පෙනේ. නමුත් වර්තමානයේදී අප මේ ආකාරයෙන් කටයුතු කරනවාද? අද වන විට නිවෙසේ ළිඳෙන් ජලය පොම්ප කරනුයේ ළිං පතුල ආශ්‍රිතවය. එම ජලය නිවෙසේ ඇති ටැංකියක තැන්පත් කොට භාවිතයට ගන්නේද එලෙසින්මය. ඒ අනුව අද අප පැරැන්නන් එදා සිදුකළ ක්‍රියාවෙහි විලෝමය සිදුකරන බව ඔබට පැහැදිලි වනවා ඇත.

රවිඳු බණ්ඩාර