ලෙඩ හැදී මිය යන කුකුළනුත් හොර පාරෙන් මස් කඩේට

0
43

නාඋල – අයි.ඒ. කුමාර

කුකුළු මස්වල මිල ඉහළ යෑමත් සමඟ මාතලේ දිස්ත්‍රික්කයේ කුකුළු කොටුවලදී මිය යන කුකුළන් අඩු මුදලට ලබාගෙන විවිධ ප්‍රදේශවලදී අඩු මුදලට විකිණීම් කරන්නන්ගෙන් ඒවා මිලදී ගැනීම් නොකරන ලෙස කුකුළුමස් ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරති. 

මේ වනවිට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1000 සිට 1400 දක්වා මිලකට මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි කරනු ලබයි.

කුකුළන් සඳහා ලබාදෙන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ප්‍රවාහන වියදම් ඉහළ යෑම වැනි කාරණා හේතුවෙන් මස්වල මිල ඉහළගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

මේ අතර කුකුළු ගොවිපොළවලදී විවිධ රෝග වැලඳීම් ඇතුළු කාරණා ගණනාවක් හේතුවෙන් මිය යන කුකුළන් අඩු මුදලට සැලසුම් සහගතව අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බැව් ව්‍යාපාරිකයෝ කීහ.

සාමාන්‍යයෙන් ගොවිපොළවලදී මිය යන කුකුළන් එම භූමිවලම වළ දැමීම කරන බවද ව්‍යාපාරිකයෝ කියති.

මහ පරිමාණ කුකුළු ගොවිපොළවලදී මිය යන සතුන් ඒවායේ සේවකයන් සම්බන්ධ කර ගනිමින් අයිතිකරුවන්ට හොර රහසේ ඇතැම් පිරිස් වෙත අලෙවි කරන බවත් ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පටන් ගෙන ඇතැයි ව්‍යාපාරිකයෝ පැවැසූහ.

විවිධ රෝග කාරක හේතුවෙන් මිය යන කුකුළන් ආහාරයට ගැනීම විවිධ ගැටලු ඇතිවනු ඇතැයි සඳහන් කරන කුකුළු මස් අලෙවි කරන ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ අඩු මුදලට නිවෙස් අසලට පැමිණෙන කුකුළු මස් අලෙවි කරන්නන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි.

කිසිදු නිෂ්පාදන සමාගමක දත්ත නොමැති මෙම කුකුළු මස් මේ වන විට මාතලේ ගම්මාන රැසක ඉතා සූක්ෂම ලෙස අලෙවි වෙයි.

විශේෂ උත්සව අවස්ථාවන්වලදීද තැරැව්කරුවන් අදාළ කොටුවල කටයුතු කරන සේවකයන් සම්බන්ධ කර ගනිමින් නගරයේ වෙළෙඳසල්වල නොයා  නිවෙස්වලටම කුකුළු මස් සැපයීම කරන අවස්ථා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ව්‍යාපාරිකයෝ කියති.

යතුරුපැදිවලින් කරන මෙම වෙළෙ¼දාම් සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවල අවධානය යොමු විය යුතු බව කියා සිටින කුකුළු මස් අලෙවි කරන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ මහජනතාවද තමන් ආහාරයට ගන්නා බොහෝ දේ ලාභය මත පදනම්ව ලබාගැනීමෙන් ගැටලු රැසත් ඇති වන බවයි.