සූර්ය මංගල්‍යයේ සිරිත් විරිත් සුරකිමු

0
33


සිරිත් විරිත් පරිසරයේ බලපෑම් හේතු කොටගෙන වෙනස්වීම්වලට භාජන වීම දක්නට ලැබෙන්නකි.  ඇතැම් විට පවත්නා සිරිත් විරිත් උචිත හා යෝග්‍ය අන්දමට වෙනස් කර ගැනීමට බොහෝ අවස්ථාවලදී සිදුවනු ඇත. මේ වෙනස්වීම් පැහැදිලි ලෙස සිංහලයා අතිඋත්කර්ෂවත් ලෙසින් ජාතික උත්සවයක ස්වරූපයෙන් පවත්වන සිංහල අවුරුද්ද කෙරෙහිද කිහිප අයුරකින්ම බලපා ඇති බව පෙනේ. ජාතිකත්වයට පණ දෙන සංස්කෘතික උත්සවයකදී අප අනුගමනය කළ යුතු වන්නේ කාලයක් තිස්සේ ඒ හා බැඳී පැවැතුණු පැරැණි සිරිත් විරිත්ය. අපට අවශ්‍ය අයුරින් ඒ සිරිත් නැතිකර දමා නූතනයට ගැළපෙන ලෙස ඒවා වෙනස් කරන්නේ නම් එය නියම ජාතික සංස්කෘතික උත්සවයක් නොවනු ඇත. නියම සංස්කෘතික මුහුණුවර රැඳී ඇත්තේ අපගේ ඉපැරැණි සිරිත් විරිත් අතරය. සිංහල අවුරුද්ද හා බැඳී පවත්නා ඇතැම් ඉපැරැණි සිරිත් අපගෙන් ගිලිහී ගොස් ඇති අයුරු දැකීමට පුළුවන. ජාතිකත්වයට පණ පොවන මෙබඳු මොහොතක ඉපැරැණි සිරිත් තුළින් යළිත් නවතාවක් දැකීමට උත්සාහ ගැනීම අප කා විසිනුත් කළ යුතු දෙයයි. ජාතික උත්සවයකදී ජාතිය වෙනුවෙන් කළ හැකි උදාර මෙහෙය එය වන්නේය. 

අද සිංහල අවුරුදු උත්සවය පැවැත්වීමේදී ගම හා නගරය වශයෙන් පැහැදිලි ලෙස සිරිත් විරිත් අතින් වෙන්ව සිටිනු දක්නට ලැබෙන්නකි. අපේ පැරැණි සිරිතට මුල් තැන දීමට හා සංස්කෘතිය රැකීමට ගැමියන් දරන වෑයම නගරයෙහි නව සිතුම් පැතුම් අනුව ගොඩනඟාගත් කෘත්‍රිම සමාජයක දැකිය නොහැකිය. පැරැණි සිරිත් ගරු කිරීම නාගරිකයන් බොහෝ විට සලකනු ලබන්නේ සමාජය ආපස්සට ගමන් කරවීමක් ලෙස නිසා ඔවුහු සංස්කෘතික උත්සවයකදී වුවද එම සිරිත් විරිත් රැකීම හා ඒවාට ගරු කිරීම ලැජ්ජා සහගත දෙයක් ලෙස සලකති. 

සිංහල අලුත් අවුරුදු උත්සවයෙහි කැපී පෙනෙන අපගේ ඉපැරැණි සිරිත් විරිත් අතර දක්නට ලැබෙන පුණ්‍ය කාලයෙහි ආගමික වතාවත්වල යෙදීම, නැකැතට ආහාර අනුභවය, හිසතෙල් ගෑම හා ස්නානය, බුලත් හුරුල්ලක් දී වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම, ජාතික ක්‍රීඩාවන්හි යෙදීම ආදී ආවේණික සිරිත් අදත් දක්නට ලැබෙන්නේ නම් ඒ ගැමියා අතර පමණකි. පුණ්‍ය කාලය කැප කළ යුත්තේ ආගමික වතාවත් සඳහා නමුත් ඒ කාලය තුළ නියම අන්දමින් වතාවත් ඉටු කරන බෞද්ධයන් කී දෙනකු අප අතර සොයා ගත හැකිද? 

අපේ බොහෝ බෞද්ධයන් පුරුදු වී සිටින්නේ පුණ්‍ය කාලය තුළ පින් රැස් කිරීම වෙනුවට සමාජ ශාලා හෝ අවන්හල් තුළට වැදී පදමට වෙරි වනතුරු මත්පැන් පානය කරමින් හෝ සූදු ක්‍රීඩාවල යෙදෙමින් පව් රැස් කර ගැනීමටය. බොහෝ විට මේ ලක්ෂණය දක්නට ලැබෙන්නේ සංස්කෘතිය හෝ ජාතිකත්වය අමතක කර දැමීමට නිර්දය ලෙස ඉදිරිපත් වන නාගරිකයන් කෙරෙහිය. ගැමියා අතර නම් තවමත් උදාර සිරිත් විරිත් රැකී පවත්නා බව පෙනෙන්නට තිබේ. සංස්කෘතියෙහි උදාර අංගයන්් ලෙස අපට ඉතිරි වී ඇති මෙබ¾දු චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතික උත්සවයකදී හෝ අනුගමනය කරන්නට අප නොපෙලඹෙන්නේ අප නොදැනුවත්වම සමාජයේ පරිබාහිර බලපෑම් නිසා බිහි වූ නූතන සිරිත් විරිත් විසින් පැරැණි සිරිත් විරිත් ගිල දැමීමට දරන වෑයම නිසා යැයි කිව යුතුය. නගරයේ අවුරුදු උත්සවය හුදෙක් විනෝද වීමට පමණක් සීමා වී තිබෙන අතර ගමෙහි විනෝදය තුළින් සංස්කෘතිකාංගයන්ට නව පණක් ගෙන දීමට ගැමියා දරන වෑයම මැනවින් කැපී පෙනේ.

අවුරුදු චාරිත්‍ර බිහි වී ඇත්තේ සමාජීය හා ආගමික බලපෑම් පදනම් කොටගෙන සමාජයේ සංස්කෘතිකාංගයන් ආරක්ෂා වන අයුරු හා ඒවා ඔප්නැංවී යන පරිද්දෙනි. ඇතැම් විට සමහර චාරිත්‍ර අංගයන් මෙකලට නොගැළපීමට මෙන්ම පිළිපැදීමට දුෂ්කර වීමටද පුළුවන. එහෙත් අප මේ පවත්වන්නේ සංස්කෘතියක් සමඟ ගලා ආ චාරිත්‍රාංග මිශ්‍ර ජාතිකෝත්සවයක් නිසා ඒවා ඉවතට තල්ලු කර දැමීම තරම් නොවේ. මෙකලට නොගැළපේ යැයි අප බැහැර කරන ඇතැම් චාරිත්‍ර සංස්කෘතිය විසින් උකහා ගනු ලැබූ ආගමික සිද්ධාන්තයන් පිළිබිඹු කර වීමට සමත් වන හෙයින් ඒවා මෙබ¾දු උත්සව අවස්ථාවකදී පිළිපැදීමෙන් අපට අමුතුවෙන් වන හානියක් නොපෙනේ. 

සංස්කෘතිය කරපින්නා ගනිමින් ඒ ලෙසින්ම අවුරුදු උත්සවය පවත්වන ගැමියා ඉපැරැණි චාරිත්‍රයන් කෙරෙහි දක්වන්නේ දැඩි භක්තියකි. ඇල්මකි. එහෙයින් ඔහු සෑම චාරිත්‍රයක්ම අකුරට ඉටු කරමින් ජාතිකත්වයත්, සංස්කෘතියත් රකිමින් ඒවාට පණ දෙයි. එහෙත් නාගරිකයා පැරැණි චාරිත්‍ර පිළිකුල් කරන්නවත් අවඥාවෙන් බැහැර කරන්නවත් පසුබට නොවන හෙයින් නගරයෙහි ඇත්තේ ඉපැරැණි සිරිත් මුල් කරගත් ජාතික උත්සවයක් නොවේ. නූතනයන් අද පවත්වන්නේ විනෝදය සඳහා හැම විටම මත්පැන්වල පිහිට පතමින් සමාජ ශාලාවන්හි අනඟ නැටුම් නටමින් සිංහලයාටත් බටහිරටත් දෙකටම අයත් නොවූ සම්මිශි්‍රත සිරිත් වපුරමින් සාමය වෙනුවට එකිනෙකා තුළ වෛරය, අසමඟිය පණ ගැන්වීමට සමත් වූ මධුපානෝත්සවයකි. නූතනයන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මෙබ¾දු ජාතික උත්සවයකදී පමණක් හෝ ජාතික හැඟීමකින් යුතුව කටයුතු කිරීමකි. එහෙත් එය ඔවුන් අතින් ඉටුවේ දැයි සැක සහිතය. ගැමියා උසස් කොට සලකන බුලත් හුරුල්ලක් දී වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ උත්සව චාරිත්‍රය නූතන සමාජයෙන් තුරන් වී ගොස් ඇත්තේ ඉපැරැණි සිංහල චාරිත්‍ර තුළින් ඇති කරන සමාජ සංවර බව හා සදාචාරය ඔවුන් කෙරෙහි පිටමං වී ඇති නිසාද සැකයක් ඇතිවේ. අපට ආවේණික වූ තාච්චි පැනීම, පොරපොල් ගැසීම, අං ඇදීම, චග්ගුඩු පැනීම, ඔලිඳ කෙළිය ආදී වූ ජාතික ක්‍රීඩා අවුරුදු උත්සවවලින් ඉවතට තල්ලු වී ගොස් ඇත. ඒ වෙනුවට බොහෝ විට රූප රාජිනි තරග, පිහිනුම් තරග, සංගීත සන්දර්ශන ආදියට වැඩි දෙනා ඇල්මක් දක්වන බව පෙනේ. අපේ පැරැණි ජාතික ක්‍රීඩාවන් බොහෝවිට ඉවතට තල්ලු වී ඇත්තේ ඒ වෙනුවට පවත්නා වෙනත් නොයෙක් තරගවලින් අයුතු ප්‍රයෝජන ගැනීමටත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා ගැනීමටත් කොටසකට අවශ්‍ය වී ඇති නිසා බව සිතා ගැනීම එතරම් දුෂ්කර නොවේ. තව අවුරුදු කිහිපයකදී අපට පවත්වන්නට සිදු වන්නේ නියම ජාතික සිරිතට මුල්තැන දෙන ජාතික හැඟුම් හා මුහුණුවරකින් පිරි ජාතික උත්සවයක් නොවේ. නොයෙකුත් විකාර හා කෝලම්වලට මුල් තැන දුන් හුදු විනෝදය පමණක් මුල් කර ගෙන වාර්ෂිකව පවත්වන සැණකෙළියක් පමණි. 

සංස්කෘතිය රැකගෙන එන මුර දේවතාවන් ලෙස ගැමියන් තවමත් පෙරමුණෙහි සිටින නිසා තවමත් ගමේ අවුරුදු උත්සවයේ ජාතික මුහුණුවර රැඳී ඇත. ගමේ අවුරුදු උත්සවයකදී අනාගතයේ කැවුම් කේක්වලටත් කිරිබත් බුරියානිවලටත් පෙරළුණහොත් අපට තවදුරටත් ජාතිය සුරකින නියම ජාතික උත්සවයක් ඉතිරි නොවේ. 

බන්දුල පද්මසිරි ද සොයිසා