එදා සිට අද දක්වා ගගනගාමීන්කාපු කෑම

0
163

කොහොමද ගෙනියන්නෙ?
අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කරන්න මාසයකට පමණ පෙර ගෙන යන සියලුම ආහාර වර්ග ටික ඇසුරුම් කරලා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තිබෙන ශීත කළ ලොකර්වල ගබඩා කරනවා. දියත් කිරීමට සති තුනකට කලින් අර සූදානම් කරපු ආහාර ෆ්ලොරිඩාවේ තිබෙන කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරනවා. ඉන්පසුව අභ්‍යවකාශ යානය දියත් කිරීමට දින දෙක තුනකට පෙර ආහාරපාන ෂටලයට පටවනවා.


අභ්‍යවකාශ ෂටලය මඟින් මෙහෙයුමේ සෑම දිනකම එක් ගගනගාමියකුට අවශ්‍ය ආහාර රාත්තල් 3.8ක් පමණ රැගෙන යනවා. ගගනගාමීන්ට දිනකට ආහාර වේල් තුනක් සහ කෙටි ආහාර වේල් ලබාදෙනවා. ඊට අමතරව දිනකට අමතර කැලරි 2,000කුත් රැගෙන යනවා. හදිසි අවස්ථාවකදී කාර්ය මණ්ඩලයට තවත් අමතර සති තුනකට සරිලන්න තමයි එහෙම රැගෙන යන්නෙ. මේ ආහාර ගබඩා කරන්නේ ලොකර් ප්ලේට්වල.

අනුභව කරන අනුපිළිවෙළට තමයි මේවා සකස් කරන්නෙ. අභ්‍යවකාශ මෙහෙයුමක් මාස ගණනක් පැවතුණොත් එහෙම ආහාර නරක් වෙන්න බලනවා. අභ්‍යවකාශ ෂටලයට ශීතකරණයක් නැති නිසා පරිසර උෂ්ණත්වයේදී ආහාර නැවුම්ව තබාගන්න වෙනවා.
අභ්‍යවකාශ ආහාර සකස් කරන්නෙ මෙහෙමයි
එම ආහාර ආකාර කිහිපයකට සකස් කරනවා.


නැවත සජලනය කළ හැකි
(හෝ ශීත කළ වියළන ලද) ආහාර Rehydratable – (or Freeze – dried) Foods.

ඇසුරුම් කරනවිටම ආහාරවලින් ජලය ඉවත් කරනවා. සුප්, කැස්රෝල්, ස්ක්‍රැම්බල් එග් සහ ධාන්‍යමය ආහාර (සීරියල්) ආදී ආහාර මේ ආකාරයට ඇසුරුම් කරනවා.


අතරමැදි තෙතමනය සහිත ආහාර:
(Intermediate Moisture Foods)
තෝරාගත් ඇතැම් ආහාර වර්ගවලින් ජලය ඉවත් කරන නමුත් සියල්ලේම එසේ කරන්නෙ නැහැ. වියළි පීච්, පෙයාර්ස් සහ ඇප්රිකට් වගේ දේවල් උදාහරණ විධියට දක්වන්න පුළුවන්.


තාප ස්ථායීකරණය කළ ආහාර:
(Thermostabilized Foods
මෙම ආහාර තාප මට්ටමක සකසන නිසා බැක්ටීරියා සහ අනෙකුත් අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ඒ නිසා ඒවා පරිසර උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන්. පලතුරු සහ ටූනා මාළු උදාහරණ ලෙස ගන්න පුළුවන්.


ප්‍රකිරණය කරන ලද ආහාර :
(Irrdiated Foods)
කලින් පිසගත් මස් වර්ග ෆොයිල් බෑග්වල ඇසුරුම් කරලා ගැමා කිරණ හෝ ඉලෙක්ට්‍රෝන කිරණවලින් ලැබෙන විකිරණවලට නිරාවරණය කරනවා. එවිට බැක්ටීරියා වර්ධනය වෙන්නෙ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකානු වෛද්‍ය සංගමය කියනවා ප්‍රකිරණ සහිත ආහාර අනුභව ඉතාම ආරක්ෂිතයි කියලා.


ස්වභාවික ආහාර වර්ග :
(Narural Form Foods)
ග්‍රැනෝලා බාර්, ඇට වර්ග සහ කුකීස් වර්ග වැනි ස්වාභාවිකව දිගු කල් තබා ගත හැකි ආහාර මේ සඳහා උදාහරණ ලෙස ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ඉක්මනින් ආහාරයට ගන්න පුළුවන් විධියට තමයි මේ අහාර පැක් කරන්නෙ.


නැවුම් ආහාර :
(Fresh Foods)
පලතුරු සහ එළවළු තෝරගෙන ඒවා ප්ලාස්ටික් බෑග්වල තමයි ඇසුරුම් කරන්නෙ. මේවායේ නැවුම් බව ආරක්ෂා කර ගන්න ක්ලෝරීන් යොදා ගන්නවා. ෂටලය තුළ ශීතකරණයක් නැති නිසා මෙම ආහාර වර්ග මෙහෙයුමේ පළමු දින දෙක තුන ඇතුළත අනුභව කරන්න වෙනවා. නැත්නම් ඒවා නරක් වෙනවා.
ආහාර ඇසුරුම්
ආහාර ඇසුරුම් නිර්මාණය කරලා තිබෙන්නෙ භාවිතයට පහසු වන පරිද්දෙන්. මේ ඇසුරුම් අභ්‍යන්තර කසළ සංයුක්ත යන්ත්‍රයට බැහැර කිරීමට හැකිවෙන ආකාරයට කුඩාවට තමයි හදන්නෙ. මේ ඇසුරුම්වල වසරක් වුණත් ආහාර සුරක්ෂිතව තියන්න පුළුවන්.


නැවත සජලනය කළ හැකි ආහාර පියන සහිත නම්‍යශීලී භාජනවල තමයි ඇසුරුම් කරන්නෙ. මේ සියල්ල ප්‍රතිචක්‍රියකරණය කරන්න පුළුවන්ලු.
ආහාර ගබඩා කරන්නේ මෙහෙමයි
කෙචප්, මස්ටඩ් සහ මයෝනීස් සහ කුළුබඩුවලට වෙනම ඇසුරුම් තිබෙනවා. ලුණු සහ ගම්මිරිස් දියර ආකාරයෙන් තමයි ගබඩා කරන්නෙ.


අභ්‍යවකාශ ෂටලය එහි ජල සැපයුම ලබා ගන්නේ Full Cells වලින්. ඒවා ජලයේ ප්‍රධාන සංරචක වන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඒකාබද්ධ කිරීමෙන් විදුලිය නිපදවනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී නම් ජලය ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ කුටියේ වාතයෙන්මයි. ජලය ඉතා අරපරෙස්සමින් භාවිත කරන්න ඕන නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ තිබෙන බොහෝ ආහාර තාප ස්ථායිකරණය කරනවා.
ඇත්තටම මේ කෑම රසද?


ඔබ පෘථිවි පෘෂ්ඨයෙන් සැතපුම් දහස් ගණනක් ඉහළින් පාවෙන විට ලබාගන්නා ආහාර මොනවගේ රසයක් දෙයිද? විද්‍යාඥයන් කියන්නෙ නම් මේ ආහාර එතරම්ම රසවත් නැහැ කියලයි. බර අඩු පරිසරයක, ආහාරවල සුවඳ නහයට එතරම් දැනෙන්නේ නැහැ. සුවඳ කියන්නෙ ආහාරවල රසය වඩවන විශාල සාධකයක්.

හිතලා බලන්න හොඳටම සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු වෙලාවක අපිට කොච්චර රස කෑමක් කෑවත් සුවඳ දැනෙන්නෙ නැති නිසා කෑමෙත් රස දැනෙන්නෙ අඩුවෙන් නේද. අන්න ඒ වගේ ගගනගාමීන්ට ආහාරවල ඇත්තම රසය ලැබෙන්නේ නෑ. ගගනගාමීන්ට සුවඳ දැනෙන්නෙ නැත්‍තෙ ඇයි කියලා දන්නවද. අවට පරිසරයේ බර අඩුකම නිසා ගගනගාමීන්ගේ ඉහළ සිරුරේ තරල එකතු වෙනවා.

ඒ නිසා ඔවුන්ට ඉහත සිටිනකන්ම ඉන්න වෙන්නේ නාසය හිරවෙලා. ඒකයි හරියටම ඔවුන්ට රසය විඳින්න බැරි වෙන්නේ.
අභ්‍යවකාශ ෂටල මුළුතැන්ගෙය
මුළුතැන්ගෙයක් කිව්වට ඉතින් මේක මේ ඔයාගෙ ගෙදර තිබෙනවා වගේ එකක් නෙවෙයි. ඇත්තටම ෂටලයට මුළුතැන්ගෙයක් අවශ්‍ය වෙන්නෙම නැති තරම්. මොකද බොහෝ ආහාර කලින් පිසින ලද සහ ගත්තු ගමන් කන්න පුළුවන් දේවල්නේ.

ෂටලයේ මැද තට්ටුවේ ඉතා කුඩා මැදිරියක් තමයි මුළුතැන්ගෙයට වෙන් වෙන්නෙ. මෙහි තිබෙන වායු සංවහන උඳුන භාවිත කරන්නෙ ආහාර වේල් රත් කරන්න විතරයි.
ආහාර වේලක් උණුසුම් කිරීමට විනාඩි 20 සිට 30 දක්වා ගත වෙනවා.

සෑම ගගනගාමියකුටම ආහාර බහාලන ට්‍රේ එකක් තිබෙනවා. එය ගඟනගාමියාගේ උකුලෙට හෝ බිත්තියකට සවි කරන්න පුළුවන්.
වර්තමාන ගගනගාමීන් සාමාන්‍යයෙන් සති කිහිපයක් හෝ මාස කිහිපයක් අභ්‍යවකාශයේ රැඳී සිටින නිසා, ඔවුන්ට අවශ්‍ය සියලුම ආහාර ගෙනියන්න පුළුවන්. නමුත් ඉදිරි අනාගතයේදී අභ්‍යවකාශ මෙහෙයුම් සැලකිය යුතු ලෙස තවත් දීර්ඝ වෙන්න පුළුවන්.


නාසා දැනට අපේක්ෂිත ගමනාන්තය වන අඟහරු වෙත යෑමට වසර දෙකක් පමණ ගතවෙනවලු. ඒ නිසා ඉදිරියේදී අවුරුදු තුනේ සිට පහ දක්වා ආයු කාලයක් ඇති කෑම බීම අරගෙන යන්න වෙනවා. ඒ නිසා නාසා ආයතනය තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කරන්න සූදානම් වෙනවලු.
නාසා ගොවිපළ
නාසා ආයතනය අභ්‍යවකාශ ගොවිපළවල පලතුරු සහ එළවළු වගා කිරීමට සැලසුම් කරනවා. උෂ්ණත්වය පාලනය කරන, කෘත්‍රිිමව ආලෝකවත් කරන හරිතාගාර මෙහිදී භාවිත කරනවා. ඔවුන් සාමාන්‍ය පස වෙනුවට පෝෂ්‍යපදාර්ථවලින් සමන්විත හයිඩ්‍රොපොනික් පද්ධතියක් භාවිත කරනවලු. සෝයා බෝංචි, රටකජු, නිවිති, ගෝවා, සලාද කොළ සහ සහල්, තිරිඟු, බෙරි වවන්නත් සෝයා බෝංචි වගා කර ඒවා පැස්ටා හෝ පාන් බවට සකසන්නත් ඔවුන් සූදානම් වෙනවලු.


පසුව මෙම ආහාර අභ්‍යවකාශ මුළුතැන්ගෙයිම පිසින්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවලු.
ඉතින් ඔන්න ඔය විධියට තමයි ගගනගාමීන්ගේ කෑම බීම සම්බන්ධ කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ. කොහොම වුණත් නව සොයා ගැනීම් වෙනුවෙන් හරියට රසට කෑමක්වත් නොකා නොබී තමන්ගේ ජීවිතත් අවදානමක දාගෙන කරන කැපවීම නම් අගය කරන්නම ඕනෑ.