ජන්ම දිනයෙන් කියැවෙන ඔබේ ගතිගුණ

0
147


අප්‍රේල් 03

ආත්ම විශ්වාසයකින් යුතු අය වෙති

මෙදින උපත ලැබූ ජන්මීන්ගේ ජන්ම අංකය අංක තුන වන අතර එහි අධිපති බලය ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට හිමිවේ. මාසයේ බලය රාහු ග්‍රහයා හට අයත් වේ. මෙම ජන්මීන්ගේ උත්පත්ති කේන්දරයට අනුව ගුරු ග්‍රහයා බලවත් වී සිටී නම්  ගුරු ග්‍රහයාගෙන් විද්‍යමාන වන ගති පැවැතුම් ජන්මියා තුළින් හ¾දුනා ගැනීමට හැකිවේ. එවැනි අය උනන්දුවෙන් මහන්සි වී කටයුතු කරන, කතාවෙහි දක්ෂ දැනුමකින් යුක්ත පුද්ගලයෝ වෙති. මෙවැන්නෝ තමන් පිළිබඳ හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන නිසා ඉලක්ක සපුරා ගැනීමට හැකිවේ. 

මොවුන්ගේ චෛතසික අංකයද අංක තුන වන හෙයින් රැකියාව දේවකාරියක් ලෙස සලකා ඉටු කිරීමට මොවුන් නිරායාසයෙන්ම පෙලඹේ. බොහෝ දේවල් පිළිබඳ සර්ව ශුභවාදී ලෙස සිතන හෙයින් ඕනෑම තරාතිරමක සිටින අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවේ. එම ගුණය නිසාම රාජකාරි කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු පවා සාර්ථක කර ගැනීමේ අවස්ථාව මොවුන්ට හිමිවේ. ආදර සම්බන්ධතා පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කිරීම විවාහ ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට හේතුවේ. 

අප්‍රේල් 04

සෞන්දර්යවාදීහු වෙති

අංක හතර ජන්ම අංකය වශයෙන් සැලකෙන ජන්මීන් වෙත වැඩි බලපෑමක් රාහු ග්‍රහයාගෙන් ඇතිවේ. අප්‍රේල් මාසයේ අංකයත් චෛතසික අංකය සහ ජන්ම දිනයේ අංකයත් අංක හතර වීම මෙයට හේතුවේ. මෙදින උපත ලැබූ ජන්මීන් කඩිසර බවින් යුක්ත වන නමුදු ඔවුන්ගේ මානසික තත්ත්වය අනුව කඩාකප්පල්කාරී කටයුතු කෙරෙහි යොමුවීම ස්වභාවයෙන්ම පවතී. රාහුගේ ක්‍රියාකාරිත්වය බහුල වශයෙන් අයහපත් කටයුතු කෙරෙහි බල පවත්වන හෙයින් වගකීම් විරහිතව කටයුතු කිරීමට මොවුන් පෙලඹෙති. සෞන්දර්යවාදී අදහස්වලින් යුක්ත වෙති. එහෙත් ධනාත්මක චින්තනයෙන් තොරවීම නිසා මෙම ජන්මීන්  බොහෝ දුරට අතෘප්තිමත් තැනැත්තෝ වෙති. මෙදින උපත ලැබූ අය අරගල කිරීම සඳහා ඉදිරිපත් වන බොහෝ අවස්ථාවලදී ඒ පිළිබඳ අවබෝධයෙන් තොරව කටයුතු කිරීම නිසා ව්‍යාකූලත්වයට පත්වේ. මොවුන් එතරම් දුරට බුද්ධිමත් නොවන බැවින් අනෙක් අය පිළිබඳ තේරුම් ගැනීමට නොපෙලඹේ. එනිසාම ඔවුන් කෙරෙහි වෛරීය සිතුවිලිවලින් වැඩ කිරීමට උත්සාහ කිරීම නිසා බියෙන් සැකෙන් ජීවත්වීම පුරුද්දක් ලෙස පවත්වා ගනී. එනිසා මෙදින උපත ලැබූ ජන්මීන් හට අනෙක් අයගේ සහයෝගය ලබා ගැනීම අපහසු කාර්යයක් වීමෙන් රැකියාවේදී ඉලක්ක සපුරා ගැනීම අපහසු තත්ත්වයක් බවට පත්වේ. 

අප්‍රේල් 05

අන්‍යයන්ගේ යහපත උදෙසා කටයුතු කරන්නේය.

අප්‍රේල් පස්වැනි දින උපත ලැබූ ජන්මීන්ගේ හැසිරීම සහ ගති පැවැතුම් බුධ ග්‍රහයාගෙන් නියෝජනය කෙරේ. මෙම ජන්මීන් තුළ බුද්ධියෙන් වැඩ කිරීමට හැකි ශක්තියක් පවතී. මොවුන් බොහෝ දුරට සිය නුවණ මෙහෙයවා තම වාසියට ගැළපෙන ආකාරයෙන් තීක්ෂණ ලෙස කටයුතු කිරීම නිසා ව්‍යාපාරවල යෙදී සිටින අය ලාභය උපරිම වෙන ආකාරයෙන් කටයුතු කරනු ලැබේ. රැකියාවක යෙදී සිටින අයෙක් නම් වගකීම හොඳින් අවබෝධ කර ගැනීම නිසා උසස් නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට උනන්දුවක් දක්වයි. 

මෙදින උපත ලැබූ අයගේ චෛතසික අංකයත් අංක පහට අයත්වීම මත බුධ ග්‍රහයාගේ බලපෑමට හසුවීමෙන් නිර්මාණාත්මක සිතුවිලි උපදවා ගැනීමට මොවුන් සමත් වේ. 

ස්වභාවධර්මයට අනුගතව වැඩ කිරීමට පෙලඹීම තුළින් පරිසරයෙහි පවතින සෞන්දර්යාත්මක ගුණයෙන් මොවුන් තෘප්තියට පත්වේ. අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන මෙම ජන්මීන් අනුන්ට උදවු කිරීමෙන් සතුටට පත්වේ. වයසට වඩා පැසුණු බුද්ධියෙන් වැඩ කිරීමට යොමුවීම තුළ ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව මොවුන් සතුව පවතී. කෙටිකාලීනව  මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවෙතත් ඒවා පවත්වාගෙන යෑමට නොහැකිවීම මොවුන් සතු දුර්වල ලක්ෂණයකි. 

අප්‍රේල් 06

අන් අය වසඟ වන කතා ශෛලියක් වෙයි

මෙම දිනයේ උපත ලැබූ ජන්මීන් සිකුරු ග්‍රහයාගේ පාලනයට අයත් වන්නේ ඔවුන්ගේ ජන්ම දින අංකය වූ අංක හය සිකුරු ග්‍රහයාට අයත් වන හෙයිනි. ඒ අනුව සිකුරු ග්‍රහයාට ආවේණික ගති ලක්ෂණ මෙම ජන්මීන් කෙරෙහිද බල පවත්වයි. මෙදින උපත ලැබූවන් බොහෝ දුරට ආකර්ෂණීය පුද්ගලයන් වන අතර ඔවුන් උද්යෝගි ලෙස කටයුතු කළ හැකි පුද්ගලයෝද වෙති. මොවුන්ගේ කතා ශෛලීය අන් අය වසඟ කර ගැනීමට හැකි මෘදු ගුණයෙන් යුක්ත නිසා රැකියා ස්ථානයේදීත් පවුලේ සාමාජිකයන් අතරදීත් ගැටුම්වලින් තොරව වැඩ කිරීමට මොවුන්ට හැකිවේ.

චෛතසික අංකයත් සිකුරු ග්‍රහයාට හිමිවීම අනුව මෙදින උපත ලැබූ ජන්මීන් බොහෝ සැප සම්පත් විඳීමට කැමැත්තක් දක්වයි. මෙවැන්නෝ කලාත්මක සිතුවිලිවලින් යුක්ත පුද්ගලයෝ වන අතර, උත්පත්ති කේන්දරයෙහි සිකුරු ග්‍රහයා බලවත් වී උපත ලබා සිටී නම් එවැන්නෝ කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයන් බවට පත්වීමෙන් ජනප්‍රියත්වයට පත්වෙති. මෙදින උපත ලද ජන්මීහු නිසංසල පරිසරයක ජීවත්වීමට කැමැත්තක් දක්වති. තරාතිරමකින් තොරව සෑම කෙනෙක් සමඟම සාමකාමී ලෙස ජීවත්වීමට උත්සාහ දැරීම ඔවුන් සතු යහපත් ගුණාංගයකි. 

අප්‍රේල් 07

විවේකශීලී බුද්ධියෙන් යුක්තය

අංක හත ජන්ම දිනය වශයෙන් අයත් වූ අප්‍රේල් හත්වැනි දින උපත ලැබූ ජන්මීන් වෙත අංක හතෙහි අධිපතීත්වය හිමි කේතු ග්‍රහයාගේ ගති පැවැතුම් බල පවත්වයි. අප්‍රේල් මාසයේ අංකය අංක හතර වන අතර එහි බලය රාහු ග්‍රහයාට අයත් වන හෙයින් රාහු ග්‍රහයාගේ බලපෑමත් මෙදින උපන් අය කෙරෙහි පවතී. මෙම ජන්මීන්ගේ කේන්දරයෙහි කේතු බලවත් වී හෝ අටවැනි භාවයේ සිටී නම් එවැනි අය කෙරෙහි ගුප්තමය වශයෙන් අදෘශ්‍යමාන බලවේගවල බලපෑම් ඇතිවේ.

මෙම ජන්මීන්ගේ චෛතසික අංකයත් කේතු ග්‍රහයාට හිමිවීම නිසා මොවුන් කලබලයෙන් තොරව විවේකශීලීි බුද්ධියෙන් කටයුතු කිරීමට පෙලඹේ. එහෙත් වෙනත් පාපී ග්‍රහයන්ගේ බලපෑමෙන් පීඩාවට පත්වී සිටී නම් එවැනි ජන්මීන් කරන කටයුතු නිශ්චිත අරමුණකින් තොරව සිදුකරයි. මෙසේ පාපීන්ගෙන් පීඩාවට පත්වූ මෙදින උපත ලැබූ ජන්මීන් විප්ලවකාරී වැඩවලට සම්බන්ධවී කඩාකප්පල්කාරී අන්දමට කටයුතු කිරීමට යොමුවීමෙන් අනාගත දියුණුව විනාශ කර ගන්නා තත්ත්වයට පත්වීමේ ඉඩ කඩ ඇත. එමෙන්ම කේතු පාප පීඩිත නොවී යහපත් ලෙස පිහිටා තිබේ නම් මොවුන් ආගමික සහ ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි නැඹුරුවීම ඔවුන් සතු විශේෂ ලක්ෂණයක් ලෙස පැහැදිලි වේ. 

අප්‍රේල් 08

අවංක හා සත්‍යවාදී අය වෙති

ග්‍රහ මණ්ඩලයේ වියපත් ග්‍රහයා වශයෙන් සැලකෙන සෙනසුරු ග්‍රහයා අංක අට කෙරෙහි අධිපත්වය දරන බැවින් අප්‍රේල් අටවැනි දින උපත ලැබූ ජන්මීන් වෙත වැඩි බලපෑමක් සෙනසුරුගෙන් ඇතිවේ. සෙනසුරු 

මහපොළොවට බල පවත්වන ග්‍රහයා වශයෙන් හැඳින්වෙන නිසා යමකු කෙරෙහි සෙනසුරුගෙන් බලපෑමක් පවතී නම් එය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. මෙදින උත්පත්තිය ලද ජන්මීන්ගේ කේන්දරයෙහි සෙනසුරු යහපත් ආකාරයෙන් පිහිටා තිබේ නම් එවැන්නෝ ඥානයෙන් යුක්ත අවංකව සත්‍යවාදීව කටයුතු කරන තැනැත්තන් බවට පත්වේ. 

සෙනසුරු ග්‍රහයාට හිමි අංක අට චෛතසික අංකයක් වන බැවින් මෙදින උපත ලැබූ ජන්මීන් තුළ නායකත්ව ලක්ෂණ පවතින අතර දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට පෙලඹේ. උත්පත්ති කේන්දරයේ හත්වැන්නේ සෙනසුරු ග්‍රහයා දිග්බලයෙන් යුතුව ශුභ කර්තරී ලෙස පිහිටා සිටී නම් මොවුන් දක්ෂ සංවිධායකයන් බවට පත්වේ. එනිසා මෙදින උපත ලැබූවන්ට තමා සේවය කරන ස්ථානයේදීත් ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින්නේ නම් එම කටයුතුවලදීත් තමාට වඩා පහළ මට්ටමේ අයගේ සහයෝගය හොඳින් ලබා ගැනීමට හැකිවේ. 

අප්‍රේල් 09

ආරක්‍ෂක හමුදාවන්හි සේවයට සුදුස්සෝය 

අප්‍රේල් නවවැනි දින උපත ලැබූ ජන්මීන්ට හිමි අංක නවය කුජගේ අධිපත්වයට අයත් වන නිසා මෙම තැනැත්තන් හට කුජ ග්‍රහයාගේ බලපෑම පවතී. ග්‍රහ මණ්ඩලයේ කටයුතුවලදී දෙවියන්ගේ නියෝග ක්‍රියාවට පත් කරන ග්‍රහයා වශයෙන් කුජ ග්‍රහයා හ¾දුන්වන නිසා කුජගේ බලය හිමි මෙම ජන්මීන් පොලිසිය, යුද හමුදාව වැනි සේවාවන්ට වඩා යහපත් වේ. මෙදින උපත ලැබූ ජන්මීන්ගේ සිතුවිලි අශුභවාදී වීමට කුජ ග්‍රහයා සතු පාපී ගුණය බල පවත්වයි.

චෛතසික අංකයත් කුජ ග්‍රහයාට හිමි අංක නවය වන හෙයින් කුජගේ ප්‍රචණ්ඩකාරී ගති පැවැතුම්වල බලපෑමෙන් මොවුන් ක්‍ෂණික කෝපයට පත්වේ. කිසිම අවස්ථාවක පරාජය භාර ගැනීමට සූදානම් නොවන හේතුවෙන් වාද විවාදවලට සම්බන්ධ වීමෙන් සතුරන් නිර්මාණය කරගනී. මෙවැනි හැසිරීම් රටාවක් තුළ මොවුන් සතු මුදු මොළොක් සංවේදී ලක්ෂණ හ¾දුනා ගැනීම අපහසු වේ. මෙම ජන්මීන් බොහෝ අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වීමත් තීරණ වෙනස් කිරීමට අකමැති වීමත් හේතුවෙන් මහජන සම්බන්ධතා සාර්ථකව පවත්වා ගැනීමට නොහැකිවේ. තම මතයේම රැඳී කටයුතු කිරීමට පෙලඹීමෙන් සේවා ස්ථානයේ මෙන්ම පවුලේ අය අතර පවා ගැටුම් ඇතිකර ගනී.

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

071 8664273