දෙවියන් මිනිසාව මැව්වාද? මිනිසා දෙවියන්ව මැව්වාද?

0
151

අද්භූත බලවේග පිළිබඳව විශ්වාස කරනු ලබන්නේ අපේ රටේ පමණක් නොවෙයි. ලෝකයේ රටවල් ගණනාවක වෙසෙන මිනිසුන් විසින් අද්භූත බලවේග පිළිබඳව තවදුරටත් විශ්වාස කරනවා. අද්භූත බලවේග, දේව සංකල්ප පිළිබඳව මිනිසුන් තුළ ඇති වන විශ්වාසය පැවතගෙන එනු ලබන්නේ අෑත අතීතයේ සිටයි.

නමුත් වර්තමානය වන විට දියුණු රටවල ඒ දේවල් පිළිබඳව පවතින විශ්වාසය ටිකෙන් ටික නැති වෙලා යන්න පටන් අරන් තිබෙනවා. එයට ප්‍රධාන හේතුව විදියට දක්වන්න පුළුවන් වෙන්නේ, යථාර්ථවාදීව සිතීමට මිනිසුන් තුළ ඇති හැකියාව දියුණු වීමයි. නමුත් අප රටත් ඇතුළුව තවත් රටවල් කිහිපයක් තුළ තවදුරටත් අද්භූත බලවේග පිළිබඳව මිනිසුන් තුළ විශ්වාසයන් පවතිනවා. බොහෝ තැන්වල දෙවියන් කියන කොට්ඨාසයට රූප පවතිනවා. නැතිනම් චිත්‍ර හෝ මූර්ති තිබෙනවා. ඔය දේව රූපයක් නිර්මාණය කරමින් සිටි මූර්ති ශිල්පියකු දැකලා කවියෙක් විසින් කියූ,

“දෙවියන් මනුෂ්‍යයන්ව මැව්වේ නැතිමුත් මනුෂ්‍යයන් දෙවියන්ව මවන බව නම් දුටිමි” යැයි ප්‍රසිද්ධ කියමනකුත් තිබෙනවානේ. ඒ ප්‍රකාශය කොතරම් සත්‍යද කියන දේ පේනවනේ.

දෙවියන්ව නිර්මාණය කරලා තිබෙන්නේ ඒ ඒ කාලවල්වල ඒ ඒ රටවල්වල ඉඳලා තිබෙන රජවරුන්ගේ වස්ත්‍රාභරණවලින් සහ ඒ ඒ සංස්කෘතීන්වල පවතින ලක්ෂණවලට අනුවයි. දෙවිවරුන්ගෙ රූප නිර්මාණය කරද්දි එක් එක් රටවල් තමන්ගෙ රටට ආවේණික දේවල් එක්ක බද්ධ කරගෙන ඒවා නිර්මාණය කරලා තිබෙනවා.

අපි හිතමු ග්‍රීසිය කියන රට ගැන. ඒ රටේ තිබෙන දේවරූප දිහා බැලුවාම අපිට පැහැදිලිව දකින්න පුළුවන් ඒවා අපේ රටේ දේව රූපවලට වඩා හාත්පසින්ම වෙනස් බව. ග්‍රීසියේ දේව රූපවල ප්‍රධාන ලක්ෂණයක් විදියට අපිට දකින්න පුළුවන් ඉතා ක්‍රීඩාශීලී පෙනුමක් තිබෙන පිරිමි පුද්ගලයකුගේ ශරීර ලක්ෂණවලට සමාන ලක්ෂණ. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔලිම්පික් සහ ක්‍රීඩා බොහොමයක අතීත ආරම්භය සිදුවුණේ ඒ රටේ නිසා ක්‍රීඩාවට ඒ රටේ අය නැඹුරු වෙලා හිටපු නිසාත් ශරීරයත් ඒ විදියට හැඩ ගැහිලා පැවැතීම. ඒ ආකාරයට ක්‍රීඩාවට ආවේණික වුණු දේහ ලක්ෂණ තමයි ඒ රටේ පිරිමි අයට තිබුණේ. ඒ විදියටම ඒ රටේ දෙවඟනන් නිර්මාණය කිරීමේදී යොදාගෙන තිබුණේ ඒ රටේ ජීවත් වෙලා ඉඳපු කාන්තාවන්ගේ දේහ ලක්ෂණයි.

ඒ රටේ දෙවිවරු නිර්මාණය කරන එක ඒ රටට ආවේණික වූ දෙයක් විදියට දකින්න පුළුවන්. ඉන්දියාව කියන රටේ ඉන්න දෙවිවරුන්ගේ රූප දිහා බැලුවම පැහැදිලිව දකින්න පුළුවන් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ ඒ රටේ මිනිසුන්ගේ දේහ ලක්ෂණවලට අනුව කියලා. අපේ රටේ දේවරූප නිර්මාණය කරන්න මිනිස්සු යොදාගෙන තිබෙන්නෙ රජවරුන්ගේ දේහ ලක්ෂණ.

සමහර දෙවිවරුන්ට වාහන විදියට සත්තුන්ව යොදා ගත්තා කියලත් දක්වලා තිබෙනවා. ඒ ආකාරයට දෙවියන් කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් බලවත් අය විදියට දක්වන්න විවිධාකාරයේ දේවල් නිර්මාණකරුවන් විසින් යොදාගෙන තිබෙනවා. දෙවියන්ට වාහනයක් තිබීම එහි එක් ආකාරයක් විදියට දක්වන්න පුළුවන්. හෙල්ලය, කඩුව, ත්‍රිශූල වගේ ආයුධ සහිතව දේව රූප නිර්මාණය කිරීම හරහා බලවත් ශක්තියක් සහිතයි කියන හැඟීම දක්වන්න නිර්මාණකරුවන් උත්සාහ කරලා තිබෙනවා. මොකද ඒ දවස්වල තිබුණ ප්‍රබලම ආයුධ නිසා තමයි ඒවා භාවිත කරන්නේ. ඒ දවස්වල මිසයිල, රොකට් ලෝන්චර් වගේ ආයුධ තිබුණේ නෑනේ.

ඒ වගේම ධනය සහිත බව දක්වන්න රත්රන් කාසි අත්තෙන් බිමට කඩා හැලෙන විදියට චිත්‍රත්, අධ්‍යාපනය සහිත බව පෙන්වීමට පන්හිඳ අතේ තබාගෙන ඉන්න විදියටත් දෙවියන්ට බාහිර සාධක සපයලා තිබෙනවා. තවදුරටත් සංගීතය වගේ හැකියාවක් දෙවියන් සතුව පවතින බව සනාථ කරන්න වීණාව වගේ සංගීත භාණ්ඩයක් සහිතව දෙවිවරුන්ගේ රූප මිනිස්සු විසින් නිර්මාණය කරලා තිබෙනවා අපිට දකින්න පුළුවන්.

ඒ විදිහට දෙවියන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වන බලවත් චරිතයක් කියලා මිනිසුන්ට සනාථ කරන්න තමයි නිර්මාණකරුවන් ඒ සෑම උත්සාහයක්ම දරලා තිබෙන්නේ. ඒත් සමහර දෙවිවරුන්ට නිර්මාණය කරපු රූපයක් නෑ. ඒ අයව නමින් විතරක් දෙවි කෙනෙක් විදියට හ¾දුන්වලා තිබෙනවා. ඒ විදියට දෙවියන්ව නිර්මාණය කරනු ලැබුවා වගේ දෙවියන්ගේ විරුද්ධවාදියා වන යක්ෂයා ලෙස දක්වන කොට්ඨාසයක් නිර්මාණය කරන ලද්දේ මිනිසා විසින්මයි. යක්ෂයා කිව්ව ගමන් අපේ ඇස් දෙකට මැවෙන්නේ උල් දත් දෙකක් සහිත, ඇඟ පුරාම ලොම් වැටුණු භයංකාර රූපයක්. ඒ විදියට යක්ෂ රූපයක් නිර්මාණය කළේ මිනිස්සු විසින්මයි.

යක්ෂයාව නිර්මාණය කිරීමට පාදක කරගෙන තිබෙන්නේ වනාන්තරවල ඉන්න සිංහයා, කොටියා වැනි මාංස භක්ෂක දරුණු සතුන්ගේ දේහ ලක්ෂණ. ඒ වගේ සත්තුන්ට මිනිස්සු දක්වන බිය වගේම යක්ෂයාව දැක්කාමත් බය හිතෙන විදියට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඇත්තටම මේ විදියට දෙවිවරු කියන පිරිස නිර්මාණය කර ලද්දේ කුමක් සඳහාද කියන ප්‍රශ්නය අප විසින් විග්‍රහ කළහොත්, එයට හේතුව වන්නේ මිනිස්සුන් මුහුණ දෙන ස්වාභාවික විපත්වලින් හා රෝගාබාධවලින් ආරක්ෂා වීම සඳහා පිහිට පැතීම සඳහා බව දක්වන්න පුළුවන්.

දෙවියන්ගෙ ලෙඩ ලෙස මිනිස්සු හුවාදක්වන පැපොල, සරම්ප වගේ වයිරස් රෝග දෙවියන්ගෙ ලෙඩ විදියට දක්වන්නේ ඇයි කියලා හිතුවොත්, ඒවාට ස්ථිර ප්‍රතිකර්ම නොමැතිවීම ලෙස සඳහන් කරන්න පුළුවන්. නමුත්, වර්තමාන වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවත් එක්කම ඒ රෝගවලට සාර්ථක ප්‍රතිකාර සොයාගෙන තිබෙනවා. නමුත්, අපි ඇත්තටම හිතුවොත් ඒ රෝග ඇතිකරන්නේ දෙවියන් විසින්ද දෙවියන්ගෙ බලපෑමක් නිසාද කියලා ඒක බොරුවක් කියලා සනාථ කරන්න තරම් විද්‍යාව වර්තමානයේදී දියුණු වෙලා තිබෙනවා.

ඒ විදියට විද්‍යාව දියුණු වෙන්නේ, දියුණු වෙන්න මිනිස්සු මේවායේ තිබෙන යථාර්ථය තේරුම් ගන්නවා. වැස්ස, නියඟය ඇතිවෙන්නෙ කොහොමද? ඒවයේ විද්‍යාත්මක පදනම මොකක්ද වගේ දේවල් මිනිස්සු කාලයත් එක්ක අවබෝධ කර ගනිද්දි ඒවා සිදු කරන්නෙ දෙවියන් විසින් කියලා, දෙවියන්ගෙ පරාසයට දාලා තිබුණ දේවල් මිනිස්සුන්ගෙ අවබෝධය දියුණු වෙනවත් එක්කම මිනිස්සු විසින්ම මිථ්‍යාව පිළිබඳව තිබූ විශ්වාසය ටිකෙන් ටික අඩු කරගන්නවා.

ඕනම කෙනෙක්ට පුංචි කාලෙ ඉඳන් යම් දෙයක් පිළිබඳව තදින්ම විශ්වාසයක් ඇතිවෙන විදියට මවුපියන් කියලා දෙන දේවල් එයාලා තදබල ලෙස විශ්වාස කරන්න පුරුදු වෙනවා. මවුපියන් දරුවන්ට දෙවියන් පිළිබඳව ලබාදී තිබෙන විශ්වාසය ඒකට එක නිදසුනක්. මෙහෙම හිතන්න. පොඩි ළමයෙක්ට අම්මා කෙනෙක් කියනවා තනියම පාර පනින්න එපා පාර එහා පැත්තෙ බිල්ලෙක් ඉන්නවා කියලා. ඒ ළමයා ඒක මතක තිබෙන තාක්කල් තනියම පාර පනින්න උත්සාහ කරන්නේ නැහැ. නමුත්, බිල්ලෙක් කියලා කෙනෙක් සත්‍ය වශයෙන්ම නැහැ කියලා දැනගතාම බිල්ලට තිබ්බ බය නැතිවෙලා ගියාම ඒ ළමයා දෙපැත්තම නොබලා පාර පනිනවා. හැබැයි ඒ ළමයට පොඩි කාලෙදිම පාරෙ වාහන එද්දි පාර මාරු වෙන්න එපා, අනතුරු වෙන්න පුළුවන් කියලා යථාර්ථය පැහැදිලි කරලා දුන්නා නම්, ඒ ළමයා නිවැරැදි අවබෝධය ලබනවා. මිථ්‍යාව හා යථාර්ථය කියන්නෙ වෙනස් මාතෘකා දෙකක්.

දෙවිවරු සත්‍ය වශයෙන්ම නැති බව දැන දැනම දේවාලවල ඉන්න කට්ට¾ඩියෝ විසින් දෙවියන් ඇති බව මවාපාමින්, තමන්ගේ ධනය රැස්කර ගන්න කටයුතු කරනවා. ඒක එක්තරා ආකාරයක කූට ව්‍යාපාරයක්. දේවාලයේ කපුවට මොකක් හරි ප්‍රශ්නයක්, ලෙඩක් හැදෙනවා කියලා හිතන්න. එයාලට දෙවියො ඇවිල්ලා ඒ ප්‍රශ්නය විසඳලා දෙනවාද? ඒ අයත් අනිත් අය වගේම ප්‍රශ්නය විසඳගන්න යන්නෙ රෝහලට නැතිනම් පොලිසියට. ඒකෙන්ම ඔප්පු වෙනවා දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඒ අය සිදු කරමින් ඉන්න බොරුව.

දෙවියන්ව තමන්ට දර්ශනය වූවා යැයි කියනා අය සම්බන්ධ මා විසින් වෛද්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයට එතුමා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

දෙවිවරුන්ව ගැඹුරු ලෙස විශ්වාස කරන අයට ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා කියලා හිතන අයට, දෙවිවරු වගේ අයව පෙනෙන්න පුළුවන්. ඒ නින්දත් නොනින්දත් අතර ඉන්න වෙලාවට හෝ සිහිය විකල් වූ අවස්ථාවේදී. එය තීරණය වන්නේ තම තමන් විශ්වාස කරන ආකාරය අනුවයි. අපේ රටේ කෙනෙක්ට පේන දෙවි කෙනෙක් ගේ රූපයක් ග්‍රීසිය වගේ රටක එහෙමත් නැතිනම් වෙනත් රටක කෙනෙක්ට පේන රූපයට සමාන වෙන්නේ නෑ. ඒත් එක්කම වෙන රටක කෙනෙක්ට පෙනෙන දෙවි රූපයක් අපේ රටේ කෙනෙක්ට පේන්නෙත් නැහැ. එය තීරණය වන්නේ ඒ රටේ ඉන්න නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගේ රූපවලට අනුවයි. දෙවියන් වගේම යක්කු දර්ශනය වන්නෙත් ඒ විදියටමයි.

දෙවියන් බැඳගෙන, යක්කු බැඳගෙන වැඩ කරනවා කියන්නේ යම්කිසි මානසික ලෙඩක්ද? ඇයි මා ඇසූ ප්‍රශ්නයට වෛද්‍ය වේරගම පිළිතුරු බැන්දේ මෙලෙසින්.

දෙවියෝ බැඳ ගෙන වැඩ කරනවා නම් අපිට ඕන දේවල් දෙවියන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් වෙන්න ඕන නේ. දැන් ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩොලර් හිඟය. දෙවියන්ට හැමදේම දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් දෙවියන්ට කියලා ඩොලර් ටිකක් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඒකෙ කිසිම සත්‍යතාවක් නැහැ. ඒ විදියට යක්කු බැඳගෙන වැඩ කරනවා කියන අයත් බොරුවක් කරන්නේ. තමන්ගේ මුදල් අවශ්‍යතාව ඉටුකර ගැනීමෙ පරමාර්ථය පමණයි එතැන තිබෙන්නෙ. සමහර මිනිස්සු කෙතරම් යථාර්ථයෙන් බැහැර වෙලාද කියන එක සනාථ කරන්න මම පොඩි උදාහරණයක් කියන්නම්.

යම් කෙනෙක් තමන්ගේ දරුණු ලෙඩකට රෝහලට ගිහිල්ලා ප්‍රතිකාරවලින් කොහොම හරි සුව වෙලා ගෙදරට ආවම, එයාව බලන්න ආව කෙනෙක් මෙහෙම අහනවා. “දැන් අසනීපෙ හොඳයිද?” කියලා. ඉතින් ඒකට රෝගියාගෙන් ලැබෙන පිළිතුරු වෙන්නෙ “දෙවියන් පිහිටෙන් දැන් හොඳයි” කියලා. ඒක බහුතරයක් දෙනා ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර වෙන්න පුළුවන්. ඇත්තටම ඔය කියන විදියට ඒ රෝගියගෙ ලෙඩේ සුව කළේ දෙවියො රෝහලට ඇවිල්ලාද?

නැතිනම් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලින්ද? බලන්න කෙතරම් මිනිස්සු මිථ්‍යාව ගැන විශ්වාස කරනවාද කියලා. සමහර විට රෝගී වෙලා ඉඳලා සුවය ලැබුවාම මිනිස්සු ප්‍රථමයෙන්ම දෙවියන්ට ස්තූති කරන්න කියලා යන්නේ දේවාලෙකට වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒ රෝගය සුව කරන්න ප්‍රතිකාර කළේ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලය නේද?

මේ විදියට මිථ්‍යාව විශ්වාස කිරීම සමාජයේ ඉදිරි ගමනට විශාල බාධාවක්. මිනිස්සු හිතුවා දෙවියන්ට අහසින් යන්න පුළුවන් කියලා. හැබැයි ඒක බිඳහෙළන්න රයිට් සහෝදරයෝ ගුවන් යානයක් නිර්මාණය කරනවා. ඒ විද්‍යාත්මක පදනමක් සහිතව. මිනිස්සුන්ටත් දැන් පුළුවන් අහසේ ගමන් කරන්න. ඒ විදියට ගුවන්යානයක් නිර්මාණය කිරීම හරහා විද්‍යාව තුළින් මිනිස්සු තුළ තිබුණු මිථ්‍යාව බිඳහෙළනු ලැබුවා.

ඉස්ලාමීය ආගමේ දෙවිකෙනෙක්ගේ රූපයක් නැත්තේ ඇයි? කියලා මම වෛද්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්නයට එතුමා පිළිතුරු ලබාදුන්නේ මේ විදියට.

ඉස්ලාමීය ආගමේ දෙවිවරු පෙන්නුම් කරන්නේ නෑ. අන්තගාමී සටන්කාමීන් කියන විදියට ඒ අයට තිබෙන්නේ සුපිරි ආගමක්. එයාලා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ ආගම වෙනුවෙන්.

මිථ්‍යාව හරහා යම් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවත් විශාල වශයෙන්ම ඉන් ඇතිකරනු ලබන්නේ අයහපත් බලපෑමක්. ඒ හරහා මිනිසුන්ගේ යථාර්ථවාදීව සිතීමට ඇති හැකියාව අඩපණ කරනු ලබනවා. විද්‍යාව දියුණු නොවී මිථ්‍යාව තවදුරටත් අපි විශ්වාස කරගෙන හිටිය නම් සමහර විට අපි තාම ඉන්නේ ගල් යුගයෙ වගේ කොළ අතු ඇඳගෙන කැලේකට වෙලා. මිනිස්සු මිථ්‍යාව කියන්නේ බොරුවක් කියලා තාර්කිකව හිතලා ඒ මිථ්‍යාව විද්‍යාව හරහා බිඳහෙළපු නිසා තමයි අද මේ විදියට දියුණු සමාජයක මිනිස්සුන්ට ජීවත් වෙන්න ලැබිලා තිබෙන්නේ. දෙවියන්ගේ නිර්මාණකරුවාව විශ්වාස කරමින් හිටියා නම් මිනිස්සු විසින්ම සමාජය පහතට ඇද දැමීමක් තමයි සිද්ධ කරන්නේ. මිථ්‍යාව විශ්වාස කරගෙන මිනී මරාගන්න තත්වෙට පත්වෙලා තිබෙනවා. තමන්ගෙ ආගම හා විශ්වාස අනෙක් ආගම්වලට වඩා ශ්‍රේෂ්ඨ බව පෙන්වන්න මිනිස්සු ඒ විදියට අනෙකුත් ආගම්වල මිනිස්සුන්ව මරන තත්වයට වර්තමානය වන විට පත්වෙලා තිබෙනවා. දෙවියන් ළඟට යෑමේ අරමුණ ඇතිව ඒ වගේ දෙයක් කරන්න තරම් මිනිස්සු විනාශකාරී වෙලා තිබෙනවා. ඒක සමාජයේ සිදුවෙමින් පවතින ඉතා දරුණු ඛේදවාචකයක්. නොදැකපු දෙවිවරුව මවාගෙන ඒ විදියට මිනිස්සු මිථ්‍යාව විශ්වාසය කරගෙන සිදුකරන්නේ ඉතාමත් දරුණු තත්ත්වයක්. විද්‍යාව මේ තරම් දියුණු තත්ත්වයක තියෙද්දි මිථ්‍යාව, විද්‍යාව හරහා බිඳහෙළන්න පුළුවන් වෙද්දිත් මිනිස්සු තවමත් දෙවිවරුන්ගේ, නිර්මාණකරුවාව විශ්වාස කරගෙන ජීවත් වෙනවා. නමුත්, මිථ්‍යාවෙන් බැහැර වෙලා යථාර්ථවාදීව සිතීම හරහා යහමඟට යෑම තුළින් සිදුවන යහපත ඊට වඩා ප්‍රබලයි. මිනිස්සු ඒ විදියට යථාර්ථවාදීව සිතලා මිථ්‍යාව බොරුවක් කියලා තේරුම් ගන්නා තාක් මිථ්‍යාව තුළින් වන විනාශකාරී බලපෑම නැතිවෙන එකක් නැහැ.

රමෝද් ජයවර්ධන