පැය 15කට යන්න වේවි

0
21


දසුන් රාජපක්ෂ 

දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුව පැය 15කට වඩා වැඩි කිරීමේ අවදානමක් මේ වන විට නිර්මාණය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි. 

තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම නිසි ආකාරයෙන් සිදු නොවීම හේතුවෙන් විදුලි කප්පාදු කාල සීමාව මෙලෙස වැඩි කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් සංස්ථාව තවමත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදී නැති බවත් ඔවුන් සමඟ පවතින කළමනාකාරීත්වයන්ට අදාළ සම්බන්ධතාවන් මේ වන විට ගිලිහී ගොස් ඇති බවත් රංජිත් ඉඳුවර සඳහන් කළේය.

මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන සම්පාදනය කෙරෙන්නේ තාප විදුලි බලාගාර දෙකක් සඳහා පමණක් බව කී ඒ මහතා ඉදිරි දින දෙක තුළ එම සැපයුමද නවතින බව දන්වා ඇති බව හෙතෙම කීය. 

ජල විදුලි බලාගාරවල ඇති ජල සංචිතද මේ වනවිට පවතින වැසි නොලැබීමේ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිනෙන් දින පහත බසිමින් තිබෙන නිසා ජාතික විදුලි පද්ධතියට එම බලාගාරවලින් ලැබෙන දායකත්වය 13% ත් 14% අගයකින් පහත බැස ඇති බවද ඔහු කීවේය.

සමස්තයක් වශයෙන් මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට එළැඹෙන අවුරුදු සමයේ විදුලි සැපයුම නිසි අයුරින් සිදු කිරීමේ හැකියාව කෙරෙහි අර්බුදයක් පවතින බව ඔහු වැඩි දුරටත් පැවැසීය.