අප්‍රේල් 05 වැනිදා කුජ-ශනි යුද්ධයෙන් ශනිට ජය

0
66

2022 අප්‍රේල් 05 වැනිදා අඟහරුවාදා උදේ 7.23ට කුජ සහ ශනි අතර ඇතිවන ග්‍රහ සංයෝගය මකර රාශියේදී සිදුවේ. එය පඨවි භූතයට අයත් වන මකර රාශියෙ 11—18’කින් දෙවැනි පාදය තුළ සිදුවේ. එම අවස්ථාවේදී මකර රාශිය තුළ කුජ – ශනි දෙපළ එකම අංශකයක එකම නැකැතක ගමන් කරයි. මෙහිදී යුද වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරට සිටින ග්‍රහයා ජය ලබයි. මෙම අවස්ථාවේදී කුජ ග්‍රහයා පරාද වූ ග්‍රහයා ලෙසත් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා ජයග්‍රහණය ලැබූ ග්‍රහයා ලෙසත් සැලකේ. 

මෙම අවස්ථාවේදී හෝරාව වශයෙන් රවි හෝරාව පවතී. තත්කාල ලග්නය වශයෙන් මේෂ ලග්නය සහ කටක නවාංශකය උදාවී තිබිණි. ධනස්ථාන වශයෙන් දෙවැන්නේ ස¾දු – රාහුද අටවැන්නේ කේතුද දස වැන්නේ කුජ – ශනිද අයස්ථානගතව හෙවත් එකොළොස්වැන්නේ ගුරු – සිකුරු ද වැයස්ථාන හෙවත් ‍ෙදාළොස්වැන්නේ රවි – බුධ ද ගමන් ගෙන තිබිණි. මෙම ක්‍රියාවලිය තුළින් මුළුමහත් ලෝකයටම බලපෑම් ඇතිකරවන බව පෙනේ. ලෝකායන කේන්දරයේ මේෂ ලග්නයේ කුජ බලවත් වෙමින් දස වැන්න තුළ රුචක යෝග බලය ඇතිව යෙදෙන මෙම සටනින් සෙනසුරුගේ ගෙදරදී කුජ පරාජය වී ඇත. මෙය අග්නි මාරුත යෝගය ලෙසද හැඳින්වේ. කුජගේ පැරදීම ලොවපුරා යුද වාතාවරණයක් උත්සන්න වීමටද හේතු සාධක වේ. විවිධ රාජ්‍යයන් අතර යුදමය ගැටලු පෙන්නුම් කරයි. මහජනතාවට වරින්වර පීඩාවන්වලටද මුහුණදීමට සිදුවිය හැකිය. 

කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ මෙය සිදුවනුයේ ‍ෙදාළොස්වැන්න හෙවත් වැයස්ථාන ගතවය. මෙදින ස¾දු රාහුගෙන් පීඩාවෙමින් කැති නැකැතේ තෙවැනි පාදයේ ගමන් ගෙන තිබිණි. මෙයින් මහජන සිතුම් – පැතුම් හැඟීම් පාපකාරී අන්දමට මතුවීමට බැරි නැත. මෙම ග්‍රහ යුද්ධය රාහු විසින් ද දකින නිසා ජනතාව අඥාන ක්‍රියාවලට යොමුවන ඉඩකඩ වැඩිය. එමනිසා මෙම කාලය ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව ඇත. තවද කුජගේ පරාජය ආරක්ෂක අංශවලට වැඩ රාජකාරි අධික වන කාලයක්ද වේ. එමෙන්ම ආරක්ෂක අංශයක ප්‍රධාන පුටුවක වෙනසක්ද පෙන්නුම් කෙරේ. අග්නි හෙවත් කුජ ගින්දරට කාරක බැවින් ගිනි විපත්වල වැඩි වීමක් ද පෙන්නුම් කරයි. දාමරිකකම් මංකොල්ලකෑම්වල ක්ෂණික වැඩි වීමක් ද පෙන්නුම් කරයි. කුජ හදිසි අනතුරු, පිපිරීම්, ලේ වැගිරීම්වලටද කාරක බැවින් කුජ පරාජයත් සමඟ ලේ වැගිරීම්, පිපිරීම් අසන්නට ලැබේ. 

මෙම කාලය තුළ බුද්ධිකාරක බුධ නීචව ගමන් කිරීම පාසල් ශිෂ්‍යයන්ට, සරසවි ශිෂ්‍යයන්ට යහපත් නොමැති බව තවදුරටත් අපට සනාථ කළ හැකිය.  භූචලන, සැඩසුළං, දරුණු අකුණු ඇති වීමට ඉඩ පවතී. සෞඛ්‍ය නිලධාරීන්ට යහපත් බවක් පෙන්නුම් කරයි. ඔවුනට දිරිදීමනා ලැබීමට හැකි කාලයක් ද වේ. 

කුම්භ ලග්න ලංකා කේන්දරයේ කේතු දස වැන්නේ සිටීමෙන් පෙන්නුම් කරන්නේ ව්‍යවස්ථාදායකය තුළ අවුල් – වියවුල්, රාජ්‍ය කුමන්ත්‍රණ ඇතිවන බවය. කෙසේ වෙතත් මෙම ග්‍රහ යුද්ධයේදී ශනිගේ ජයග්‍රහණය කම්කරු ජනතාවට, පීඩිත ජනතාවට යහපත් බවක් පෙන්නුම් කරයි. ජනතාවට යම් යම් සහන හිමි වන කාලයක් ද වේ. අත්‍යවශ්‍ය බඩුවල මිල ගණන් පහළ යයි. පොළොවෙන් වටිනා කියන දේ මතුවන කාලයකි. 

අමාත්‍ය ධුරවල තවදුරටත් වෙනස්කම්, අමාත්‍ය ධුර මාරුවීම් ඉදිරියේදීද දැකගැනීමට පිළිවන.

ඉදිරියේදී ගුරු මාරුවත් සමඟ පවතින වයිරස් රෝගවල යම් පාලනයක් සිදුවන බව ජේ‍යාතිෂයට අනුව පෙනේ. ගොවියන්ට ඉදිරියේදී ඉදිරි කන්න සඳහා රජය මඟින් පොහොර ලැබීමට හැකි බවද පෙනී යයි. කෙසේ වෙතත් අප්‍රේල් 30න් පසු සිදුවන සෙනසුරු මාරුව රටේ යම් පිබිදීමකට අවකාශ සැලසේ. අප රටට මූල්‍ය ආධාර හෝ ණය ආධාර ලැබෙනු ඇත. මෙම කාලය තුළ පාලකයා දැඩි තීන්දු තීරණ ගන්නා බවද අපට සඳහන් කළ හැකිය. කාලගුණ විපර්යාසයක් මෙන්ම ක්ෂණික ගංවතුර තර්ජනයක්ද ඉදිරියේදී පෙන්නුම් කරනු ලබයි. තවද ඉදිරියේදී එනම් අප්‍රේල් මාසයෙන් පසු ගුරු මාරුවත් සමඟම රටේ ආගමික ප්‍රබෝධයක්ද ඇති කරයි. 

 ජේ‍යාතිෂවේදී 

පී.කේ. තරංග කුමාර

කීඹිඇල

0777962658