තඹුත්තේගම රෝහලේ රෝගීන්ට අවම පහසුකම් සපයන්න සෞඛ්‍ය බලධාරීන්ට බෑ

0
57

තඹුත්තේගම මූලික රෝහලේ පවතින ගොඩනැඟිලි හිගකම නිසා  වාට්ටු පහක කරන කාර්යයන් ගර්භණී වාට්ටුවේ පමණක් කරයි. පූර්ව ප්‍රසව, පසු ප්‍රසව, සිසේරියන් සැත්කම් කළ මවුවරුන්, සූතිකාගාරය හා නාරිවේද රෝගීන්ගේ ප්‍රතිකාර සියල්ල සිදුකරන්නේ ගර්භණී වාට්ටුව තුළයි. මෙම වාට්ටුවේ සියලුම රෝගීන් සඳහා ඇත්තේ ඇඳන් තිස්පහකි.  

තඹුත්තේගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට යෑමේදී සිදුවන අපහසුතාවන් පිළිබඳව දරු ප්‍රසූතිය සඳහා පැමිණ සිටි මවක් වන ඩබ්ලිව්. පී. ජයනි මහත්මිය මෙසේ කීවාය.

මේ වාට්ටුවේ එක ඇඳක සිසේරියන් සැත්කම් කළ අම්මලා දෙන්නා දෙන්නා දාලා ඉන්නවා. මමත් එක්ක අම්මලා තුන්දෙනෙක් එක ඇඳේ හිටියා. පුංචි දරුවෝ එක ඇඳේ දෙන්නා තුන්දෙනා දාලා ඉන්නවා. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් කළාට පස්සේ දවස් දෙකක්වත් ඇඳේ ඉන්න ඕනේ කියලයි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ. වාට්ටුවේ ඉඩකඩ නොමැති නිසා ඒවා හරියට සිදුවෙන්නේ නැහැ. සැත්කම් කරලා වාට්ටුවට රැගෙන එන අම්මලාට ඇඳ දෙන්න වෙනවා. මේ අඩුපාඩු සම්පූර්ණ කරලා දෙනකම් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයත් රෝගීනුත් අපහසුතාවනට පත්වෙනවා. මගේ පළමු දරුවා ලැබෙන්න 2019 අවුරුද්දේ මේ වාට්ටුවටම ආවා. එදා තිබුණු පහසුකම් ටිකම තමා අදත්.

මහේෂ් හේරත් මහතා 

තඹුත්තේගම රෝහල මූලික රෝහලක් විධියට නම් කරලා දැන් වසර විස්සක් විතර වෙනවා. නමුත්් පහසුකම් රෝගීන්ගේ පැමිණිමට සාපේක්ෂව දියුණු කරලා නැහැ. තවමත් තියෙන්නේ දිසා රෝහලක් වශයෙන් තිබුණු කාලයේ තිබූ පහසුකම් ටිකම තමා. අමාරු ලෙඩෙක් ආවොත් ඉන්න ඇඳ ඒ රෝගියාට දෙන්න ඕනේ. ඉඩකඩ මදිකම නිසා වාට්ටු හැමදාම රෝගීන්ගෙන් පිරිලා. ඒ වෙලාවට සමහර රෝගීන්ට බංකු උඩයි නිදාගන්න වෙන්නේ. වෙනත් පළාත්වල රෝහල්  අපි දැකලා තියෙනවා ඉතා හොඳ පහසුකම් තියෙනවා. ඒත් පළාතක් විධියට උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන රෝහල වෙලත් තඹුත්තේගම මූලික රෝහලේ පහසුකම් දියුණු කරලා නැහැ. මේකට දේශපාලනඥයන් වගේම නිලධාරීනුත් වගකියන්න ඕනේ. අපි දැකලා තියෙනවා අමාරු ලෙඩෙකුට වාට්ටුවේ ඇඳක් දෙන්න රෝහලේ කාර්ය මණ්ඩලය දරන උත්සාහය.

  රෝහල් කමිටුවේ හිටපු සාමාජිකයෙක් වන පද්මසිරි මුනිදාස මහතා 

මේ රෝහලේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමා ගොඩනැඟිලි හිඟය. 2012 වසරේදී ආරම්භ කළ ගර්භණි වාට්ටුවේ වැඩ තවම අවසන්වෙලා නැහැ. මහජනතාවගේ හා දානපතීන්ගේ ආධාර ලබාගෙන ගර්භණී වාට්ටුවක් ඉදිකිරීමට සැලසුම් කළා. ඒ සඳහා මුදල්ද ලැබුණා. නමුත් එවකට පළාත් සභාවේ සිටි දේශපාලනඥයන් ඒ සැලසුම වෙනස් කරලා රජයේ මුදල්ද ලබාදී මහල් දෙකකින් සමන්විත වාට්ටු සංකීරණයක් හදන්න සැලසුම් කළා. නමුත් එහි වැඩත් නතර වුණා. නැවත 2014 වසරේදී දෙවන වරටත් මුල්ගල තියලා වැඩ පටන්ගත්තා එයත් ටික කාලයකින්ම නතර වුණා. නැවත වරක් 2018 වසරේදී පටන්ගත්ත ඉදිකිරීමේ කටයුතු තවමත් මන්දගාමීව වෙනවා. මෙහි වැඩ කවදා අවසන් වෙයිද කියන්න බැහැ. පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට මේ රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න කිසිම වුවමනාවක් නැති බව තමා අපට පෙනෙන්නේ.

ව්‍යාපාරික බුද්ධික සැම්සන් කුමාර මහතා 

උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැඩිසත්කාර ඒකකයක් තඹුත්තේගම රෝහලේ දෙදහස් විස්ස වසරේ ජුනි මාසයේදී විවෘත කළා. අනුරාධපුර ශික්ෂණ රෝහල හැරුණු විට පළාත් සභාව යටතේ ඇති කිසිම රෝහලක දැඩිසත්කාර ඒකකයක් තිබුණේ නැහැ. කෝටි ගණනක් මහජන මුදල් වැයකරලා දැඩිසත්කාර ඒකකය ස්ථාපිත කළේ. නමුත් අලියෙක් ඉඳල හෙණ්ඩුව නැහැ කියනවා වගේ අවශ්‍ය කාර්ය මණ්ඩලය නැති නිසා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන්න දැඩිසත්කාර ඒකකයෙන් බැරිලු. 

උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් නයනා දසනායක මහත්මිය 

ඉදිරියේදී ලොකු මුදලක් වැයකරලා තඹුත්තේගම මූලික රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කරන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවා. තඹුත්තේගම මූලික රෝහල දියුණු කරලා අවට තිබෙන රෝහල්වල ප්‍රධාන රෝහලක් විධියට කරන්න තමා ඒ සැලසුමේ තියෙන්නේ. හදන්න අරන් තියෙන වාට්ටු සංකීරණය මේ වසරේ අවසන් කරන්න පුළුවන් කියලා තමා කියන්නේ. රෝහල්වල 2022 වසරට අදාළ කාර්ය මණ්ඩලයන් සකස් කිරීමේ කටයුතු දැන් සිදුවෙනවා. කාර්ය මණ්ඩල ප්‍රශ්න සෑම රෝහලකම තියෙනවා. පළාත් සභාවෙන් සේවකයන් බඳවා ගැනීම දැන් සිදුවෙන්නෙත් නැහැ. මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන කාර්ය මණ්ඩලයන් ප්‍රමාණවත්ව එවන්නෙත් නැහැ. මේ නිසයි කාර්ය මණ්ඩලවල හිඟයක් තියෙන්නෙ.

එප්පාවල _ කුමාර දිසානායක