නිවැරදි ජීවන චර්යාවකට මඟ කියන දස වැදෑරුම් පනත

0
56

බුදු දහමත් හින්දු දහමත් අතර තිබෙන්නේ ඉතාමත්ම සමීප බැඳීමකි. එම නිසාම බෞද්ධයන් වන අපට මනා සම්බන්ධතාවක් හින්දු ආගමිකයන් සමඟ පැවැත්විය හැකිය. අප රටේ ජීවත් වන බොහොමයක් දමිළ ජනතාව හින්දු භක්තිකයන් නිසා ආගමික සහජීවනයට පමණක් නොව ජාතික සහජීවනයටද එය ඉතා වැදගත් වේ.


ලොව පැරණිතම ආගම වන්නේ හින්දු ආගමයි. එය සනාතන ධර්මය ලෙසද හඳුන්වනු ලබයි. වසර තුන්දහසක් පමණ පැරණි හින්දු ආගම බිහිවී ඇත්තේ බුදු දහම බිහිවීමට වසර පන්සියයකට පමණ පෙරය. ලොව පුරා බිලියනයක් පමණ හින්දු භක්තිකයන් සිටින අතර බුදු දහමේ මෙන්ම හින්දු දහමේද උත්පත්තිය සිදු වන්නේ ඉන්දියාවේය. එමෙන්ම හින්දු ආගම අවිහිංසාව මුල් කරගත් දහමකි. බොහෝ හින්දු භක්තියන් මස් මාංස අනුභව නොකරන අතර සත්ත්ව ඝාතනයද නොකරයි.

හින්දු ආගමෙහි විශේෂත්වය වන්නේ අන් ආගම්වලට මෙන් ආගමික නායකයකු නොමැති වීමයි. ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථය භගවත් ගීතාව වන අතර එහි වැකි හත්සියයක් පමණ අඩංගු වේ. බුදු දහම නිර්වාණය කේන්ද්‍ර කොටගෙන ඇති අතර ක්‍රිස්තියානි බැතිමතුන් ස්වර්ගය වෙනුවෙන් කැපවෙයි. එහෙත් හින්දු ආගමිකයන් වෙහෙසෙන්නේ මෝක්ෂය ලබා ගැනීමටයි. එයින් අදහස් වන්නේ නැවත උත්පත්තියක් නොලබා ඉහළම ආත්මය සමඟ එක්වීමයි. මෙහිදී ඔවුන් විශ්වාස කරන්නේ මහා බ්‍රහ්මයන් ලොව පාලනය කරන ඉහළම ආත්මය බවයි.


බුදු දහම මෙන්ම හින්දු දහමද ආමිස පූජාවලට මුල් තැනක් ලබාදෙනු ලබයි. ප්‍රතිමා වන්දනය මෙම ආගම් දෙකෙහිම සමාන ලක්‍ෂණයකි. බුදු දහම පාලි භාෂාව ආශ්‍රිතව පිළියෙල වූ අතර හින්දු දහම සංස්කෘත භාෂාවෙන් අලංකෘත වී ඇත. බෞද්ධ ආගම්හි පන්සිල්, අටසිල් සහ ක්‍රිස්තු ධර්මයේ දස පනත මෙන් හින්දු ආගමේද දස වැදෑරුම් පනතක් ඇත. එයින් පෙන්වා දී ඇත්තේ හින්දු දහමට අනුව කළ යුතු, නොකළ යුතු දේවල්ය. එයින් පළමු කරුණ වන්නේ සත්‍යයයි. සෑම විටම සත්‍ය ප්‍රකාශ කරන්න. සෑම විටම සත්‍ය වචනයෙන්ම පිළිතුරු ලබා දෙන්න යන එම දස වැදෑරුම් පනතේ මුල් කරුණයි.
දෙවැනි කරුණ වන්නේ අහිංසායි. එනම් සත්ත්ව හිංසනයයි.

සතුන් නොමැරීම, කිසිවකුට හිංසා නොකිරීම යන අදහස මෙයින් ගම්‍ය වෙයි. බුදු දහමේදී පන්සිල් පද පහෙහි මුල්ම කරුණ වන්නේ සත්ත්ව හිංසාව පිළිබඳවයි. මෙයට හොඳම උදාහරණය වන්නේ හින්දු ආගම විසින් ගවයා උසස් කොට සැලකීමයි. හින්දු ආගමෙහි ගවයා පූජනීය හෝ ඉහළ ගෞරවයක් ලෙස සැලකේ. හින්දු භක්තිකයන් ගවයන්ට නමස්කාර කරන්නේ නැත. ඔවුන් ගරු කරති. එක් හින්දු දේවතාවියක් සාමාන්‍යයෙන් එළදෙනකු ලෙසද නිරූපණය කරයි. හින්දු සම්ප්‍රදායට අනුව ගවයාට වන්දනාමාන කිරීම, අලංකාර මල්මාලා දැමීම, ඉන්දියාව පුරා උත්සවවලදී විශේෂ සංග්‍රහ ආදිය ගවයාට ලබාදෙනු ලබයි. එයින් එකක් ලෙස ක්‍රිෂ්ණා සහ ගවයන් වෙනුවෙන් කැප කරන ලද වාර්ෂික ගෝපාස්තාම් උත්සවය හැඳින්විය හැකිය. හින්දු දහමෙහි ගවයාට ගෞරව කිරීම මඟින් මිනිසුන්ට ගුණවත්කම, නිහතමානීකම සහ ස්වභාවධර්ම සමඟ සම්බන්ධතා පැවැත්වීම වැනි ගුණධර්ම උගන්වනු ලබයි.


තුන්වැනි කරුණ ලෙස දසවැදෑරුම් පනතෙහි දක්වා ඇත්තේ බ්‍රහ්මචාරී යන්නයි. එනම් කාම සේවනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම යන්න එහි තේරුමයි. සිවුවන කරුණ වන්නේ අස්තෙයා යන්නයි. එනම් අනුන් සතු දේ ගැනීමෙන් වැළකීම සහ සිතින්වත් කෙනකුගේ යමක් ගැනීමට නොසිතීමයි. පස්වන කරුණ ලෙස අපරිග්‍රහ දක්වා ඇත. එහි තේරුම වන්නේ තණ්හාවෙන් හා දූෂණයෙන් වැළකී සිටීමයි. එය භගවත් ගීතාවෙහි මෙසේ දක්වා ඇත.
කාම කේ‍රාධ විමුක්තානං – යාතීනාං යත චෙතසාම්
අභිතො බ්‍රහ්මනිවාණං – වත්තේ විදිතාත්මනාම්
(කේ‍රා්ධයෙන් හා සියලු භෞතික ආශාවන්ගෙන් මිදුණා වූද, ආත්මය අවබෝධ කර ගත්තා වූද ආත්ම සංයමයෙන් යුක්ත වූද සංසිද්ධිය සඳහා නිරන්තරයෙන් උත්සහවත් වූද, සාධුවරයන්ට පරම ශේ‍ර්ෂ්ඨයාණන් තුළ නුදුරු අනාගතයේදීම විමුක්තිය අත්පත් වන බව නියතය.)
(ශ්ලෝක අංක : 5.26)
දස වැදෑරුම් පනතෙහි හය වන කරුණ ලෙස දක්වා ඇත්තේ සෞචා යන්නයි. සිත සහ කයෙහි පවිත්‍රතාවය යන්න මෙයින් අදහස් වේ. මෙය භගවත් ගීතාවෙහි දක්වා ඇත්තේ,
න ප්‍රභෘෂේ‍යත් ප්‍රියං ප්‍රාප්‍ය
නොද්විජෙත් ප්‍රාප්‍යවා ප්‍රියම්
ස්ථිර බුද්ධි රසම්මුඪො
බ්‍රහ්මවිද් බ්‍රහ්මණි ස්ථිාත:
(ප්‍රිය මනාප දෙයක් ලැබීමෙන් ප්‍රහර්ෂයට පත් නොවන, අප්‍රිය වූ දෙයක් ලැබීමෙන් කනස්සලු නොවන, ආත්ම බුද්ධියෙන් යුත්, නුමුළා වූ, දේව විද්‍යාව දත් පුද්ගලයා අලෞකික තත්ත්වයෙහි පිහිටියෙක් වෙයි.)
(ශ්ලෝක අංක 5:20)
හත්වන කරුණ වන්නේ සන්තොෂ් යන්නයි. එනම් ලද දෙයින් සතුටු වීමයි. එය සෑම ආගමකම උගන්වන දහමකි. භගවත් ගීතාවෙහි අපූරු ශ්ලෝකයකින් මෙය විග්‍රහ කර ඇත.
නාස්ති බුද්ධිරයුක්තස්‍ය
න චායුක්තස්‍ය භාවනා
න චාහාවයත
ශාන්ති රශාන්තස්‍ය කුත : සුබම්
(තෘෂ්ණානුස්මෘති විඥානයෙන් භගවත්හු සමඟ සම්බන්ධය ඇති කර නොගත් තැනැත්හුට ලෝකොත්තර බුද්ධිය හෝ එකඟ වූ සිතක් හෝ ලැබිය නොහැක්කේය. මේ සාධක නැති විට චිත්ත සමාදානයක් නැත. චිත්ත සමාදානයක් නැත්තහුට සැපයක් නම් කොයින්ද?)
(ශ්ලෝක අංකය 2.66)
අටවන හා නව වැනි කරුණෙන් දක්වා ඇත්තේ ස්වාධියා, තපා, සාධනා යන්නයි. එහි තේරුම වන්නේ භගවත් ගීතාව වැනි ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීම, නියමිත ලෙස ආගමික කටයුතුවල යෙදීම, පැවරුණු වැඩ කොටස නිසි ලෙස ඉටු කිරීම මෙයින් දක්වා ඇත.


අන් ආගම්වල මෙන්ම හින්දු ආගමෙහිද කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව ධර්ම කරුණු මඟින් සනාථ කර ඇති අතර සෑම ආගමකින්ම අපට ලබාදෙනු ලබන්නේ යහපත් ආදර්ශයක් බව මෙම ලිපියෙන් පැහැදිලි වෙයි.
එබැවින් කිසිම ආගමක සත්‍ය ධර්මයන් බැහැර නොකරන්න. ඔබට ජීවිතයට ලබාගත හැකි දෙයක් තිබේ නම් ආගම්භේද නොසලකා යහපත් ආදර්ශ සෑම ආගමකින්ම ලබා ගන්න. එවිට ඔබ යහපත් ගුණවත් කෙනකු වූ විට ඔබගේ ආගම කුමක්දැයි නොඅසා ඔබේ ගුණ බොහෝ පුද්ගලයන් පවසනු ඇත.


සචිනි බස්නායක