පානදුර නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළසිරුර ඥාතීන් හඳුනාගනී

0
30

කොළඹ – ජයසිංහ 

පොතුපිටිය – සුමිත් රණවක

පානදුර, පින්වත්ත නිවාඩු නිකේතනයක  වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ ඊයේ (31දා) හ¾දුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කළේය. 

මියගොස් සිටි කාන්තාව ගණේමුල්ල බොල්ලන පදිංචිව සිටි එච්. කේ. තුෂාරි දිල්හානි  නමැති විසිනව හැවිරිදි දෙදරු මවකි. පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන  ඇයගේ මළ සිරුර හ¾දුනාගනු ලැබුවේ ඇයගේ සැමියා, මව සහ සොයුරියන් දෙදෙනා බවත් පොලිසිය සඳහන් කරයි. 

මීට වසර එකහමාරකට පමණ ඉහතදී නිවෙසින් බැහැරව ජීවත්වීමට කටයුතු කර තිබූ මියගිය තැනැත්තිය ඉඳහිට නිවෙසට ඒම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කීය. 

කඩවත ප්‍රදේශයේ  රාත්‍රි සමාජ ශාලාවකදී  ඇය සමඟ මිතුරු වූ පානදුර, පින්වත්ත නිවාඩු නිකේතනයේ කළමනාකරු තවත් පුද්ගලයකු සමඟ එම කාන්තාව පින්වත්ත හෝටලයට රැගෙනවිත් එහි අංක 605 කාමරය රඳවාගෙන සිට ඇති බව  මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉකුත් 29 වැනි දින පානදුර, පින්වත්ත පොලිසියට නිවාඩු නිකේතන හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව නිවාඩු නිකේතනයේ සේවකයන් දෙදෙනකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර කාන්තාවගේ මළ සිරුර  නිවාඩු නිකේතන භූමියේ වැසිකිළි වළක තිබියදී  ගොඩ ගන්නා ලදී. 

මියගොස් සිටි කාන්තාව කාමර අංක 605 සවි කර තිබෙන විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටිය බවත් අනතුරුව කළමනාකරු ඇතුළු පිරිස මළ සිරුර වැසිකිළි වළට දැමූ බවත් අත්අඩංගුවට ගත් එක් සේවකයකුගේ ප්‍රකාශයකින් අනාවරණය විය. පානදුර අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතාගේ නියෝග මත මරණයට හේතුව දැන ගැනීමට  පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි. 

මෙම සිද්ධියත් සමඟම එම කාන්තාව නිවාඩු නිකේතනයට රැගෙන ආ බව කියන එහි කළමනාකරු, සේවකයකු සහ පිටස්තර පුද්ගලයකු මේ වන විට සැඟවී සිටින අතර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මියගිය කාන්තාව එල්ලී දිවිනසා ගත්තාද? එසේ  නොමැතිනම් එල්ලා මැරුවාද? එසේත් නොමැති නම් පහරදී ඝාතනය කළාද? යන්න පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පරීක්ෂණය අද 1 පැවැත්වීමට නියමිතය.