දාන මාන දෙන්නේ රැල්ලට නම් ඔබද වංකයෙකි

0
57

අපි දියුණුව අපේක්ෂා කරන්නෝ වෙමු. එම දියුණුව ඇති කරගන්නට බුදු දහම තුළ දක්වන ගුණයකි ඍජු බව, වඩාත් ඍජු බව, එසේත් නැති නම් අවංක බව. අත්ථකුසලෙන-අර්ථ කුසලයක් දියුණුවක් ලබන්නා විසින් කරණීය කළ යුතුයි. උජු -ඍජු ගුණය. සෘජූ – වඩාත් අවංක වීම යන ලෙස කරණියමෙත්ත සූත්‍රයේදී දක්වා තිබේ. කුමක් ද මේ අවංක හා වංක යන වචන දෙකෙහි අර්ථය. වංක යන වක ඇද ගැසුණු කියන අර්ථයයි. වක නොවූ ඇද නොගැසුණු යන අර්ථය ලබා දෙන්නේ අවංක යන වචනය තුළින්ය. න – වංක, අවංක, එය ගුණයක් ලෙස ගත් විට උජුපටිපන්න නැතහොත් ඍජු ගුණය ලෙස දක්වයි.


අපි අවංක අය සොයමු. අවංක දේශපාලනඥයෝ, අවංක රාජ්‍ය සේවකයෝ, අවංක ආදරවන්තියෝ, ආදරවන්තයෝ මේ ආදී ලෙස අප ගනුදෙනු කරන උදවිය අතර අවංක අය සොයමු. විටෙක අපට එවන් උදවිය හමු වෙයි. ඔහු අවංක දේශපාලනඥයෙක්, රාජ්‍ය සේවකයෙක්, පෙම්වතෙක්, පෙම්වතියක්, වෙළෙන්දෙක් ආදී ලෙස සමාජය තුළ එවන් උදවිය සිටින බවද දක්නට ලැබෙයි.


අවංක නැති, අවංක බව හඟවන බොහෝ අය අපට හමුවෙති. මෙවන් කතා වස්තුවක් අපේ බණ පොතෙහි වේ. කූට තාපස ජාතකය එම කතාවයි. මොහු තාපසයෙකි. පිටිසර ගමක පන්සලක් තනාගෙන බණ භාවනා කරන බව පෙන්වයි. මොහු ගුණවතකු යැයි සිතා එක්තරා දායක මහත්මයෙක් මොහුට ඇප උපස්ථාන කරයි. මෙම දායක මහතා දිනක් මෙසේ කල්පනා කරයි. තමා සන්තක විශාල ධනයක් වෙයි. තමාගේ ගෙය බිඳ සොරුන් එම ධනය ගනිතැයි බියක් හට ගැනිණි. තාපසයා මිල මුදලට ආශා ඇත්තෙක් නොවෙයි. තාපසරාමය තව කෙනකුගේ සැකයට භාජනය නොවෙයි. ඒ නිසා එම විශාල ධනය තාපසරාමයෙහි වළලා තාපසයාටද ඒ බව දැන්වීය. තාපසයාත් ඊට අකැමැති නොවීය. තාපසයා සෑම දිනකම රාත්‍රියෙහි මේ මුදල් පසුම්බිය සැඟ වූ තැනින් ගෙන ඒ මුදල් අතපත ගා යළිත් තබයි. මෙසේ කලක් ගතවිණි. දිනක් තාපසයා දායකයාගේ නිවෙසට පැමිණෙයි. පැමිණ දායක මහතාට කියන්නේ තමා පන්සල අතහැර යන බවයි. එකම තැන සිටීම තුළින් ඒ තැනට ආශා ඇති වන නිසා එතැන අතහරින බවයි. දායකයාත් හඬා ‍ෙදාඩා වැලපී ඔහුට සමුදෙයි.

තාපසයා එතැනින් නික්ම ටික වේලාවකින් යළිත් පැමිණෙයි. ඔහු කියනුයේ අසපුවේ හෙවිලි කළ තණකොළ ගසක් තම ජටාවෙහි රැඳී තිබුණු බවත් එය තමන්ට අයත් නොවන බවත්, එය රැගෙන ගියොත් තමා සොරකමට හසුවන නිසා එය ගෙනවිත් දමන්නට තමා පැමිණි බවයි. එසේ කියා එම තණකොළ ගස දමා ඔහු යළිත් යයි. දායකයාට තාපසයා සැක නැත. ඔහු හිතන්නේ තම ධනය නිරුපද්‍රිතව ඇති බවයි. එහෙත් පසුව තාපසාරාමයට ගොස් බලන විට තාපසයා තම මුදල් ටිකත් රැගෙන ගොස් ඇති බව දක්නට ලැබෙයි. තම ජටාවෙහි රැඳුණු තණකොළ ගස සොරකමට හසුවේ යැයි ගෙනවිත් දමමින් කටයුතු කළ තාපසයා තම දායකයාගේ මුදල් පසුම්බිය සොරකම් කරයි. තමා අවංක සිල්වතෙක් ලෙස සමාජයට ඇඟෙව්වත් ඔහු මහ සොරෙකි. වර්තමාන සමාජය තුළ දකින්නට ලැබෙන්නේත් මෙවන් කූට තාපසයෝ ය.


ඡන්ද සමයෙහිදී තාප්පවල හිනැහෙන රට ගොඩනඟන අවංක නායකයෝ ඡන්දයෙන් දිනූ පසු රට වනසන දූෂිතයෝ වෙති. තම මව, පියා, ගුරුවරයා ජීවතුන් අතර සිටියදී ඔවුන්ට නොසැලකූ දරුවෝ, ශිෂ්‍යයෝ ඔවුන් මරණයට පත්වූ පසු තමන් තරම් තම මවුපියන්ට ගුරුවරුන්ට ආදරය කළ ඇත්තන් තවත් ලොවේ නැතැයි බොරු උත්සව කරති. මහා පින්කම් කරති. පිළිම හදති. ජාතියේ දරුවන්ගේ නැණැස පෑදීම තම එකම කාර්යභාරය යැයි හඬ නඟන ගුරුවරු තම බාහිර පන්තියට නොපැමිණි ශිෂ්‍යයා පන්ති කාමරයේදී ප්‍රතික්ෂේප කරති. රට නැංවීම සඳහා යැයි රාජ්‍ය සේවයට පැමිණි රාජ්‍ය සේවකයෝ රැකියාව ගත් දින සිට තම සේවය නොකරති. සේවය කරන්නට අල්ලස් ගනිති. සේවය නිසි අයුරින් නොකොට හොරකම් කරති. තමන් අවංක ආදරවන්තයන් යැයි කියා ගත් පෙම්වත්තු පසුව ඔවුනොවුන් වෛර කර ගනිති.

තමා සියල්ල අත්හළ රහතෙකැයි, බුදුවරයකැයි කියන සමහර භික්ෂුහු ආරාමවලට පොරකති. තමා පරම්පරාවෙන් බෞද්ධ යැයි කියන උදවිය බුදුරදුන් අනු දැන නොවදාළ මිථ්‍යා ඇදහිලිවල නිරත වෙති. සමාජයේ විවිධ පැතිකඩ තුළ මෙවන් වංක චරිත දක්නට ලැබෙයි. කයින් වංකය, කයින් සිදුවන අකුසල් කරයි. කයින් කෙලෙස් එක් රැස් කරයි. වචනයෙන් වංකය, වචනයෙන් සිදුවන අකුසල කරයි. වාචසික කෙලෙස් ගොඩනඟයි. මනසින් වංකය, මනසින් සිදුවන අකුසල් කරයි. මානසික කෙලෙස් එකතු කරයි. මේ වංක චරිත නිසා මේ සමාජය සෑම අතින්ම පිරිහී ඇත. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික පරිහානියක් දක්නට ලැබෙයි. මෙම අගාධයෙන් ගොඩ එන්නට නම් වංක ගතියෙන් තොර අවංක මිනිසුන් සමාජය තුළ ගොඩනැඟිය යුතුයි. අවංක කායික ක්‍රියාකාරකම්, අවංක වචන, අවංක සිතුවිලි ඇති විට යහපත් කටයුතු කරයි. ඒ තුළින් දියුණුවේ උරුමකරුවන් විය හැකිය.


අවංකකම ගොඩනැඟිය යුත්තේ පුද්ගල සිත තුළය. පුහුල් ගෙඩියක් තම පිට උඩ තබා සමබර කර වේගයෙන් දුවන අශ්වයකුට අවංකකම හඳුන්වා දිය හැකිය. එය පහසු කාර්යයක් නොවෙයි. එහෙත් අවංක විය යුතුයි. ජීවිතයේ දියුණුව, සතුට ලබන්නට විවිධ මාර්ග පවතී. එක මාර්ගයක් ශරීරයට අධික සැප දීමයි. අනෙක් මාර්ගය ශරීරයට දැඩිව දුක් දීමයි. අනෙක් මාර්ගය ශරීරයට දැඩි දුක් දීමත් නැති, ශරීරයට දැඩිව සැප දීමත් නැති මැද මාවතයි. අවංකයාගේ මාවත මෙම මැද මාවතයි. අන්තයට නොයයි. ශරීරයට දැඩිව සැප දීමෙහිදී ඇලෙන ගතිය ඇති වෙයි. ඇලීම යනු අභිධ්‍යාවයි. තෘෂ්ණාවයි. මේ සිතුවිල්ලෙන් කටයුතු කළොත් එහිදී සිදුවෙන්නේ අකුසල්ය. ශරීරයට දැඩිසේ දුක් දීමෙන් ගැටීමක් හට ගනියි. ගැටීම නම් වෛරයයි, තරහයි. ඒ තුළිනුත් අකුසල් සිදු වෙයි. මේ මාවත් දෙකින් කවර මාවතක ගියද ගොඩනැඟෙන්නේ අකුසල්ය. ඒ තුළින් සමාජ පරිහානිය ගොඩනැඟෙයි. ඒ නිසා මෙම මාවත් වංක මාවත්ය.


ඇලීමක් නැති මාවත ගැටීමක් නැති මාවත මැද මාවතයි. මැද මාවත තුළ ගමන් කරද්දි යථාර්ථය දකියි. මිථ්‍යාව පිටුදකියි. යහපත් සංකල්ප ගොඩනඟයි. කම් සැප පසු පස්සේ ලුහු නොබඳියි. එහි යථාර්ථය දකියි. හැම දෙනා කෙරෙහි මෛත්‍රි සහගත වෙයි. කරුණාව පතුරුවයි. ඔහු සත්‍ය, සමඟිය වර්ධනය කරන, ප්‍රිය මනාප, අර්ථවත් වචන කතා කරයි. සතුන්ට ආදරය කරයි. සොරකම් නොකරයි. වැරදි ආකාරයෙන් සතුට නොසොයයි. වැරදි අයුරින් ඉපැයීම් නොකරයි. වැරදිවලින් මඟහැරෙයි. යහපත් දේ ඉටුකරයි. එය දියුණු කර ගනියි. තමන් කරන දේ දකියි. තමන් විඳින දෙයෙහි යථාර්ථය දකියි. තමන්ගේ සිත දකියි. යහපත් ධර්මය දකියි. සිත එකඟ කරගනියි. එකඟ සිත මෙලොව ජීවිතයට ආලෝකය උපදවයි. පරලොව ජීවිතයට දියුණුව ලබා දෙයි. නිවනින් සැනසීම ලබා දෙයි.


වංක අවංකභාවය මතුපිටින් වටහා ගත නොහැකිය. එක් කරත්ත රෝද තනන්නෙක් කරත්ත රෝද දෙකක් තනයි. එක් රෝදයක් මාස හයක් මුළුල්ලේ වෙහෙස වී තැනීය. අනෙක් රෝදය දින කිහිපයකින් සකස් කරන ලදී. රෝද දෙකම සමානය. බැලූ බැල්මට කිසිදු වෙනසක් නැත. එහෙත් මෙම රෝද දෙක සමාන නැත. වෙනසක් ඇත. මාස හයක් මුළුල්ලේ තැනූ රෝදය ඔහු වේගයෙන් පෙරළා යවයි. පෙරළි පෙරළි යන රෝදය වේගය අඩු විට ඒ ලෙසම ඍජුව පවති. දින කිහිපයකින් සෑදු රෝදය එලෙස යැවූ කල වේගයෙන් ගොස් වේගය අඩු වූ කල බිම පතිත වෙයි. ඊට හේතුව නොවැටුණු රෝදයෙහි අඩුපාඩු නැත. දින කිහිපයකින් තැනූ රෝදයෙහි ‍ෙදා්ෂ සහිතය එම නිසා වැටිණි. මේ අනුව ගත් විට බාහිරව වංකද අවංකද සෙවිය නොහැකිය. අභ්‍යන්තරය තුළ ඇති ස්වභාවය අනුව එය වංක විය හැකිය. අවංක විය හැකිය.


යහපත් කටයුත්තක නිරත වීමේදී වංක අවංක බව තීරණය වන්නේ එම ක්‍රියාව කරන විට සිත තුළ ඇති සිතුවිලි අනුවය. කෙනෙක් බුදු රදුන් වන්දනා කරන්නේ සසර දුක නිමා කරන්නට නම් අවංකය. ලාභ ප්‍රයෝජන ලබන්නට නම් වංකය. දන් දෙන්නේ අතහැරීම සඳහා නම් අවංකය, මානය, තරගය පදනම් කොටගෙන නම් වංකය, සීලය රකින්නේ ඉන්ද්‍රිය සංවරය නිවන උදෙසා නම් අවංකය, මානය ආදී කෙලෙස් උදෙසා නම් වංකය, අම්මා, තාත්තට, ගුරුවරුන්ට සලකනුයේ කෘතවේදිත්වය පදනම් කොට ගෙන නම් අවංකය, ඔවුන්ගේ දේපළ මිල මුදල් පවරා ගන්නට නම් වංකය.

ජනතා සේවයෙහි නිරත වන්නේ රට සංවර්ධනය කරන්නට නම් අවංකය, සංවර්ධන කටයුතුවලදී ඇත්තේ තම කොමිස් මුදල කොපමණද යන්න නම් එය වංකය. ආදරය කරන්නේ සැබෑ යුග දිවියකට නම් අවංකය, රූපය, ධනය, බලය, කුලය පදනම් කරගෙන නම් එය වංකය මේ අයුරින් සියලු ක්‍රියාකාරකම්, වචන වංකද අවංකද තීරණය වන්නේ එම මොහොතෙහි ඇති සිතුවිලි අනුවය.
වංක වීම තුළ අපට නොදැනුණත් අප අපටම වංචාවක්, රැවටිල්ලක් කර ගනී. වංකභාවය ආත්ම වංචාවකි. එයින් අප පිරිහෙයි. අප වෙසෙන ස්ථානය පිරිහෙයි. අප වෙසෙන පරිසරය, ගම, රට පරිහානියට පත් වෙයි. අපගේ අපේක්ෂාව දියුණුව නම් අප අවංක විය යුතුයි. අවංකව කටයුතු කිරීම, කතා කිරීම, සිතුවිලි සිතීම තුළින් මහ ආශ්චර්යවත් දියුණුවක් ලද හැකිය. අවංක වෙමු. ජීවිතය ජය ගමු.