රටම අඳුරේ

0
16


බිඟුන් මේනක ගමගේ 

දවසින් බාගයකට වඩා සිදුකෙරෙන ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුව හේතුවෙන් රටේ නිෂ්පාදන, සේවා හා අවිධිමත් අංශයේ සියලු ආර්ථික කටයුතු අඩාල වී ජන ජීවිතය අකර්මණ්‍ය වන අයුරින් දැවැන්ත බලපෑමක් එල්ල වී තිබේ.

පැයකට දෙකකට සීමා වී ආරම්භ වූ අවස්ථාවේදී නාගරික ජනයාට වැඩි බලපෑමක් එල්ල කළ මෙම විදුලි කප්පාදුව මේ වනවිට ගම් නියම්ගම් කරාද බරපතළ බලපෑමක් කර ඇත.

සෞඛ්‍ය, අධ්‍යාපන ආදී වශයෙන් රාජ්‍ය අංශයෙන් නිදහස් සේවා ලබන ජනතාව මෙන්ම පෞද්ගලික අංශයෙන් සේවා ලබාගන්නා පිරිස්ද එම සේවා සම්පාදනය කරන පිරිස්ද එක ලෙස පීඩාවට පත්කරන තැනට මෙම විදුලි කප්පාදුව දරුණු වී ඇත්තේ මුළු රටේම ජීවන පද්ධතිය අර්බුදයට යවමිනි.

වෙළෙඳසල්, ඇඟලුම් කම්හල්, ඇඹරුම්හල්, තෙල් මෝල්, ලොන්ඩි්‍ර, ආපන ශාලා ඇතුළු දෛනික සේවා හා නිෂ්පාදන ස්ථාන ඇතුළු මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත සියල්ලම පවත්වාගෙන යෑමට මෙමඟින් බාධා පැමිණ ඇත. දින ගණනාවක් තිස්සේ පෝලිම් දිග්ගැස්සෙමින් පවතින ඉන්ධන හල්වලට විදුලිය නැතිවීම නිසා ඉන්ධන සැපයුමටද බාධා පැමිණ ඇත. විදුලි උත්පාදක යන්ත්‍ර නොමැතිවීම නිසා ඉන්ධන සැපයුම කළ නොහැකි බව සඳහන් කරමින් ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබිණි. එසේ ඉන්ධනහල් හා ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල පෝලිම් ගැසී සිටින ජනතාවත් සිය සේවා සපයාගත නොහැකිවීමෙන් කෝපාවිෂ්ට වී සිටින ජනතාවත් ආණ්ඩුවට දෙස් දෙවොල් තබමින් රූපවාහිනි හා යූ-ටියුබ් නාළිකාවලට අදහස් දැක්වූහ.

මේ අතර ආණ්ඩුව බලයට පත්කිරීමට මතවාදීවත් ක්‍රියාකාරීවත් සහාය දැක් වූ ගිහි පැවිදි සිවිල් කණ්ඩායම්ද ස්ථාන කීපයකදී ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ආණ්ඩුකරණයට එරෙහිව සිය විරෝධය පළ කළහ. 

මේ වනවිට රටේ විදුලි උත්පාදනය ජල විදුලියට හා නොරොච්චෝලේ බලාගාරයට පමණක් සීමා වී තිබේ.