රෑට ATM ඇනහිටී

0
17


තාරක සම්මාන් 

රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ බැංකු කටයුතු පවත්වා ගෙන යෑමේදී  බරපතළ ගැටලු උද්ගත වී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා ‘මව්බිම’ට අදහස් දක්වමින් මේ බව පැවැසීය. ඔහු සඳහන් කළේ, විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ බැංකු කටයුතු පවත්වාගෙන යෑම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන අතර මේ වන විට එම යන්ත්‍ර සඳහා ඩීසල් ලබා ගැනීමේ බරපතළ ගැටලු පැන නැඟී ඇති බවය.  ඩීසල් නොමැති වීම හේතුවෙන් ඊයේ (31දා)  ඇතැම් බැංකුවල කටයුතු අකර්මණ්‍ය වූ බවද ඔහු පැවැසීය.

රාත්‍රි කාලයේ බැංකු වසා තැබුණ ද ඒඊර් යන්ත්‍ර ක්‍රියාත්මකව තිබිය යුතු වුවද, පවතින ඩීසල් හිඟය හමුවේ එය අභියෝගයට ලක්වී ඇති බවත් දැඩි පරිශ්‍රමයක් දරමින් තත්ත්වය කළමනාකරණය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු අවධාරණය කළේ, දිගින් දිගටම මෙම තත්ත්වය පැවැතියහොත් විදුලිය විසන්ධි කර තබන කාලයේදී ඒඊර් යන්ත්‍ර ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.  මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී ද තහවුරු වූයේ ඇතැම් බැංකුවල පෙරේදා (30දා) රාත්‍රි කාලයේ ඒඊර් යන්ත්‍ර ක්‍රියා විරහිතව පැවැති බවය.

දිවා කාලයේ බැංකු කටයුතු සඳහා ඉන්ධන පිරිමසා ගැනීමට එම බැංකු රාත්‍රි කාලයේ ඒඊර් යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තබා ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි. එය රන්ජන් සේනානායක මහතා ද තහවුරු කළේය. තවදුරටත් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, ඇතැම් බැංකු සතු ඩීසල් ඊයේ (31දා) සඳහා පමණක් ප්‍රමාණවත් බවය.

“සමහර තැන්වල වහන්න වුණා. දැන් එකයි දෙකයි නේ. මේ යන විධියට ගොඩක් තැන්වල එහෙම අඩාල වෙන්න ඉඩ තියෙනවා. බැංකුවලට ප්‍රමුඛතාවක් දෙනවා ඩීසල් දෙද්දී. නමුත් ඒගොල්ලන්ටත් බඩු නැහැ නේ. ඉතින් අපි යෝජනා කරන්නේ මේ විධියට මම හිතන්නේ අපිට රෑ යම් වෙලාවක් මේවා (ඒඊර්)  වහලා හරි තියන්න වෙනවා. නැත්නම් තියෙන ඩීසල් ප්‍රමාණෙන් දවල්ට හරි දෙන්න බැරි වෙනවා නේ.”