රට පුරා රන් මාල 150ක් කැඩූ කල්ලියක් කොට්ටාවෙන් අල්ලයි

0
34

පන්නිපිටිය _ හෂාන් පුෂ්පික

දිවයිනේ පොලිස් වසම් දාහතරකින් රන් මාල කොල්ලකෑම් එකසිය පනහකට සම්බන්ධ  සිවු දෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරු ඇතුළු  තිදෙනකු සොරා ගත් යතුරුපැදි දෙකක්ද සමඟ  ඊයේ (31දා) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මීට සම්බන්ධ අනෙක් සැකකරු  කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ මහමඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කඩාගෙන පලා යමින් සිටියදී ප්‍රදේශවාසීන් අල්ලා  ඉකුත්  28දා කොට්ටාව පොලිසියට භාරදී තිබිණි. ඒ සඳහා සැකකරුවන් දෙදෙනකු  පාදුක්ක ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සොරා ගත් යතුරුපැදියකින් පැමිණ තිබූ අතර එහිදී එක් සැකකරුවකු ගම්වාසීන් විසින් අල්ලා මෙසේ පොලිසියට භාරදී තිබූ අතර අනෙක් සැකකරු පලාගොස් තිබිණි.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව, යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකෑමේ ජාවාරමකට සම්බන්ධව සෙසු සැකකරුවන් තිදෙනා ඊයේ කොට්ටාව රුක්මල්ගම බස් නැවතුම්පොළේදී  අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී පොලිස් භාරයට ගත් යතුරුපැදි දෙක රාජගිරිය සහ මහරගම පොලිස් වසම්වලින් සොරා ගත් යතුරුපැදි දෙකක් බවට තොරතුරු අනාවරණය වූ බව පැවැසේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර ජාවාරමේ මහ මොළකරුද සිට ඇති අතර ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් වසම් දාහතරකින් රන් මාල කොල්ලකෑම් 150ක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කීවේය. කහතුඩුව, තලන්ගම, බියගම, පිළියන්දල, බොරලැස්ගමුව, කොහුවල, මහරගම, වැලිවේරිය සහ කොහුවල  ඇතුළු පොලිස් වසම් 14කදී මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකා පලා යෑමට පුරුදුව සිට ඇති අතර එලෙස කොල්ලකන රන්මාල උකස්කොට සින්න වීමට ආසන්න වෙත්ම  එලෙස සින්න වන රන් භාණ්ඩ බේරා ගන්නා  ව්‍යාපාරිකයන්ට දන්වා නිදහස් කරවා  ඇතැයි පැවැසේ.

රන් මාල කොල්ලකෑම්  සම්බන්ධයෙන්  2014 තලංගම, 2017 කහතුඩුව, 2019 බියගම සහ තලංගම පොලිස් වසම්වලින් අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවත් අවසන් වරට මහරගම පොලිසියෙන්  අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කොට ඉකුත් පෙබරවාරි මාසයේ ඇප මත නිදහස්ව ආ අයකු බවට තොරතුරු අනාවරණය වූ  බවත්  පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත්  මාලබේ සහ කැකිරාව ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනා (28 – 36)  හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නියාරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් පො.කො.  වික්‍රමසිංහ (21283), වර්ණසූරිය (30862), කුලතුංග (42725),  ලක්මාල් (73034),  සම්පත් (77080),  ජයන්ත (80094), රන්දික (84114), සඳරුවන් (91504), විජේසිංහ (94036), සුදන්ත (94881), දිසානායක (96800) ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.