රෝහල් පද්ධතියම කඩාවැටීමේ අවදානමක්

0
25


විනීතා එම්. ගමගේ

ඔෟෂධ රසායනික හා ශල්‍ය උපකරණ හිඟය ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව ඇතුළු තත්ත්වයන් යටතේ රෝහල් පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතිතැයි වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෙන්වා දෙති.

අප තවම අත්විඳින්නේ අර්බුදයේ ආරම්භය බවත් තව දුරටත් මේ තත්ත්වය බරපතළ වී ඔෟෂධ හා රසායනාගාර යන රෝහල් බල කණු දෙක බිඳී ගියහොත් සමස්ත රෝහල් පද්ධතියම අවුල් වී රෝගී ජීවිත අවදානමක වැටෙනු ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.

රසායනාගාර හා ඔෟෂධ හිඟය ඇතුළු ඩොලර් නැතිකමින් මතු වූ ප්‍රශ්න රාශියක් රෝගීන් සමඟ ගනුදෙනු කරන වෛද්‍යවරුන්ගේ කරමත වැටෙමින් පවතිතැයිද වෛද්‍ය සංජීව කියා සිටියේය.

විදුලිය කප්පාදුවෙන් ශීතකරණ හා අධිශීතකරණ ක්‍රියාත්මක නොවීම නිසා ඔෟෂධවල ගුණාත්මක තත්ත්වය නැති වී යා හැකි යැයි කී සභාපතිවරයා බොහෝ රෝහල්වලට ලැබෙන ඉන්ධන ප්‍රමාණය පැය 10 -12 වැඩි දිගු වේලාවක් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් නොවන බවද කීය.

රෝහල්වලට මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලද ඉන්ධන අර්බුදය හා විදුලිය කප්පාදුවෙන් බරපතළ පීඩාවන්ට ලක්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල වායුසමීකරණ අක්‍රිය කරන ලෙස චක්‍රලේඛයක් ලැබී ඇතැයිද එය සැත්කම්වලදී මෙන්ම ඔෟෂධවල ගුණාත්මක භාවයට බලපාන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රෝහල් රැසක ආහාරපාන ලබාදීම ගෑස් හිඟය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇතැයිද වෛද්‍ය සංජීව කියා සිටියේය.

මේ අතර රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් පශ්චාත් උපාධි සඳහා යෑමට සූදානමින් සිටි වෛද්‍යවරුන්ට එම අවස්ථා අහිමි වී ගොස් ඇතැයි ඔහු කියා සිටියේය. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය හේතුවෙන් රටට ඇති පිළිගැනීම නැති වී යමින් පවතින බවත් පුහුණු පාඨමාලා හා අධ්‍යාපන කටයුතු සඳහා යන වෛද්‍යවරුන්ට එම ප්‍රශ්නය බලපානු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.