දෙවියන් සහ දේවාල බොරුයි කියන රැඩිකල් අය අවසානයේ සින්දුර් ගාගෙන ත්‍රිශූල අතින් අරන් දේවාලවල ඉන්නවා දැක තිබෙනවා

0
63

සමහර අය “අපි හොඳ බෞද්ධයන්. දෙවියන්ගෙන් ඇති වැඩක් නෑ අපි දෙවියන්ට පූජා තියන්නෙ නෑ” කියා උදම් අනති. එහෙම කියන අයට අමතක වී ඇත්තේ බුදුන් වහන්සේ පවා වැඩි පිරිත් සූත්‍ර ප්‍රමාණයක් දෙවියන්ගේ ආරාධනාවෙන් වගේම දෙවියන්ට ආරාධනා කරමින් දේශනා කර ඇති බවය. කරණීයමෙත්ත සූත්‍රය දේශනා කළේද රුක් දේවතාවුන්ගෙන් ස්වාමීන් වහන්සේලාට සිදුවූ කරදර දුරු කිරීමටය. බලගතු අමනුෂ්‍ය උපද්‍රවවලින් ආරක්ෂා වීමට දෙසූ ආටානාටිය සූත්‍ර දේශනාවද උදාහරණයකි. තවද නොපෙනෙන බලවේග හරහා උදවු ගත හැකි බව නොයෙක් තැන්වලදී සනාථ වී තිබේ.

 බුදුන් දවස එක්තරා හාමුදුරු කෙනකුට අමනුෂ්‍යයකු ආවේශ වී උෟරන් මරන තැනකට ගොස් අමු මස් කා ලේ බිව් බවත් හාමුදුරුවරු මේ ගැන බුදු හාමුදුරුවන්ට පැමිණිලි කළ අවස්ථාවේදී එම හාමුදුරුවන් අත වරදක් නැති බවත් මෙය අමනුෂ්‍යයකු ආවේශ වී සිදුකළ දෙයක් බවත් වදාළ බවත් සෝම හාමුදුරුවන් විසින්ද බණකදී දෙසූ බව මට මතකය. මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සාත්තර කීම මානසික රෝගයක් ලෙස හැඳින්වුවද බුදු දහමට අනුව මිනිසුන්ට මියගිය ඥාතීන් පැමිණ උදවු කරන බව එදා කලාතුරකින් සිදුවුවද අද එය සුලබව සිදුවන සිදුවීමක් බවට පත් වීමෙන් බොහෝ අය වරම් නොව වරම් ලෙස පැමිණෙන අමනුෂ්‍ය උවදුරුවලට අසුවී ඇති බව මට දැනෙන කාරණාවකි. 

ඔය හේතුව නිසාම අද දේවාල සාත්තර බොරුවක් ලෙස සමාජගත වී ඇත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ද බොහෝ තැන්වලදී මෙම සිද්ධිය ගැන විස්තර පවසා ඇත. උන්වහන්සේ දේශනා කළ ආකාරයට නම් භූත, ප්‍රේතයො පමණක් නොව පින් ඇති දෙවියන් පවා මිනිස්සුන්ට වරම් දී පිහිට වෙන බවය. තවද රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් පවා ගුප්ත විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව සහ දෙවියන්ගේ පිහිට ගැන දේශනා කර ඇත. සිත දියුණු කළ බොහෝ ස්වාමීන් වහන්සේලා මෙවැනි දේ තියෙන බව කියද්දී සමහර බෞද්ධයන් අපි පිරිසුදු බෞද්ධයන් සාත්තර දේවාල පිළිගන්නේ නෑ කියන්නේ ධර්මය හරියට දැනගෙනවත් හරිහමන් දේවාලයකට ගොස් සොයා බැලීමකින්වත් නොවේ.

 තවද දේවාලවල වුවද සාත්තර කියන්නේ මියගිය බලවේගයක් හරහාය. පින් කළ අයකු නම් එම බලවේග යහපත් වන අතර පවු කර මියගිය අයකු ශරීර ගත වූයේ නම් කොච්චර කළත් පවටම සිත යොමු කරයි. මා දවසක් දෙකටන මෑණි කෙනෙක් මගේ මිතුරියක් ලෙස සිටින බව මෙම ලිපි පෙළේ සටහන් කළා. ඉන්පසු දෙකටන වතුරගොඩ සිටින එම මෑණියන් ගැන බොහෝ අය මගෙන් විමසන්නට විය. මම කියූ දෙය වරදවා වටහාගත් අයද විය. මම එහිදී  කියන්නට උත්සහ කළේ ගොඩක් දේවල් කරන අය තවත් දේවාලයකට ඉරිසියා කරන බවත් ඇය මට එලෙස නොකළ බවත්ය. එහෙයින් අප අතර මිතුදම අදටත් පවතින බවය. වරමකට එන බලවේග යහපත් නම් කිසිවිට තවත් වරම්ලාභියකුට ඉරිසියා කරන්නේ හෝ බාධා කරන්නේ නැත.

සෝම හාමුදුරුවන්ගේ එක්තරා දේශනාවකදී  උන්වහන්සේ දේශනා කළේ, දානය පූජා කරන කාන්තාවකට භූමාටු දෙවියකු ආවේශ වී ඇය හරහා සැරියුත් හාමුදුරුවන්ගේ රෝගයකට මුංඇට කිරිබතක් සාදා මුගලන් හාමුදුරුවන් හරහා පූජා කෙරවූ බවයි. මෙවැනි බොහෝ කතා මට හමුවී තිබේ. ලංකාවේ පමණක් නොව බටහිර රටවලදී පවා මෙවැනි සිදුවීම් සිදුවේ. 

ආටානාටිය සූත්‍රය තුළ අමනුෂ්‍ය කරදර සිදුවන බව ලියැවී තිබේ. මනුෂ්‍ය ශරීරය වාහනය කරගෙන අමනුෂ්‍යයො ජීවත්වෙන බව එහි පැහැදිලි වේ. මෙවැනි කතා බුදු දහම තුළදීම හමුවෙද්දී ‘දෙවියන් නෑ’, ‘ගුප්ත දේ බොරු’ අපි බුදුන් සරණ පමණයි යන්නේ කියන බොහෝ මිනිසුන් හරියට ධර්මයවත් දැක නැත. මෙවැනි කරදරවලදී නොපෙනෙන ලෝකය දැකිය හැකි අයගේ උදවු ලබාගත හැකිය. එතැනදී බොරුකාරයන්ට නොරැවටී හරිදේ කරන අය සොයා ගැනීමට පිනක්ද තිබිය යුතුය. බුදුන්  දවස බොහෝ පිරිසක් දිව්‍ය සහ බ්‍රහ්ම ලෝකවල පහළවී අදටත් සිටිනා අතර ඒ අයට දිව්‍ය ආයුෂවල හැටියට තප්පරයක් දෙකක් ගෙවී ගියාක් මෙන්ද ඇත. මට මේ දේවල් ලිවිය හැකිය. කියවන්නා බුද්ධිමත් නොවුණහොත් වැරදි අදහසක් ගන්නා හෙයින් වැඩිදුර නොලියා සිටිමි.

දෙයියන්ගෙන් වැඩක් නෑ කියා සමච්චල් කළත් කරදරයක් වුණු විට කිසිම පිළිසරණක් නොමැති වූ විට කවුරුත් යන්නේ දෙවියන්ගේ දෙපා මුලටමය. එතෙක් දෙවියන් සහ දේවාල බොරුයි කියති. අපට එවැනි රැඩිකල්වාදී අදහස් දරන්නන් හමුවී ඇත. එහෙත් අවසානයේ ඔවුන් තිශූල අතැතිව සින්දුර් ගාගෙන අපටත් වඩා භක්තියෙන් දේවාලවලද සිටින අයුරු දැක ඇත්තෙමි.

බෙහෝ වෙලාවට දෙවියන් අපට පිහිට වෙතත් ඒ සඳහා අපටද පිනක් තිබිය යුතුය. අප මොන තරම් සැපවත් ජීවිත ගෙව්වත් පින් වළඳලා අවසන් නම් ඊළඟට විඳින දුකට දෙවියන්ටවත් පිහිට විය නොහැකිය. අප කළ යුත්තේ හැකි පමණ පින් රැස්කිරීමය. අඩුම තරමේ යාචකයකුට බත් මුලක් හෝ පූජා කොට බෝධි පූජා තබා දෙවියන්ට පින් දෙන්න යැයි කියන්නේ එහෙයිනි.