නීති විරෝධිව ඇන්තූරියම් මවු ශාක පඳුරු තොගයක් ගෙනා ව්‍යාපාරිකයා කොටු

0
30

කටුනායක – ටී.කේ.ජී.කපිල 

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඇන්තූරියම් මවු ශාක පඳුරු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයකු පෙරේදා (30දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ          (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

මොහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරිකයෙකි. ඔහු එදින දහවල් 11.40ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ව්‍යාපාරිකයා තම ගමන් මලු දෙකක මෙම ඇන්තූරියම් මවු ශාක පඳුරු 200ක් අසුරා, සඟවා ගෙන පැමිණ තිබුණි.

ශ්‍රී  ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙන්ම දැනට ශ්‍රී  ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති ශාකයක් වන මෙම ඇන්තූරියම්, රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට මෙම ව්‍යාපාරිකයා තැත් කර තිබිණි.

 කටුනායක ගුවන් තොටුපළ රේගු දිවා කාර්යය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම          අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ අතර, මේ වනවිට මෙම ඇන්තූරියම් මවු ශාක තොගය සහ මේවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.