රත්නපුරේ ත්‍රිරෝද රථ රියැදුරන් 14,600කට බඩේ පාර

0
41

කහවත්ත _එල්.නිරෝෂණ 

ඉන්ධන මිල  ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට සිදුවීමෙන් ත්‍රිරෝද රථවලින් මගීන් ගමන් කිරීම සියයට පනහකටත් වඩා අඩුවීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ රියැදුරන් 14,600ක පිරිසක්  අසීරුතාවන්ට පත්ව සිටිතැයි රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත ජයබන්දු මහතා පැවැසීය. 

 පවතින තත්ත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවට ලක්වී සිටින ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් ත්‍රිරෝද රථ කර්මාන්තයෙන් ඉවත්ව ඇතැයි ද ඔහු පැවැසීය. 

බහුතරයක් ත්‍රිරෝද රථ හිමියන් තම ත්‍රිරෝද රථ බදු කුලි පදනම මත සමාගම්වලින් ලබාගෙන ඇති නිසා ලීසිං වාරික ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බැවින් ඉක්මනින් සහන සලසන ලෙස රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද එහි සභාපතිවරයා පැවැසීය. 

 සියයට 22ක් වැනි ඉහළ පොලී අනුපාතයකට ලීසිං වාරික ගෙවීමට පවතින තත්ත්වය හමුවේ දුෂ්කර වී ඇතැයිද මේ නිසා කිසියම් සහනයක් ලබාදීමට බලධාරී මැදිහත්විය යුතු බවත් රත්නපුර ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත ජයබන්දු මහතා පැවැසීය.          

ඉන්ධන මිල ඉහළ ගිය තරමට රත්නපුර දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ ගාස්තු වැඩිකර නැති බවත් එහෙත් මඟින් තම ගමන් බිමන් යෑම සීමාකර ඇතැයිද ත්‍රිරෝද රථ රියැදුරෝ පවසති.