නිර්මාණ පිරිවැය දෙගුණයක් වුණාටනාළිකාවලින්නිර්මාණවලටදෙන මිල නම්වැඩිවෙලා නැහැ

0
44

ඔබේ නවතම නිර්මාණය වන පිතෘෘ නිර්මාණයත් සමඟ මේ දිනවල වැඩකටයුතු සකස් වෙන්නේ කොහොමද?

මේ වනවිට පිතෘෘ නිර්මාණයේ රූගත කිරීම් අවසන් කරලයි තිබෙන්නේ. මම කොහොමත් දිගින් දිගට ඇදෙන නිර්මාණ කරන්නේ නැහැ. එහෙම කළාම එය නිර්මාණයේ රසවත් බවට හානියක්. ඉතින් මේ දවස්වල නිර්මාණයේ සංස්කරණ කටයුතු සිදු කෙරෙනවා. මේ නිර්මාණය සංස්කරණය කරන්න ජගත් වීරතුංග මා සමඟ සහසම්බන්ධ වෙනවා. ජගත් කියන්නේ මගේ සංස්කරණ කටයුතු කරලම, මට අවශ්‍ය රිද්මයත් ප්‍රකාශන රීතියත් හොඳින් හ¾දුනන කෙනෙක්. කොහොම වුණත් ‘පිතෘෘ’ නිර්මාණය සඳහා මේ දිනවල හොඳ ප්‍රතිචාර තිබෙනවා.

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ඔබ ඔබේ ගමන අරඹා පසුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න හේතු සාධක වුණු කාරණා මොනවද?

ඔව්. මම සාගරයක් මැද, මාරුතය වැනි චිත්‍රපට මුලදී නිෂ්පාදනය කළා. සාගරයක් මැද නිෂ්පාදනය කරනවිට මට වයස අවුරුදු 27යි. නමුත් මම අධ්‍යක්ෂණයේ ව්‍යාකරණ හදාරන්න අවස්ථාව කරගත්තේ රූපවාහිනි මාධ්‍ය. එහෙම හදාගත්ත දැනුම වැඩිදුරටත් අභ්‍යාස කළෙත් මගේ නිර්මාණ තුළින්මයි. ඉතින් අපේ රටේ සිනමා නිර්මාණයක් කරලා වියදම පියවගන්න එක අපහසු බව තේරුම්ගත් දිනයේ සිට තව තවත් රූපවාහිනි නිර්මාණ කරන්නම මම පෙලඹුණා. රසවත් රූපවාහිනි නිෂ්පාදනවලට නාළිකාවලින් ඇති ඉල්ලුම නිසා ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් ආරක්ෂා වෙනවා. නමුත් චිත්‍රපට නිෂ්පාදකයන් හරිම අනාරක්ෂිතයි. ඒ බව මගේ සිනමා නිෂ්පාදනය හරහාම මම ඉගෙන ගත් නිසා මම වඩා ආරක්ෂිත ක්‍රමයට පෙලඹුණා. අද වෙනකොට සිනමා අධ්‍යක්ෂණයක් කරන්න මට ලොකු කැමැත්තක් තිබුණත් අර අනාරක්ෂිත හැඟීම දැනෙන කොට මම ඒ වැඩේ තවමත් පමා කරනවා.

දිවයිනේ සිදුවන විදුලි කප්පාදුව නිසා කලාවේ අයටත් විශාල බලපෑමක් තිබෙනවා. කලාකරුවෙක් ලෙස ඔබ මේ ගැටලුව අර්ථකථනය කරන්නේ කොහොමද?

අදටත් මම විදුලි කප්පාදුවේ විපාකය විඳිනවා. මට සංස්කරණ මැදිරියේ වැඩ තිබෙන වෙලාවට විදුලිය කප්පාදු කළාම, එහෙමත් නැත්තම් සංස්කරණ කටයුතු සිදුකරද්දී විදුලි කප්පාදුව සිදු කළාම, මගේ වැඩ අතරමඟ නවත්වන්න වෙනවා. රූගත කිරීමක් නම්, විදුලිය එනතුරු බලාගෙන ඉන්න වෙනවා. අපතේ යන්නේ කාලය විතරක්ම නොවෙයි අපේ කිසියම් මුදලකුත් අපතේ යනවා. එහිම තවත් පැත්තක් තමයි අපේ නාට්‍ය විකාශය වන වෙලාවට විදුලිය විසන්ධි  වුණොත් ප්‍රේක්ෂකයන් වුණත් කලකිරීමට පත්වෙනවා. අවසානයේ ඔවුන්ට ඉතුරු වෙන්නේ YouTube නැරඹීම පමණයි. එයත් දුර පැතිවල ඉන්න සමහර ප්‍රේක්ෂකයන්ට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අනෙත් වැදගත්ම දේ දුරකථනයෙන් නරඹන්න නෙමෙයි මේ නිර්මාණ හැදෙන්නේ. ප්‍රමාණයෙන් විශාල පුළුල් තිරයක නිර්මාණ නැරඹීම තමා රසවත් වෙන්නේ.

හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩිම වාරයක් සම්මාන දිනා ඇත්තේ ඔබ. මෙරට සම්මානනීයම ටෙලි අධ්‍යක්ෂවරයා ලෙස ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ගැන ඔබේ කියවීම කුමක්ද?

හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වැඩිම වාරයක් සම්මාන දිනාගන්නට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම තමයි සම්මානවලින් අගය ලැබීම වගේම ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය, ගෞරවය දිනා ගැනීමට හැකිවීමත් මම ලබපු විශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කිව යුතු දේ වෙන්නේ එය නිකන්ම සිදුවූ දෙයක් නොවෙයි. මම හැම මොහොතකම නිර්මාණ කළේ මනුෂ්‍යත්වයට ගෞරවයෙන් වගේම ප්‍රේක්ෂක රසවින්දනය වඩා උසස් තැනකට ගෙන යෑමේ අරමුණින්. එය තමයි මට එතැනට එන්න හේතු සාධක වුණු කාරණාව වුණේ. වර්තමාන ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය ගැන කතා කළොත් මම සිතන්නේ දවසින් දවස මේ හැම ක්‍ෂේත්‍රයකටම බලපෑම් ඇති වෙනවා. මූල්‍යමය ගැටලු මතුවෙනවා. නමුත් ප්‍රායෝගිකව, කාලෝචිතව ඒවාට විස¾දුම් සොයනවා හැර, කිසිම විටක නිර්මාණයේ තත්ත්වය බාල කිරීමක් සිදුනොකළ යුතුයි. නවක පරපුර අතින් හොඳ නිර්මාණ එළියට එනවා. නිර්මාණයේ තත්ත්වය බාල නොකරන එවැනි නිර්මාණකරුවන් ගැන මම සතුටු වෙනවා.

නිර්මාණවලට චරිත තෝරා ගැනීමේදී ඇතැම් අධ්‍යක්ෂවරු පෞද්ගලික හිතමිත්‍රකම් මත අවස්ථා දීම සම්බන්ධව විවිධ අර්ථකථන තිබෙනවා. මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද? 

පෞද්ගලික දැන හැ¾දුනුම්කම් මත ශිල්පීන් තෝරා ගැනීම ප්‍රශ්නයක් වන්නේ පෞද්ගලික හේතු මත, චරිතයට නොගැළපෙන, දක්ෂතාවක් නැති ශිල්පීන් තෝරා ගතහොත්. මගේ නිර්මාණවලදී නම් මූලික වෙන්නේ රංගන ශිල්පියා සහ දක්ෂතාව. ඒ හැර මගේ නිර්මාණ ගැන වැටහීමක් තිබිමත්, දර්ශන තලයේ ඉන්න මා ගැන වැටහීමත් සහ විශ්වාසයත් මට වැදගත්. නවකයෙක් තෝරා ගතහොත් මම ඔවුන්ගේ දක්ෂතාවත් දර්ශන තලයේදී ගෞරවනීයව හැසිරීමත් මම බලාපොරොත්තු වෙනවා. මොකද සාර්ථක නිර්මාණයකට එකිනෙකා අතර ගෞරවය සහ  හ¾දුනා ගැනීම හරිම වැදගත් වෙනවා.

ඔබේ වයස් සීමාව කුමක් වුණත් ඔබ කළ බොහෝ නිර්මාණ වැඩිපුරම වැලඳගත්තේ තරුණ ප්‍රජාව. ඔබට පහළ සිටින පරම්පරාවකට ආකර්ෂණීය ලෙස ආමන්ත්‍රණය කරමින් ඔබ generation gap එක කියන දේ පුරවාගන්නේ කොහොමද?

මම ශාරීරිකව වයසින් වැඩිවුණත්, මනසින් තරුණව සිතන කෙනෙක්. අලුත් විධියට දේවල් දිහා බලන කෙනෙක්. අනෙක් දේ මම අහසින් වැටිලා වගේ නිර්මාණ කරන්නේ නැහැ. තාරුණ්‍යයට ගැළපෙන, ඔවුන්ට වැදගත් දේ කුමක්ද කියන දේ සම්බන්ධව මම දැනුවත් වෙනවා. ඒ වගේම අවබෝධය ලබා ගන්නවා. හද්ද ගමේ වගේම කොළඹ 07 සංස්කෘතිය ගැනත් මට හොඳ අවබෝධයක් තිබෙනවා. හැම පොළොවකම මම ඉඳලා තිබෙනවා. ඉතින් මම සිතන්නේ ඔය කියන වැඩේ කරන්න අවශ්‍ය සාමාජීය දැනුමින් මම සන්නද්ධයි. අනෙක් වැදගත්ම දේ තමයි මට කලාකරුවෙක් විධියට කලා ක්‍ෂේත්‍රය ගැන දැනුමක් තිබෙනවා. ඒ දැනුම මම ඕනෑම නිර්මාණයක් කරනවිට අනිවාර්යයෙන්ම භාවිත කරනවා. ඉතින් ඔන්න ඔය වගේ සියලු කාරණා එක්ක තමයි ඔබ ඔය කියන generation gap එක සම්පූර්ණ වෙන්නේ.

සමාජ ප්‍රශ්නයක් ගෙනහැර දක්වන කලාත්මක ධාරාවේ ටෙලි නිර්මාණ සඳහා දැන් දැන් තාරුණ්‍යයේ වැඩි ඉල්ලුමක් ඇත්තේ ඇයි?

සමාජ ප්‍රශ්නයක් ගෙනහැර දක්වන කලාත්මක ධාරාවේ නිර්මාණ කරන්න මම ඉතා කැමැතියි. පසුගිය කාලය පුරාවටම එහෙම නිර්මාණ කරන්නට හැකිවීම ගැන මම සතුටු වෙනවා. මම කැමැතියි එකිනෙකට වෙනස්, කතා මාලා එක්ක නිර්මාණකරණයේ යෙදෙන්න. මේක මගේ වෘත්තිය වගේම සමාජයට යහපත් අදහස් මුදාහරින්නත් පුළුවන් මාධ්‍යයක් විධියටයි මම දකින්නේ. කොහොම වුණත් මේ රටේ තරුණ ප්‍රජාව වෙනස් වෙන්න කැමැතියි. අකැමැති අයත් ඒ අතරේ ඉන්න පුළුවන්. විශේෂයෙන් කලින් කලට අපේ රටේ ඇති වෙන දේශපාලන හරඹ, වෙනස් විධියකට ජීවිතය දකින්න තරුණ ප්‍රජාව පොලඹවනවා. ඒ නිසාම වෙනස් විධියට ජීවිතය හ¾දුනා ගන්න හැකි නිර්මාණවලට ඔවුන් බැ‍ෙ¾දනවා. ඒ ගැනත් මට තිබෙන්නේ විශාල සතුටක්.

රූගත කිරීම් අතරතුරදී මුහුණ දෙන්නට සිදුවන අකටයුතුකම් සම්බන්ධව ඔබ පසුගිය කාලයේදී කතා කළා නේද?

ඔව්. ඒ සම්බන්ධව නම් ඕනෑතරම් අත්දැකීම් තිබෙනවා. මේ මෑතකදිත් එහෙම අකටයුත්තක් සිදුවුණා. ටෙලි නාට්‍ය රූගත කිරීමකට අපි එක්තරා මහ නගර සභාවක් තෝරාගත්තා. ඒ මහ නගර සභාවේ උඩ තට්ටුව තමයි එහි සභාපතිගේ සහ ලේකම්ගේ අනු දැනුම යටතේ අපි ෂූටින්වලට තෝරගත්තේ. නමුත් මොහොතක් ගත වනවිට එතැනට නගර සභා මන්ත්‍රිලා වගයක් ඇවිත් ලොකු ලෙඩක් ඇද්දා. කුණුහරුප කියමින් අපි කරගෙන ගිය වැඩේට බාධා කළා. අවසානයේදී අපට වැඩේ නතර කරන්න වුණා. එතැනට පොලිසියත් ආවා. මම සිතන්නේ ඔවුන් පස්සේ තමයි තේරුම් ගත්තේ ඔවුන් කරපුදේ වැරදියි කියලා. ඒ දවස අපි පාඩු ලබපු දවසක් කිව්වොත් මම නිවැරදියි. මොකද අපේ රූගත කිරීම්වල අත්‍යවශ්‍යම කොටසක් තමයි එදා කරගන්න බැරිවුණේ. අපි කරුණු සොයා බලද්දී පසුව නම් අනාවරණය වුණේ එය අදාළ මහ නගර සභාවේ ප්‍රධානීන් සමඟ තිබූ ප්‍රශ්නයක් පිටින් යවපු ක්‍රියාවක් කියලයි. කොහොම වුණත් මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා ගැන මට තිබෙන්නේ ලොකු කනගාටුවක්.

මෙරට ජනප්‍රියම ඒකාංගික ටෙලි නිර්මාණයක් වන ‘සංසාරේ පිය සටහන්’ නිර්මාණයේ අධ්‍යක්ෂවරයාත් ඔබ. මෙරට ඒකාංගික ටෙලි නාට්‍ය සඳහා ඇති වෙළෙඳපොළ කුඩා වීමට ඔබ දකින හේතු මොනවාද?

ඒකාංගික නාට්‍යවලට තිබුණු පුරුද්ද දැන් ටික ටික නරඹන්නන්ගෙන් අෑත් වෙලා කියලා මට සිතෙන්නේ. ඇත්තෙන්ම ඒකාංගික නාට්‍යවලත් රසවත් ඒවා තිබෙනවා. ඒත් කොටසින් කොටසට අලුත් කතා පිටපත් ලිවීම ටිකක් දුෂ්කරයි. කතාවෙන් කතාවට වෙනස් පසුතල, ඇ¾දුම් පැල¾දුම් වෙනස් කරන්න තරමක් කරදරයි. ඒකාංගික ටෙලි නාට්‍යයක් කරනවිට වියදමත්  සාපේක්ෂව වැඩියි. ඒ වියදම පියවා ගන්න හැකි මුදලක් channelවලින් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. ඒකත් ප්‍රධානතම හේතුවක්. ඒ වගේම තව හේතු සාධක මේ වටා ඕනෑ තරම් තිබෙන්න පුළුවන්.

ඔබේ බොහෝ නිර්මාණවල තිර පිටපත් රචකයා ලෙස නාමල් ජයසිංහව ඔබ තෝරා ගන්නවා. ඒ සුසංයෝගය ඔබේ නිර්මාණ සාර්ථකත්වය සඳහා කෙතරම් ඉවහල් වුණාද?

නාමල් ජයසිංහ කියන්නේ සමාජයේ අවශ්‍යතාව හොඳින් තේරුම් ගත් අයෙක්. ඔහු මනුෂ්‍යත්වය තේරුම් ගත්, යහපත් දේශපාලන දැක්මක් ඇති කෙනෙක්. මමත් මනුෂ්‍යත්වය තේරුම් ගත්, සමාජ අවශ්‍යතාව හොඳින් තේරුම්ගත් කෙනෙක්. කතාවක් ඉදිරිපත් කරන්න ගැළපෙන රිද්මය සහ යහපත් දේශපාලන දැක්මක් ඇති කෙනෙක්. ඉතින් මේ කාරණා හරහා අපේ ගැළපීම හොඳින් තිබෙනවා කියලා මට දැනෙනවා. 

රටේ ඇති ආර්ථික අර්බුදයෙන් ටෙලි තිරයටත් සෙසු කලා කටයුතුවලටත් බලපෑමක් තිබෙනවා. මේ ගැටලුව ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?

ඉස්සර අපි භාවිත කරපු සෑම භාණ්ඩයක්ම, සේවාවක්ම දැන් දෙගුණයකින් වැඩිවෙලා තිබෙන්නේ. අපි ටෙලි නාට්‍යයක් කළත් වෙන මොන මාදිලියේ කලා නිර්මාණයක් කළත් ඒ හැම එකකම පිරිවැය දෙගුණයකින් වැඩියි. ගැටලුව තිබෙන්නේ එතැන නොවෙයි. පිරිවැය දෙගුණයකින් වැඩි වුණාට නාළිකාවලින් නිර්මාණ ගන්න මිල මට්ටම් නම් තවම එහෙමමයි. ඒවා වැඩි වෙන්නේ නැහැ. පිරිවැය සම්බන්ධ ගැටලුවෙන් තමයි මම සිතන විධියට මේ වෙලාවේ බොහොමයක් නිර්මාණකරුවෝ පීඩා විඳින්නේ. ගුණාත්මක භාවය අපේක්ෂා කරන රසික ප්‍රජාවක් සිටිනා විට අඩු පිරිවැයකින් නිර්මාණ කරලත් බැහැ. මම කියන්නේ මේ ආර්ථික අර්බුදයෙන් කලාවට වෙන හානිය අවම කරගන්න නම්, අදාළ බලධාරීන්ට මීට වැඩිය කලාකරුවන් ගැන සිතා බලන්න වෙනවා. මීට වැඩිය සහන සලසන්න වෙනවා.