අල්ලාහ් හැර කුමන දෙයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරනු

0
65

රටක අභිවෘද්ධිය, සංවර්ධනය, ආර්ථික වර්ධනය සශ්‍රීක වීමට නම් ප්‍රධාන වශයෙන් එම රට තුළ සාමය, සහජීවනය තිබිය යුතුයි. අපේ මවුබිම වන ශ්‍රී ලංකාව තුළ විවිධ ජාතීන් හා ආගමිකයන් ජීවත් වේ. මෙහි ජීවත් වන ජාතීන් අතර තිබෙන සමඟිය, සහජීවනය මත මෙරටේ දියුණුව හා සංවර්ධනය ර¼දා පවතින්නේය.
ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මෙම මාතෘ භූමියේ වසර දහසකට අධික කාලයක් සිට සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යන ජාතීන් මෙම රට තුළ ජීවත් වන බව අප සියලු දෙනාම දන්නා කරුණකි. මෙසේ තිබියදී මෑතක සිට ජාතීන් අතර විරසකභාවයක් ඇතිවී තිබීම සිතට දුක් දෙන කරුණකි. මෙය රටට හානිදායක තත්ත්වයකි. එනම් මෙරට තුළ සහජීවනය ගොඩනැංවීමට නම් වසර දහසකට අධික කාලයක් මෙරට තුළ ජීවත් වන මුස්ලිම් වන අප අපගේ යුතුකම වටහා ගත යුතුයි. සහජීවනය ගොඩනැංවීමට අප කුමක් කළ යුතුද? යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මම මෙහි කෙටියෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරමි.


ඉස්ලාම් ධර්මය ලොව සාමය ස්ථාපනය කිරීමට පැමිණි ධර්මයකි. ඉස්ලාම් යන වචනය ශාන්තිය, සමාදානය යන අර්ථ ගෙනහැර දක්වයි. මෙම සාමය, සහජීවනය ස්ථාපනය කිරීමට මුස්ලිම්වරුන් වන අප අන්‍ය සහෝදරයන් සමඟ අනේ‍යාන්‍ය සම්බන්ධතාවක් ඇති කරගත යුතුයි. ඒ සමඟම ඉවසීම, දරාගැනීමේ මානසිකත්වය අප වර්ධනය කරගත යුතුයි. අන්‍ය ආගමිකයන් සමඟ අපට එකට කටයුතු කළ හැකි සෑම කටයුතුවලදීම එකට කටයුතු කිරීම සඳහා සහාය ලබාදීම වැනි යහගුණාංග අප තුළ ඇති කරගත යුතුය. ජාති, ආගම්, කුල භේද නොතකා මිනිස් සහෝදරයන් හැටියට සියලුම දෙනාටම ගරු කිරීමට අප පුරුදු විය යුතුයි.

යුක්තිය, සාධාරණය ඉටුකිරීමේදී සියලු දෙනාටම එක සේ සැලකිය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.
මුහම්මද් නබි (සල්) තුමාණන්ව මුළු මිනිස් සමාජයටම දායාදයක් වශයෙන් අල්ලාහ් දෙවි¼දාණන් විසින් මෙලොවට පහළ කළේය. උතුම් නබි (සල්) තුමාණන් ජාති, ආගම්, කුල, ප්‍රදේශ භේද නොමැතිව සියලුම දෙනාට යුක්තිය. සාධාරණය ඉටු කළ යුතුයි යන දේශනාව මඟින් අපට ආදර්ශයක් ලබාදී ඇත.
“කවුරුන්ද මුස්ලිම් නොවන කෙනකුට (දිම්මි) අසාධාරණය කරන්නේද, නැතහොත් ඔහුගේ අයිතිවාසිකම් අඩු කරන්නේද, නැතහොත් ඔහුගේ ශක්තියට වඩා ඔහුට වගකීම් පවරන්නේද, නැතහොත් ඔහුගේ කැමැත්තෙන් තොරව යම්කිසි දෙයක් ඔහුගෙන් ලබා ගන්නේද, එම පුද්ගලයාට විරුද්ධව පරලොවේදී මා තර්ක කරමි” යනුවෙන් උතුම් නබි (සල්) තුමාණන් වදාළ සේක.
(අබු දාවුද්)
අප විවිධ ජාතීන් වශයෙන් හා විවිධ ආගම් වශයෙන් වෙන්වී ජීවත් වුවද අප සියලු දෙනාම ආදම්, හව්වාගේ දරුවන්ය. එකම පවුලක සහෝදරයන්ය, යනුවෙන් අල්ලාහ් අල් කුර්ආනයේ අපට දේශනා කර ඇත. විවිධත්වය නොහොත් බහුත් වාදයට අප ගරු කළ යුතුය. එයද අල්ලාහ්ගේ නියමයකි. අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත.


“මිනිසුනි සැබැවින්ම අප නුඹලාව පිරිමියකු හා ස්ත්‍රියකුගෙන් මැවුවෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිස ජාතීන් හා ගෝත්‍ර බවට පත් කළෙමු. සැබැවින්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් ශේ‍ර්ෂ්ඨයා නුඹලාගෙන් ඉතා බිය භක්තිකයාය. සැබැවින්ම අල්ලාහ් සර්වඥ අභිඥාන වන්නාය.” (49:13)
මෙම අල් කුර්ආන් වැකිය පිළිබඳව මිනිසුන් අවධානය යොමු කරන්නේ නම් ගැටුම්කාරී අවස්ථා බොහොමයක් අවම කරගත හැකිය.
උතුම් නබි (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළා.
“ඔබගේ සහෝදරයාගේ මුහුණ සිනහමුසු මුහුණින් බැලීමද ධානයක් බව තවද යහපත් වචනයන්ද ධානයක් බවය.”
මෙම හදිස්වල උතුම් නබි (සල්) තුමාණන් මුස්ලිම් සහෝදරයන් යනුවෙන් සඳහන් කළේ නැහැ. එහෙනම් සියලුම මිනිස් සහෝදරයන් වෙත අප සිනහමුසුවේ බැලිය යුතු බව එයින් පෙන්වා දෙන්නේය.


අප රට තුළ ජීවත් වන අනෙකුත් සහෝදරයන්ගේ ආගම්, ඇදහිලි, සංස්කෘතියන් අපට නොගැළපෙන්න පුළුවන්. නමුත් අප මිනිස් සහෝදරයන් නමැති හැඟීම අප තුළ තිබිය යුතුයි. ඒවා ඉවසා දරා ගැනීමට පුරුදු විය යුතුයි. අනෙකාගේ ආගමට, දහමට නින්දා අපහාස නොකර ඒවාට ගරු කළ යුතු බව ඉස්ලාම් අපට පෙන්වාදී ඇත. අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත.
‘විශ්වාසවන්තයිනි අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරනු’ (06:108)
මෙම කුර්ආන් වැකියෙන් අප වටහාගත යුත්තේ, කිසිම ආගමකට, දහමකට නින්දා අපහාස කිරීම, බැන වැදීම, ‍ෙදාස් පැවරීම මුස්ලිම්වරුන් වන අප හට තහනම් බවයි.


මුස්ලිම් නොවන්නන් සමඟ උතුම් නබි (සල්) තුමාණන් ඉතාමත් යහපත්ව සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
නබි (සල්) තුමාණන් මක්කමේ සිට මදිනවල හිජ්රත් ගිය අවස්ථාවේ නබි (සල්) තුමාණන්ට මඟපෙන්වීමට ගියේ මුස්ලිම් නොවන සහෝදරයෙක්.
වරක් නබි (සල්) තුමාණන් තමන්ගේ අවශ්‍යතාවකට යුදෙව් ජාතිකයකුගෙන් ණය ලබාගෙන ඇත.
මුස්ලිම් නොවන යුදෙව් ජාතිකයකුගේ දේහයක් රැගෙන යන අවස්ථාවේ එය දුටු නබි (සල්) තුමාණන් නැඟිට එම දේහයට ගරුබුහුමන් දැක්වූයේය. මෙය දුටු නබි මිතුරන් ඔහු යුදෙව් ජාතිකයෙක් බව දන්වා සිටියෝය. එවිට නබි (සල්) තුමාණන් ඔහු මිනිස් සහෝදරයෙක් යනුවෙන් සඳහන් කර මිනිසාට ගරු කිරීමට ජාති, ආගම්, කුල අවශ්‍ය නොවේ යන පණිවුඩය ලොවට පෙන්වා දුන්නේය.


මුස්ලිම් නොවන අපගේ සහෝදරයන්ට උදවු උපකාර කිරීමට අප මැදිහත් විය යුතුයි. ඒ සඳහා මැළි නොවිය යුතුයි. දුගී භාවයෙන් සිටින අය, රෝගීන්, වයෝවෘද්ධයන්, අනාථයන්, දුබල අය සෑම කෙනකුටම ජාති, ආගම් භේද නොතකා උපකාර කිරීම අපට කුසල් ලබා දෙන්නාවූ කරුණක් බව අප වටහාගත යුතුය. මේ පිළිබඳව අල්ලාහ් දෙවි¼දාණෝ අපට මඟ පෙන්වා ඇත.
“දහම හේතුවෙන් නුඹලා හා සටන් නොකළවුන් හටද නුඹලාගේ නිවෙස්වලින් බැහැර නොකළවුන් හටද යහ කිරීම හා යුක්ති ගරුකව කටයුතු කිරීම පිළිබඳව අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. සැබැවින්ම යුක්තිගරුකව කටයුතු කරන්නන්ව අල්ලාහ් ප්‍රිය කරන්නේය.” (60:08)
මෙහි අල්ලාහ් අල් කුර්ආනයේ මවුපියන්ට යහ කිරීමට භාවිත කළ “බීර්” නමැති වචනය මුස්ලිම් නොවන්නන්ට යහ කිරීමට භාවිත කර ඇත. මෙයින් මුස්ලිම් නොවන සහෝදරයන් සමඟ අප කෙතරම් යහපත්ව කටයුතු කළ යුතුද යන්න වටහාගත යුතුයි.


අප ප්‍රදේශයේ අප සමඟ ජීවත් වන මුස්ලිම් නොවන අපේම සහෝදර ජනතාවට උපකාර කිරීම, උදවු කිරීම, පොදු කටයුතුවලදී එකට එක්වී සමඟියෙන් වැඩ කිරීම හා යහපතට උදවු කිරීමට ඉස්ලාම් අපව පොලඹවන්නේය. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් කර ඇත.
“තවද යහපතටද, බිය බැති බවටද ඔබ එකිනෙකා උදවු උපකාර වන්න පාපයන් හා භේදයෙහි ඔබ එකිනෙකාට උපකාරව නොසිටින්න.” (05:02)
යහපතට උපකාර කරන ලෙසත් ජනතාව භේදභින්න කර සාමයට පටහැනිව කේ‍රා්ධය, වෛරය, අසමඟිය ඇති කිරීමට උපකාර නොකරන ලෙස මෙම කුර්ආන් වැකිය මඟින් අපට උපදෙස් ලබාදී ඇත. අප එක රටක එක ගමක විවිධ ජාතීන් වශයෙන් ජීවත් වන වකවානුවේදී යම් යම් වැරදි අතපසුවීම සිදුවීමට හැකිය. එම අවස්ථාවේ අප ඉවසීමට හා සමාව දීමටද ඉස්ලාම් අපට පෙන්වාදී ඇත.
“මල්ලව පොරයේදී අනෙකාව පරදවා එය ජය ලැබූ කෙනා නියම වීරයා නොව. තමන්ට ඇති වූ කෝපය දමනය කර ගන්නා නියම වීරයා බව නබි (සල්) තුමාණන් සඳහන් කළා.”


“යහපත් විශ්වාසකයන් මිනිසුන්ට සමාව දෙන්නන්ව සිටිනු ඇත” වෙනුවෙන් අල් කුර්ආනයේ සඳහන් වෙයි” (03:134)
අපගේ මෙම මාතෘ භූමියේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් මෙරට අනෙකුත් ජාතීන් සමඟ යහපත්ව සෙනෙහසෙන්, සහජීවනයෙන් ජීවත් වූ බවටත් රට ජාතියට ආදරයෙන් කටයුතු කළ බවටත් ඉතිහාසය මඟින් අපට දක්නට පුළුවන්. මුස්ලිම්වරුන්ගේ යහපත් ගුණාංග නිසා මෙරට පාලනය කළ රජවරුන් මුස්ලිම්වරුන්ට මස්ජිද් තැනීමට, මුස්ලිම් ගම් ඇති කිරීමට, පාසල් ගොඩනැඟීමට ඉඩකඩම් ලබාදී මුස්ලිම් සමාජයට ගරු කර ඇති බව අප සියලු දෙනාම දන්නා කරුණකි. එනම් අපද මෙම අපගේ මාතෘ භූමිය ලොව වැජඹෙන රටක් බවට පත්කිරීමට මෙරට තුළ සිටින අනෙකුත් ජාතීන් සමඟ සහජීවනය ගොඩනඟා රට අභිවෘද්ධිය කරා සංවර්ධනයේ මාවතට ගෙන යෑමට දායක විය යුතුයි.
සහජීවනය ගොඩනැඟීමෙන් පමණයි රට දියුණු කළ හැක්කේ. එම නිසා සහජීවනය ගොඩනැඟීමට කරුණු කිහිපයක් ඉදිරිපත් කරමි.

  1. අනෙක් ජාතීන්ගේ දුක සැපේදී පිහිට වීම.
  2. මුස්ලිම්වරුන් වන අපගේ අවුරුදු, උත්සව අවස්ථාවලදී අනෙක් ආගමිකයන්ටද ආරාධනා කර ඔවුන්ට යහපත්ව සංග්‍රහ කිරීම.
  3. පොදු කටයුතුවලදී සියලු දෙනා සමඟ එක්ව එක්වී කටයුතු කිරීම.
  4. අපගේ මස්ජිදයන් අනෙක් ආගමිකයන් සඳහා විවර කර දීම.
  5. දුගීන්, යාචකයන්, දුබලයන්, අනාථයන්, රෝගීන් යන අයට භේදයකින් තොරව පිහිට වීම.
  6. මස්ජිදයන්හි ශබ්ද විකාශන යන්ත්‍ර අන් අයට කරදරයක් වන ආකාරයට භාවිත නොකිරීම.
  7. අනෙක් ආගමිකයන්ගේ හැඟීම්වලට ගරු කිරීමට පුරුදු වීම.
  8. අනෙකා සමඟ සහකම්පනයෙන් කටයුතු කිරීම.
  9. ඉවසීම වඩවා ගැනීම.
  10. බහුත්වාදය නොහොත් විවිධත්වය අල්ලාහ්ගේ නියමයක් බව තේරුම් ගැනීම.
    අප සියලු දෙනාම සහජීවනයේ වැදගත්කම වටහා ගෙන මෙම ශ්‍රී ලක් මාතාව තුළ එක මවකගේ දරුවන් හැටියට සාමයෙන්, සමඟියෙන් ජීවත් වීමට සර්වබලධාරී අල්ලාහ් අප සියලු දෙනාටම ආශීර්වාද කරත්වා. ආමීන්.