ලයිට් කැපූ වේලේ දුරකථන ඇමැතුමක් ගන්න ගිය සිසුවා ඇද වැටී මරුට

0
173

උෟරුබොක්ක – අතාවුද පතිරණ 

බෙරලපනාතර පුහුල්හේනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු දුරකථන ඇමැතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ කොන්ක්‍රීට් එකෙන් ඇද වැටී මියගොස් ඇති බවට උෟරුබොක්ක පොලිසිය පැවැසීය. 

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙරලපනාතර කැකුන්දෙණිය පුහුල්හේනකන්ද ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි  බෙරලපනාතර මහා විද්‍යාලයේ 10 ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සේනානායක  උදාර පුන්සර පාසල් සිසුවායි. පසුගියදා (29දා) රාත්‍රි 7.45 – 8.00 අතර කාලයේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ පාසල් සසුවා දුරකථන ඇමැතුමක් ලබාගැනීම සඳහා නිවෙසේ වහල වෙනුවට දමා ඇති කොන්ක්‍රීට් (ස්ලැබ්) එක උඩට නැඟ ඇති අතර දුරකථන ඇමැතුම ලබාගැනීම සඳහා සිග්නල් අඩුවීම නිසා කොන්ක්‍රීට් එක උඩ පස්සෙන් පස්සට ගොස් ඇති අතර එම අවස්ථාවේ කොන්ක්‍රීට් එකෙන් බිමට ඇද වැටී ඇත. 

කොන්ක්‍රීට් එකෙන් බිමට ඇද වැටී තුවාල ලබා සිටි පාසල් සිසුවා දෙණියාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව මාතර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් ඒ යන අතරතුර අසාධ්‍ය වීම හේතුවෙන් මොරවක කොස්නිල්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවට පොලිසිය පවසයි. 

මියගිය පාසල් සිසුවාට වැඩිමහල් සහෝදරියක සිටින අතර මියගිය දරුවා පවුලේ බාල එකම පිරිමි දරුවායි. ඔහු 2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත. 

මියගිය පාසල් සිසුවාගේ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උෟරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.