තාල් කියන්නේ Sunflower ’S ලාගෙම දෙවැනි කොටස

0
27


කොහොමද මේ දිනවල වැඩ කටයුතු? 

කොවිඩ් වසංගතය නිසා පසුගිය සමයේ ප්‍රසංග ගොඩාක් අඩුවෙලා තිබුණා. නමුත් දැන් රට සාමාන්‍යකරණය වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රසංගත් ආරම්භ වුණා. ඉතින් මේ දිනවල ආරාධනා ලැබුණ ප්‍රසංගවලට සහභාගි වෙනවා. 

 පාඨකයාට කණ්ඩායම හඳුන්වා දිය යුත්තේ සන්ෆ්ලවර් ලෙසද, තාල් ලෙසද? 

සන්ෆ්ලවර් විදිහට, තාල් කියන්නේ සන්ෆ්ලවර් කණ්ඩායමේ දෙවැනි කොටස. 

Beat Band සංගීත ප්‍රසංග කලාවේ පුරෝගාමියකු ලෙස අත්කරගෙන ඇති සාර්ථකත්වය ගැන මොකද සිතන්නේ? 

ඉතාමත් සතුටුයි මෙරට බිහි වූ ගීත තැටිවලින් බොහෝ ප්‍රමාණයකට සංගීතය සැපයුවේ Sunflower සංගීත කණ්ඩායම, අපි ඒ වෙනුවෙන් බොහෝ කැපවීම් කළා. අපි නිතරම රසිකයාගේ රසය සපයා ඔවුන් බලාපොරොත්තු වන දේ ගැන සිතුවා. ඇතැම් වෙලාවට Sunflower  සංගීත කණ්ඩායමෙන් නිකුත් වෙන්නේ පෞද්ගලිකව අපි කැමැති සංගීත රසය නොවෙයි. නමුත් අපගේ සතුට තිබෙන්නේ රසිකයාගේ සතුට තිබෙන තැන. ඒ නිසා වෙනස්කම් කරන්න බිය වුණේ නැහැ. 

එළිමහන් සංගීත කලාවේ විනයක් ඇති කරන්න Sunflower ලොකු දායකත්වයක් දුන්නා නේද? 

ඔව්. මමවත් නීල් අයියවත් කිසිම දිනෙක සංගීත ප්‍රසංගයක ගීත ගායනා කරන විට මත්පැන් පානය කරන්නේ නැහැ. කණ්ඩායමේ අනෙක් සාමාජිකයනුත් එහෙමයි. නමුත් අපි මත්වෙලා සංගීතය බලන්න පැමිණෙන අයට හොඳ විනෝදයක් ලබා දෙනවා. මත්වෙලා ගායනා කරන ගීත අපිත් මත්වෙලා වගේම ගායනා කරනවා. ඒ වගේම අපි ප්‍රසංග වේදිකාවට උචිත ලෙස ඇඳුම් ඇන්දා සහ කතාවෙහි විනයක් පවත්වා ගත්තා. ඇත්තටම සංගීත කණ්ඩායමකට ඒ විනය තිබෙන්නම ඕනෑ. 

Sunflower  සංගීත කණ්ඩායම එවකට ක්ෂේත්‍රයේ ප්‍රබල වෙනසක් ඇති කළා නේද? 

ඒ කාලයේ හින්දි ගීත පමණක් අසන  රැල්ලක් පැමිණියා. සිංහල ගීත කැසට් එකක්වත් නොවිකිණෙන තත්ත්වයකට ඒ රැල්ල ප්‍රබල වුණා. ඇත්තටම කියනවා නම් අම්මලා දරුවෝ නැලවුවේත් හින්දි ගීත ගායනා කරලා. ඒ නිසා අපට අවශ්‍ය වුණා යම් වෙනසක් ඇති කරන්න. ඒ අනුව ප්‍රියා සූරියසේනගේ ගීත ටිකක් වැඩි රිද්මයකට (Beat) වාදනය කළා. අපි සාමාන්‍යයෙන් වාදනය කරන රිද්මයට වඩා, ඉහළ රිද්මයක් ඒ සඳහා භාවිත කළා. එය සාර්ථක වුණා. ප්‍රියාගෙන් පසුව ක්ෂේත්‍රයේ බොහෝමයක් ගායකයන් ඒ නව සංගීතයට අනුව ගීත ගායනා කළා. ගුණදාස කපුගේට විවේචනත් ආවා. මේ සම්බන්ධයෙන්. ඔහු එයට හොඳ පිළිතුරක් දුන්නා. “මට රෑට මුන් එක්ක සින්දු කියන්න පුළුවන් නම් කැසට් එකකට සින්දු කියන්න බැරි ඇයි?” ඔහු පැවසුවේ එලෙසයි. කෙසේ නමුත් ඒ වෙනස අපි ඇති කළා. 

“සලාදේ” නමින් නිකුත් වූ ගීත වැල සම්බන්ධව අදහසක් පළ කළොත්? 

අපි සම්පූර්ණ ගීත නැතිව ගීත කොටස් වශයෙන් ගීත වැලක්  (Nonstop) ගායනා කළා. ඒ කාලයේ නන්ස්ටොප් ගීතවලට ලොකු රසික ප්‍රතිචාරයක් තිබුණා. අපි “සලාදේ” නමින් නන්ස්ටොප් හයක් පමණ කළා. ඇතැම් අවස්ථාවන්වලදී විවිධ වූ විවේචනත් මෙයට එල්ල වුණා. 

 ලංකාවේ සංගීත කණ්ඩායම් අතරින් ස්වනිර්මාණ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ Sunflower කණ්ඩායමට නේද? 

ඔව්. අපි සලාදේ නන්ස්ටොප් ප්ලේ කරන විට සමාජයෙන්, විශේෂයෙන් මාධ්‍යයෙන් විවේචන පැමිණියා අපි අනෙක් ගායකයන්ගේ ගීත පමණක් වාදනය කරනවා කියලා. ඉන්පසුව නීල් අයිය ඇතුළු සන්ෆ්ලවර් කණ්ඩායම සතියක් ඇතුළත ගීත 14ක් නිර්මාණය කරලා නිකුත් කළා. අපි එහෙම කළේ එල්ල වූ විවේචනවලට පිළිතුරක් විදිහට. 

වර්තමානයේ සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම අභියෝගයක් කියල සිතනවද? 

අපි ක්ෂේත්‍රයට පැමිණෙන කාලයට වඩා ඉහළ තාක්ෂණයක් සහ වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් වර්තමානයේදී පවතිනවා. ඒ නිසා අපි කාපු කට්ට අද සිටින තරුණයන්ට අදාළ වෙන්නේ නැහැ. ඔවුන්ට ඕනෑ තරම් මාර්ග තිබෙනවා. තමන්ට කියලා කණ්ඩායමක් ආරම්භ කිරීමට, එය ජනප්‍රිය කරවීමට. නමුත් වෘත්තීමය වශයෙන් සංගීතය තෝරා ගන්නවා නම් දෙවතාවක් සිතන්න ඕනෑ. 

කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු මොනවාද? 

සංගීත කණ්ඩායමක් විදිහට අප දැන් සිටින්නේ විශ්‍රාම යා යුතු කාලයක. නමුත් රසිකයන්ගේ තිබෙන ඉල්ලීමට තමයි අපි තවමත් ක්ෂේත්‍රයේ රැඳිලා සිටින්නේ. 

එම නිසා කණ්ඩායමට ලැබෙන ආරාධනා පිළිඅරගෙන රසිකයාට හොඳ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දුමිඳු ලංකා බණ්ඩාර