තෙල් නැතිව බහුදින ධීවර යාත්‍රා 1000ක් වරායේ ගල්වෙයි

0
35

කටාන _ බර්ටි වීරසිංහ

ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට නොහැකිවීම නිසා මේ වනවිට බහුදින යාත්‍රා 1000ක් පමණ මුහුදු යෑමට නොහැකිව ධීවර වරායවල්වල නැංගුරම් දමා නවත්වා තිබෙන බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පැවැසීය.

ඩොලර් නැති බව කියමින් වැලපෙන ආණ්ඩුව ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ටුනා මසුන් ඇල්ලීමේ යෙදෙන බහුදින යාත්‍රා සඳහා ඉන්ධන ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නැති බවත් පැය 10ක් එක දිගට විදුලිය කපා හැරීමත් සමඟ බහුදින යාත්‍රා සඳහා අවශ්‍ය අයිස් ලබාගැනීමද ගැටලුවක් බවත් ඒ මහතා පැවැසීය.

යාත්‍රාවල හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අමතරව විවිධ සේවා සපයන තවත් විශාල පිරිසක් බහුදින යාත්‍රාවකින් ජීවත්වන බවත් අද ඔවුන් සියලු දෙනාම අන්ත අසරණභාවයට පත්ව ඇති බවත් දින කිහිපයකට වරක් ඩීසල් බවුසරයක් ඉන්ධන පිරවුම්හලකට එවා මේ ගැටලුව විසඳීමට නොහැකි බවත්  එක් මුහුදු ගමනක් සඳහා යාත්‍රාවේ ප්‍රමාණය අනුව ඩීසල් ලීටර් 8000 සිට 12000ක් දක්වා ප්‍රමාණයක් අයිස් හොණ්ඩර 500ක් සහ ලොකු ගෑස් සිලින්ඩර් 4ක් අවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

දින ගණනක් ගෑස්, ඉන්ධන, අයිස් ලබාගැනීමට නොහැකිවීම දිගින් දිගටම පැවැතියහොත් මුහුදු ගමන් වාර කිහිපයක් අඩුවන බවද කෝටි ගණන් ණයවී බෝට්ටු මිලදී ගෙන ඇති ව්‍යාපාරිකයන්ට ණය ගෙවා ගැනීමට නොහැකිවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.