විදේශ රටවල පුරවැසියන් මැතිසබයට ගෙන ඒම මේ අර්බුදයට හේතුවක්

0
20


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එමින් විදේශ රටවල පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා දීම අද මේ ඇතිවී තිබෙන අර්බුද රැසකට හේතුව වී තිබෙන බව පෙනෙන්නට ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුවේ මෙහෙයවීමෙන්  යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මැයෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පෙරේදා (30දා) පැවැති සම්මන්ත්‍රණයකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

එහිදී ධම්මානන්ද නාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විසිරී තිබුණු බලය යළි එක් පුද්ගලයකු කරා ඒකරාශී කර ගැනීමක් සිදුවුුණා. මේ රට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා සියලු ජනවර්ග හා ආගමික කොටස් ඒකාරාශි කරගෙන සිවිල් සමාජයේ පමණක් නොව පාර්ලිමේන්තුව තුළත්  එකමුතු බව රැකගෙන කටයුතු කරන්න ඕන කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. වාර්තමානයේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක පවතින්නේ. දේශපාලන ප්‍රතිසංස්කරණ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් තහවුරු කරගනිමින් දීර්ඝකාලීනව රට ස්ථාවර තත්ත්වයකට පත්කර ගන්නේ කොහොමද කියන කාරණය ගැන අප සැමගේ අවධානය යොමුවිය යුතුයි. 

සර්වපාක්ෂික සමුවට සහභාගි නොවී පිරිසක් තැන් තැන්වල උද්ඝෝෂණ කරමින් සිටිනවා. මේවා මඟින් රටේ ප්‍රශ්නවලට විස¾දුම් ලැබෙන්නේ නැහැ. හිටපු ජනපති මෛත්‍රි හා හිටපු අගමැති රනිල් මෙම සමුළුවට සම්බන්ධ වුණා. දෙමළ ජාතික සංවිධානයත් මේ ගැන උනන්දුවෙන් පසුවෙනවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි. මේක බෙදිලා වෙන්වෙලා විස¾දුම් සෙවිය යුතු කාලයක් නෙවෙයි. හැමෝම එකතු වෙලා අර්බුදයෙන් ගොඩ එන ක්‍රමයක් කල්පනා කරලා බලන්න ඕන.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න, මහචාර්ය රොහාන් සමරජීව, මහචාර්ය දීපිකා උඩුගම, ගාමිණි ජයවීර, හරීන්ද්‍ර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මහනුවර  – කේ.එල්. සුරවීර