කොරියානු ⁣සිනමාව උඩුයටිකුරු කළ ටැක්සිකාරයා

0
155

කොරියානු සිනමාව කියන්නේ අද වනවිට ලෝකයේ තිබෙන ඉහළ ගණයේ සිනමාවක් වගේම හොලිවුඩ් සිනමාවට පවා අභියෝග කරන මට්ටමේ විශිෂ්ට නිර්මාණ බිහිකරන අංක එකේ සිනමා කර්මාන්තයක්. “ටැක්සි ඩ්‍රයිවර් (2017)” කියන්නේ කොරියානු සිනමාවෙන් මෑතකදී බිහිවුණු මාස්ටර්පීස් ගණයේ චිත්‍රපටයක් විධියටත්, බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබපු බ්ලොක්බස්ටර් ගණයේ චිත්‍රපටයක් විධියට තමයි ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ.


චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ. ජෝන් හූන් International movie data base (IMDB) හෙවත් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.9/10 වැනි ඉහළ අගයකුත්, කුණු තක්කාලි (roattan tomatos) සිනමා විචාරකයන්ගේ 96%වැනි ඉහළ අගයක් ලබා ගන්නටත් මේ විශිෂ්ට චිත්‍රපටයට හැකි වෙනවා. මෙතරම් “ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය කෙරෙහි ලොව පුරා ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඇදබැඳ තබා ගන්නේ චිත්‍රපටයේ අන්තර්ගත අති සරල කතන්දරය නිසාමයි.

ටැක්සි ඩ්‍රැයිවර් කිව්වම මතක් වෙන්නේ එම්.එස්. ප්‍රනාන්දු සින්ග් කරන “මම ටැක්සිකාරයා මම ඇරලා යන්න හරිම සූරයා” කියන ජනප්‍රිය ගීතය. හැබැයි එහෙම ෆුල් ජොලියේ ඉන්න ටැක්සිකාරයෙක් නම් නෙවෙයි මේ ෆිල්ම් එකේ ඉන්නේ.


චිත්‍රපටයේ කතන්දරය (Plot) දෙසට හැරුණොත්, 1980 දශකය කියන්නේ දකුණු කොරියානු ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් ක¾දුළුවලින් ලියවුණු වකවානුවක්. මේ යුගයේ එවකට පැවැති කොරියානු රජයට සහ හමුදාවට එරෙහිව “ග්වැන්ජු” නගරයේ සිටි තරුණයෝ වීදි බැහැලා දරුණු විධියේ දැවැන්ත කැරැල්ලක් ගැහුවා.

හරියට නිකම් අපේ රටේ 71 සහ 88 තරුණ නැඟීසිටීමක් වුණා වගේම විප්ලවීය අරගලයක් කොරියාවෙත් ඒ විදිහටම සිද්ධ වුණා. ඒකෙන් අමානුෂික විධියට කොරියානු තරුණ ජවය තිබෙන උගත්, බුද්ධිමත් මොළ ටික මරලා දාන්න රාජ්‍ය හමුදාවේ උණ්ඩ දහස් ගාණක් නිස්කාරණයේ නාස්ති කළා. මර්දනකාරී රාජ්‍ය හමුදාව තරුණ⁣ තරුණියෝ, සිවිල් වැසියෝ සෑහෙන්න ප්‍රමාණයක් මරණයට පත් කළා. චිත්‍රපටය 1980 මැයි 18 සිට 1980 මැයි 27 දක්වා සිදු වූ ග්වැන්ජු නැඟී සිටීම වටා කේන්ද්‍රගත වෙයි. මේ කැරැල්ල හේතුවෙන් මිනිසුන් 2,000 ක් පමණ ඝාතනය වුණා කියලා තමා වාර්තා වෙන්නේ. “ටැක්සි ඩ්‍රයිවර්” කොරියානු සිනමාපටයට නිර්මාණය වන්නේ මේ කොරියානු විප්ලවීය නැඟී සිටීම පිළිබඳ සත්‍ය සිදුවීම වටා පාදක කරගෙනයි.


කිමි කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. කිමිට ඉන්නවා වයස අවුරුදු 11ක් පමණ පුංචි දුවෙක්. මේ පුංචි දුවත් එක්ක ජීවත්වෙන බිරිය අකාලයේ මියැදුණු, දවස පුරා මහමඟත් එක්ක ඔට්ටුවෙන, ජීවිත අරගලයක් කරන ටැක්සි රථ රියැදුරෙක් වන කිමිට තමන්ගේ කියලා ඉන්නේ ඔහුගේ දියණිය සහ අසල්වාසීන් විතරයි. කිමිට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි දෛනික ජීවිතය ගෙවාගන්න අවශ්‍ය මුදල් හිඟකම. කිමි සහ එයාගේ දුව ජීවත්වන්නේ කුලියට ගත්ත නිවාසයක.

ඒ නිසා කිමිට සහ එයාගේ පුංචි පහේ දියණිය ජීවත් කරවන්න මනුස්සකම අමතක කරලා යහමින් සල්ලි සොයන්න සිද්ධ වෙනවා. මේ අතර කොරියානු මර්දනකාරී තරුණ අරගලය පිළිබඳ වාර්තා කරන්න ජර්මනියේ ඉඳන් විදේශ මාධ්‍යවේදියකු කොරියාවේ සෝල් අගනුවරට සම්ප්‍රාප්ත වෙනවා. කොරියානු තරුණ අරගලය දරුණුවට සිද්ධ වෙන්නේ සෝල් අගනුවරින් අෑත තිබෙන “ග්වැන්ජු” කියන නගරයේ. ඇඳිරි නීතිය වැටෙන තරමට දරුණු ගණයේ ගැටුම් ග්වැන්ජුවල සිද්ධ වෙන බව මේ වාර්තාකරුවා දැනගන්නවා.

ඔහුට අවශ්‍ය මේ ප්‍රවෘත්තිය කොරියාවෙන් පිටත ලෝකයට දන්වන්න. ඉතින් මේ වාර්තාකරුවාට සිද්ධ වෙනවා ග්වැන්ජු වෙත යන්න. මේ අතරේ කිමිට සැල වෙනවා මගියකු ග්වැන්ජු නගරය වෙත ගෙනිහින් ඇඳිරිනීතියට කලින් නැවත සෝල් නගරය වෙත ගේනවට. කොරියානු වොන් ලක්ෂයක් ලැබෙනවයි කියලා. කොරියානු වොන් ලක්ෂයක් කියන්නේ කිමිට නිකම් ස්විප් ටිකට් එකක් ඇදුනා වගේ.

ඉතින් කිමි දහම්ගැටයක් දාලා මේ විදේශිකයව යාප්පුවෙන් ඩැහැගෙන එයාගෙ ටැක්සියේ දාගෙන ග්වැන්ජු නගරය වෙත ගමනාන්තය අරඹනවා.
කිමිට සුක්කානම කරකනවා වගේ ලේසි වැඩක් නම් නෙවෙයි ග්වැන්ජු වෙත යන ගමනාන්තය. හමුදා මුරපොළවල් දැමූ ඇඳිරි නීතිය පනවපු මාර්ග බාධක අතරින් මේ දෙපළ ලොකු සටනක් කරලා ග්වන්ජු නගරයට එනවා. ඒත් කිමිට සහ විදේශිකයාට දකින්නේ ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නම් නෙවෙයි. මුළු ග්වැන්ජු නගරයම අපායක් බවට පත්වෙලා. ප්‍රචණ්ඩකාරී හමුදාව සිවිල් ජනතාව අමු අමුමේ බල්ලෝ බළල්ලු ගාණට වෙඩි තියලා මරලා දාලා. විදේශික මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරා කාචයේ මේ සියල්ල සටහන් වෙනවා.

කොරියානු හමුදාව සහ පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට වාරණයක් පනවනවා. කොරියානු රාජ්‍ය හමුදාවට ජර්මනියේ සිට පැමිණි මේ විදේශීය මාධ්‍යවේදියා සහ ⁣කිමි පිළිබඳ තොරතුරු සැල වෙනවා. එතැන් පටන් නොසිතු විධියට කිමි සහ විදේශීය මාධ්‍යවේදියාගේ ජීවිතය ලොකු අවදානමකට පත්වෙනවා. චිත්‍රපටය විසින් ප්‍රේක්ෂකයා තුළ අවසන් විනාඩිය දක්වාම ඇති කරන කුතුහලය තමයි කිමි සහ මේ විදේශීය මාධ්‍යවේදියාගේ පණ කෙන්ද රැකගෙන නැවතත් ග්වැන්ජු නගරය වෙතින් සෝල් නගරය වෙත පලා යන්නේ කොහොමද කියලා?


“අ ටැක්සි ඩ්‍රයිවර්” රියලිස්ට්ක් චිත්‍රපටයක් විධියට කම්පනයට පත්කරන නිර්මාණයක්. චිත්‍රපටය හරහා ප්‍රශ්න කරන මනුෂ්‍යත්වය සහ මනුෂ්‍ය සබඳතා ගොඩනඟන්නට බාධා වුණ මුදල් තුළ ඇති හිස්බව පිළිබඳ කියවීමකට ලක්කරන්නට ප්‍රේක්ෂකයා පොළඹවනවා. කිමි චරිතය චිත්‍රපටය ඇතුළේ කැරැක්ටර් ඩිවලොප්මන්ට් එක පැත්තෙන් අති විශිෂ්ටයි. කිමි නමැති චරිතයට පණ පොවන කොරියානු සිනමාවේ විශිෂ්ට නළු “සෝන්ග් කන්ග් හෝගේ” තාත්වික බවින් යුතු අධිරංගනය චිත්‍රපටය පුරාවටම කැපී පෙනෙනවා. “සෝන්ග් කන්ග් හෝ” කියන්නේ කොරියානු සිනමාව තුළ අති විශිෂ්ට නළුවෙක්.

ඔහුගේ කැපී පෙනෙන චිත්‍රපට දෙක තමයි කොරියානු සිනමාවේ කප් ගහපු “බොන් ජොන්ග් හෝ” කියන සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයාගේ “මෙමරීස් ඔෆ් මර්ඩර් (2003) සහ පැරසයිට් (2019) චිත්‍රපට දෙක. මේ චිත්‍රපට දෙක ලෝක සිනමාවේ ලැන්ඩ්මාර්ක් එකක් බවට පත්වුණු ෆිල්ම් දෙකක්. “අ ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය 90 වැනි ඔස්කාර් සිනමා උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය (Best Forighn language Movie) වෙනුවෙන් නිර්දේශ නාම ලබාගන්නට සමත් වෙනවා. ලොව පුරා පිහිටි ඉහළ පෙළේ සම්මාන උළෙලවල්වලින් සම්මාන පිට සම්මාන ලබාගන්න වගේම බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තියන්නටත් “ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටයට හැකි වෙනවා.

ක්ලැසිකල් සහ රියලාස්ට්ක් ස්ටෝරි එකක් විධියට වාණිජමය වශයෙන් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීම අතින් “ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය කොරියන් සිනමාව ඇතුළේ සුවිශේෂි වෙනවා. මන්ද එය දකුණු කොරියාවේ 2017 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ දෙවැනි චිත්‍රපටය වූ අතර දැනට කොරියානු සිනමා ඉතිහාසයයේ වැඩිම ආදායමක් උපයන ලද ‍ෙදාළොස්වැනි චිත්‍රපටය ලෙසත් වාර්තා පොත් අතරට එක්වෙනවා.


සැබෑ කුලී රථ රියැදුරකුගේ ස්වභාවය සහ හැසිරීම් රටාව විශිෂ්ට අන්දමින් නිරූපණය කිරීමට නළු “සෝන්ග් කන්ග් හෝ” සමත් වෙනවා. එකල කොරියානු සමාජය අත්විඳි කටුක යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා ලබා ඇති විශිෂ්ටත්වය වනුයේ අවසානයේ අප චිත්‍රපටය නරඹා සහකම්පනයට පත් වීමයි. භාවාත්මක රසය (Emotional Flavour) කෙරෙහි අප බැ‍ෙ¾දයි. තවත් චිත්‍රපටය විසින් අපගේ සංවේදනාවන්වලට බෙහෙවින් ආමන්ත්‍රණය කරනවා.

අනෙක් පසින් රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි වන දේශපාලනික මිලිටරිකරණය (Political military) පිළිබඳ තතු විවරණය කරනවා. අතිශය සංකීර්ණ හා ගැඹුරු සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නටත් උනන්දු වෙති. නොඑසේනම් මිනිස් ජීවිතයේ අ¾දුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරනු පිණිස “ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය වෙහෙසී තිබෙනවා. සවිමත් මිත්‍රත්වය, පිය සෙනෙහස සමඟ තදබල ආලකම, ඇවිස්සුණු තාරුණ්‍යය, දුකින්, ලෙයින් හා හාස්‍යයෙන් පිරී, නොනවතින කතාන්තරයක් සේ දිවෙන “ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි.


මලින්ත විතානගේ